එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මේ මස අගදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් සම්මත කරන ලද යෝජනා ක්‍රියාත්මක කිරීමේදී නව රජය ලබා ඇති ප්‍රගතිය තක්සේරු කිරීමට ඔහු උත්සාහ කරන බැවින් මෙය වැදගත් සංචාරයක් වනු ඇති අතර, මෙම සංචාරයට ඔහුගේ කාර්යාලයට පහසුකම් සපයයි. මේ ආකාරයෙන් සිදුවූ අවසන් සංචාරය 2016 පෙබරවාරි මාසයේදී සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව සමයේ හිටපු මහකොමසාරිස් අල් හුසේන් විසින් සිදුකරන ලදී. සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාවලියට අන්තර්ජාතික සහභාගීත්වය විශේෂයෙන් ඇතුළත් කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල (UNHRC) 30/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ බැවින්, ඒ කාලයේ දී ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගයෙන් කටයුතු කළේය.
මෙම අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාගේ සංචාරය තීරණාත්මක වන්නේ, ජාතික ජන බලවේග ආණ්ඩුව දිගුකාලීන මානව හිමිකම් ගැටළු විසඳීම සඳහා අඛණ්ඩ අන්තර්ජාතික පීඩනයකට මුහුණදෙන බැවිනි. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන, සාක්ෂි රැස්කිරීම සඳහා බාහිර යාන්ත්‍රණයක් ස්ථාපිත කර ඇති මහකොමසාරිස් කාර්යාලයේ (OHCHR) ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය විශේෂයෙන් මතභේදාත්මක වී ඇත. මෙම ගැටලුවට මුහුණදීමට සිදු වූ පසුගිය ආණ්ඩු තුනම එයට දැඩි ලෙස විරුද්ධ වී තිබේ. 2024 ජූලි 5 වැනි දින වනවිට, මෙම මුලපිරීම යටතේ පිහිටුවන ලද OHCHR තොරතුරු ගබඩාවේ අන්තර්ජාතික සහ බහුපාර්ශ්වික සංවිධාන ඇතුළුව මූලාශ්‍ර 470 කට අධික සංඛ්‍යාවකින් රැස්කරන ලද වගවීමේ ක්‍රියාවලීන් සඳහා භාවිත කළ හැකි තනි අයිතම (දත්ත) 96,215 ක් අඩංගු විය.
අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රජාවගේ පිළිකුල මධ්‍යයේ, වර්තමාන අන්තර්ජාතික සන්දර්භය තුළ, වාර්ගික පිරිසිදු කිරීම සහ යුද අපරාධ ලෝකයේ මහජන දෑස් හමුවේ සිදුවෙමින් පවතී. නීති මත පදනම් වූ අන්තර්ජාතික නියෝගවල පරමාදර්ශය විශ්වාස කරන බොහෝ රටවල ආණ්ඩු සහ අන්තර්ජාතික සංවිධාන තිබේ. ලෝකය වඩාත් සාධාරණ හා ම්ලේච්ඡතාව අඩු ස්ථානයක් බවට පත්කිරීමට දායක වූ එම වටිනාකම්වලට අනුව තමන් අඛණ්ඩව කටයුතු කරන බව ලෝකයට පෙන්වීමට ඔවුන් කැමති වනු ඇත. ශ්‍රී ලංකාව අන්තර්ජාතික වෙළඳාම සහ සංවර්ධන ආධාර මත රඳාපවතී. එම ප්රතිලාභ බොහෝවිට අන්තර්ජාතික මානව හිමිකම් සම්මතයන්ට අනුකූල වීමට බලකෙරෙන කොන්දේසිවලට යටත් වේ. UNHRC නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් රජය සිය අන්තර්ජාතික සබඳතා වැඩිදියුණු කරනවා පමණක් නොව, අභ්‍යන්තර සුවය සහ ස්ථාවරත්වය ද වර්ධනය කරනු ඇත.
වාර්ගික හවුල්කාරිත්වය
කෙසේ වෙතත්, මහකොමසාරිස් ටර්ක්ගේ සංචාරයේ අභියෝගයට මුහුණදීම ජාතික ජන බලවේග ආණ්ඩුවට පහසු එකක් නොවනු ඇත. මේ දක්වා ආණ්ඩුව බලයේ සිටි පළමු මාස හය තුළ දැනට ක්‍රියාත්මක වන UNHRC යෝජනාවේ කැපීපෙනෙන ගැටළු විසඳීමට එතරම් දෙයක් කර නැති බව පෙනේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් UNHRC යෝජනා මාලාවේ නවතම අදියර 2022 ඔක්තෝබර් 6 වැනි දින සම්මත කරන ලද 51/1 යෝජනාව වන අතර, එය ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ කෙරෙහි අවධානය යොමුකරයි. අතුරුදහන්වූවන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටින දිගුකාලීන සිරකරුවන්, යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු නැගෙනහිර අඛණ්ඩව හමුදාකරණය කිරීම සහ සිවිල් ඉඩම් අත්පත් කරගැනීම වැනි ගැටළු මතුකළ පෙර යෝජනාවන් මත මෙම යෝජනාව ගොඩනැගී ඇත. ඉඩම් ආපසු ලබාදීමේ යම් ප්‍රගතියක් ඇති වුවද, අනෙකුත් බොහෝ කරුණු සම්බන්ධයෙන් සැළකිව යුතු වෙනසක් සිදුවී නොමැත.
ජනවාර්ගික ගැටුම සහ ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් තමන්ගේම ප්‍රතිපත්ති ප්රකාශනය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව පැහැදිලි කිරීමට ද රජයට සිදු වී තිබේ. ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශයට පත්කරන ලද ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රශංසනීය පොරොන්දු කිහිපයක් ඇති අතර, ඒවා ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කළහොත්, ජාතික සංහිඳියා ක්‍රියාවලියට විශාල දායකත්වයක් ලබාදෙනු ඇත. “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඇතුළු සියලුම පීඩාකාරී නීති අහෝසි කිරීම සහ රටේ සෑම ප්‍රදේශයකම ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සහතික කිරීම” සහ “සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ ඔවුන්ට නිදහසේ සමාජගත වීමට ඇති අවස්ථාව සහතික කිරීම” මේවාට ඇතුළත් වේ. දෙමළ දේශපාලන පක්ෂ විසින් දැන් කරන විවේචනයට ගොදුරුවීමට ආණ්ඩුවට හේතුවී ඇත්තේ, මෙම පොරොන්දු ඉටුකිරීමට අපොහොසත් වීමයි. එය පෙර පැවැති ආණ්ඩු විසින් අනුගමනය කරන ලද ක්රමවේදයම බව චෝදනා එල්ල කරන පාර්ශව පෙන්වාදෙයි.
ජාතික ජන බලවේගයේ පොරොන්දුවලින් වැදගත්ම එකක් ‘ශ්‍රී ලාංකික ජාතියක් – විශ්ව පුරවැසියෙක්’ යන මාතෘකාවෙන් යුත් 4.9 කොටසේ සොයාගත හැකි වේ. එමගින් ‘සියලු ජනවර්ගවල දේශපාලන හවුල්කාරිත්වය’ යන සංකල්පය පළමු මූලධර්මය ලෙස ඉදිරිපත් කරයි. ප්‍රායෝගිකව මෙය ක්‍රියාත්මක නොවේ. මෑතකදී, යාපනයේ පිහිටි තල් සංවර්ධන මණ්ඩලය බරපතල බිඳවැටීමකට මුහුණ දී ඇති බව දෙමළ ජනමාධ්‍ය වාර්තා කර ඇත. ඊට හේතුව, යාපනය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් දෙදෙනකුද ඇතුළත් වන මණ්ඩල සාමාජිකයන් තිදෙනකුගේ විරෝධතාවයක් සහ ඔවුන්ගේ ඉල්ලා අස්වීමයි. කොළඹදී අමාත්‍යවරයා හමුවී පවත්වන ලද සාකච්ඡාවකදී ඔවුන්ගේ අදහස් නොසළකා හරින ලද බවත්, ඔවුන්ට පරිවර්තන පහසුකම් පවා ලබා දී නොමැති බවටත් චෝදනා එල්ලවී තිබේ. විවිධ ජනවාර්ගික හා භාෂා ඇති රටේ, විවිධ ප්‍රදේශවලින් පැමිණි පුද්ගලයන් සමඟ හවුල්කාරිත්වයෙන් කටයුතු කිරීම සඳහා සංවේදීතාව සහ සංවාදයේ යෙදීම පැවැතිය යුතු අතර, එය යථාර්ථයක් වීමට නම් එක්ව තීරණය කිරීම අවශ්‍ය වේ.
හවුල්කාරිත්වය අවශ්‍ය වේ
උපදේශනයක් නොමැතිකම සහ හවුල්කාරිත්වයක් නොමැතිකම පිළිබඳ තවත් උදාහරණයක් නම්, උතුරේ හිස් ඉඩම් මාස තුනකින් හිමිකරුවන් විසින් ඉල්ලා නොසිටින්නේ නම්, ඒවා රජයට පවරාගැනීම සම්බන්ධයෙන් මෑතකදී නිකුත් කරන ලද ගැසට් නිවේදනයයි. එය පසුව අවලංගු කරන ලදී. මෙම ඉඩම් අත්පත් කරගැනීමේ නීතිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ඡන්ද අඩුවීමට දායක වූ බව පෙනේ. 2025 මාර්තු 28 වැනි දින නිකුත් කරන ලද ගැසට් අංක 2430 යටතේ, උතුරේ ඉඩම් හිමියන්ට ඔවුන්ගේ ඉඩම්, රාජ්‍ය දේපළ ලෙස ප්‍රකාශයට පත්කිරීමට පෙර හිමිකාරිත්ව හිමිකම් ප්‍රකාශ කිරීමට මාස තුනක කාලයක් ලබාදුන්නේය. විධිමත් හිමිකම් නොමැති පුද්ගලයන් නෙරපාහැරීම සඳහා බ්‍රිතාන්‍යයන් විසින් පනවන ලද යටත් විජිත නීතියක් යටතේ මෙය සිදු වූ බව කියනු ලැබේ. යුද්ධයේ අවසාන සටන් පැවැති මුල්ලිවයික්කාල් ඇතුළු දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශවල ජනතාවගෙන් ඉඩම් ලබාගැනීම නීත්‍යානුකූල කිරීමට පුළුල් උත්සාහයක් පවතින බවට මෙය සංඥාවක් බව ප්රකාශවූ අතර, ඒ සම්බන්ධයෙන් ජනතාව අතර විශාල කනස්සල්ලක් නිර්මාණය විය. එය තවදුරටත් අවතැන්වීම පිළිබඳ තර්ජනයක් ගැන ඉඟිකරන අතර, නැවත පදිංචි කිරීමේ කටයුතු අඩපණ කර, අනුස්මරණ කටයුතු අවහිර කරයි.
කෙසේ වෙතත්, සැළකිව යුතු කරුණ නම්, මෙම ක්‍රියාමාර්ග නොතකා, රජය තවමත් උතුර සහ නැගෙනහිර පළාත්වල පෙර පැවැති ඕනෑම ආණ්ඩුවකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමයි. මෙයට හේතුව, වාර්ගික බහුතරය මෙන්, වාර්ගික සුළුතරයන්ටද, රට සංවර්ධනය කිරීමට සහ සියලු ජනතාවට සමෘද්ධිමත් වීමට හැකි වන පරිදි ඔවුන් පාලනය කරන ආකාරයේ පද්ධති වෙනසක් අවශ්‍ය වීමයි. ඉහළම මට්ටමේ දේශපාලනඥයන් දැන් අධිකරණ මගින් දූෂණයට වැරදිකරුවන් බවට පත්වීම සහ අධිකරණයේ ස්වාධීනත්වය සඳහා සුදුසු පරිසරයක් තිබීම ප්‍රධාන ධනාත්මක සළකුණකි. මෙය ජාතික ජන බලවේග ආණ්ඩුව සතුව ඇති අද්විතීය ශක්තියක් වන අතර, එය වාර්ගික සුළුතරයන්ගේ සහයෝගය දිනාගැනීමට සහ තහවුරු කිරීමට පූර්ණ ලෙස භාවිත කළ යුතුය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පද්ධතියේ අභියෝගයට මුහුණදීම සඳහා වාර්ගික (සහ ආගමික) සුළුතරයන්ගේ නියෝජිතයන්ගේ සහාය ද අවශ්‍ය වේ. ඔවුන් රජයට විරුද්ධ වුවහොත් හෝ ඊට පටහැනි ස්ථාවරයන් ගන්නේ නම්, ශ්‍රී ලංකාව අන්තර්ජාතික පීඩනය යටතේ අඛණ්ඩව පවතිනු ඇත. UNHRC යෝජනාවේ ඊළඟ අලුත් කිරීම හෝ දීර්ඝ කිරීම 2025 සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේදී සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ දක්වා ඇති ප්‍රවණතාව නම් යෝජනා තවදුරටත් දැඩිවෙමින් පැවැතීමයි. කැනඩාවේ, දෙවැනි ජන සංහාරක අනුස්මරණයක් සැලසුම් කර ඇති අතර, මෙය කැනඩාවේ විශාලතම නගරය වන ටොරොන්ටෝ හි පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා රජයට මෙම අභියෝග තනිවම ජය ගත නොහැකි නමුත්, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දු වූ පරිදි ‘සියලු ජනවාර්ගික දේශපාලන හවුල්කාරිත්වයක්’ තුළ වාර්ගික සුළුතරයන් තම පැත්තේ සිටී නම් එය වඩා හොඳින් සිදුකළ හැකි වනු ඇති බව කිවයුතුය.