“නිහඩව ඉන්න එක මධ්‍යස්ථවීමක් නොවේ, ඒක වරදට හවුල් වීමක්….” නිදහස උදෙසා Madleen නෞකාව ගාසා තීරයට යාත්‍රා කරයි.

ඊශ්‍රායලය විසින් ගාසා තීරය ඇතුලු ප්‍රදේශයන් හී සිදුකරන සියලු අවහිර කිරීම් මෙන්ම ජන සංහාරයට විරුද්ධව, සාමකාමී විරෝධතාවයක් ලෙස ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන යන ‘මාඩ්ලීන්’ නමැති සිවිල් ක්‍රියාකාරීන්, ක්‍රියාකාරීණියන්ගෙන් සමන්විත නෞකාවේ ගමන පිළිබඳව Freedom Flotilla Coalition (FFC) සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ දැක්වෙන්නේ, මෙම Madleen යාත්‍රාව, ගාසා තීරයේ පළමු ධීවර කාන්තාවගේ නමින් නම් කර ඇති අතර, පලස්තීන ජනතාවගේ නොසැලෙන ධෛර්ය සහ දඬුවම් ප්‍රතිපත්තිවලට එරෙහි සාමූහික ගෝලීය විරෝධය සංකේතවත් කරන ආකාරයට සංවිධානය කර ඇති බවයි. ඔවුන් මෙසේ ද පවසා සිටී, මාසයකට පෙර තවත් මෙවැනිම ආධාර බෙදීමට සහ සහයෝගීතාවය වෙනුවෙන් ගමන්ගත් නෞකාවකට ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු මෙම මෙහෙයුම නැවතත් ආරම්භ වී ඇති අතර, එය ආධාර බෙදා හැරීමේ හදිසි අවශ්‍යතාව සහ අනතුර ද අවධාරණය කරයි. එසේම ඊශ්‍රායලය විසින් ගාසාව වටලා තිබීමට එරෙහිව සාමකාමීව සිදුකරන සෘජු අභියෝගයක් ලෙසත් මෙම නෞකා ගමන සංඛේතවත් කරන බව පැවසේ. එම වටලෑම නීති විරෝධී බවත් සහ ජන සංහාරයක් බවත් FFC පවසයි. එසේම මෙය සම්පූර්ණයෙන්ම සාමාකාමී සිවිල් විරෝධතාවයක් ලෙස FFC විසින් ඔවුන්ගේ මාධ්‍ය නිවේදනයෙන් තවදුරටත් පැහැදිලි කරන අතර නෞකාවේ සිටින සියලු දෙනාම නිරායුධ මිනිසුන් සහ ගැහැණුන් බවත් ඔවුන් අවධාරණය කරයි.

අන්තර්ජාතික මානව හිමිකම් ක්‍රියාකාරීන්, යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී රීමා හසන් Rima Hassan) සහ දේශගුණික යුක්ති ක්‍රියාකාරිනී ග්‍රේටා තන්බර්ග් (Greta Thunberg) වැනි ලොව ප්‍රමුඛ ක්‍රියාකාරිකයන්, ක්‍රියාකාරිණියන් මෙම නෞකාවේ ගමන් ගන්නා අතර, ඔවුන් ‘ගාසා තීරයේ වටලෑම’ අවසන් කරන ලෙසට ඉල්ලීම් කරයි.

‘නිහඩව ඉන්න එක මධ්‍යස්ථවීමක් නොවේ, ඒක වරදට හවුල් වීමක්, ගාසාවල මිනිස්සු බඩගින්නේ මැරෙද්දී, ලෝකය බලං ඉන්නවා, මේ නැවෙන් අධාර විතරක් නෙවෙයි, ඉල්ලීමකුත් ගේනවා. වටලෑම ඉවර කරන්න, ජන සංහාරය නතර කරන්න!” යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී රීමා හසන් (Rima Hassan – France) ) පවසයි.

‘මිනිසුන් මිලියන 2කකට වඩා හිතාමතාම බඩගින්නේ තියන හැටි අපි දකිනවා. ලෝකෙට නිකංම බලාගෙන ඉන්න බැහැ. නිදහස් පලස්තීනයක් වෙනුවෙන් සටන් කරන්න, අපිට සදාචාරාත්මක වගකීමක් තියනවා.” දේශගුණික යුක්ති ක්‍රියාකාරිනී ග්‍රේටා තන්බර්ග් (Greta Thunberg – Sweden)

කෙසේ නමුත්, “මාඩ්ලීන්”(Madleen) නෞකාවේ ප්‍රධාන අරමුණ වන්නේ ඊශ්‍රායලයේ “නීති විරෝධී ක්‍රියාකාරීත්වයට සහ ජන සංහාරයට” එරෙහිව සෘජුවම සාමකාමීව අභියෝග කිරීමයි. එබැවින් මෙය සාමකාමී සිවිල් විරෝධතාවයක් ලෙස අවධාරණය කරයි.

නෞකාව ගාසා තීරයේ ජනතාවට “හදිසි අවශ්‍යතා සහිත සැපයුම්” රැගෙන යයි.

විවිධ රටවලින් පැමිණි ස්වේච්ඡා සේවකයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් මෙම මෙහෙයුමට සම්බන්ධ වී සිටින අතර, ගාසා හි සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් ලෝකයේ සදාචාරාත්මක වගකීම සහ ජාත්‍යන්තර සහයෝගීතාවය ඉන් අවධාරණය කරයි.

මෙම මෙහෙයුම, වසර 15 කට පෙර මානුෂීය ස්වේච්ඡා සේවකයන් දස දෙනෙකු ඝාතනය වූ “මාවි මාමාරා”(Mavi Marmara) සිදුවීමේ “උරුමයේ අඛණ්ඩ පැවැත්මක්” ලෙස හදුන්වන අතර අතීත සිදුවීම්වල අඛණ්ඩ පැවැත්ම සහ නොපසුබට උත්සාහය මෙයින් සඛේතවත් කරයි.

“මාඩ්ලීන්” නෞකාව ගාසා තීරය බලා පිටත් වී ඇත්තේ පසුගිය 2025 ජුනි 1, 16:00 GMT+2ට වන අතර, එහි ආරම්භක ස්ථානය: ඉතාලියේ සිසිලියේ, කැටානියාව වන අතර, කිසිදු අන්දමක බාධාවක් සිදු නොවුනහොත්, කිලෝමීටර් 2,000 (සැතපුම් 1,250) දිගු ගමන අවසාන කිරීමට දින හතක් (ආසන්න) ගතවීමට නියමිතය.

ළමුන්ට අවශ්‍ය කිරිපිටි, පිටි, සහල්, ඩයපර්, කාන්තා සනීපාරක්ෂක ද්‍රව්‍යය, ජලය පිරිසිදු කිරීමේ කට්ටල, වෛද්‍ය ආධාර, කිහිලිකරු සහ ළමා කෘතිම පාද ඇතුළු ගාසා ජනතාවට හදිසි අවශ්‍යතා ද්‍රව්‍ය මෙම නෞකාවේ ඔවුන් විසින් රැගෙන යයි.

පෙර සිදුවීමක බලපෑම:

“මාඩ්ලීන්” යාත්‍රාව දියත් කිරීම මේ වන විට සිදුවන්නේ “ඊශ්‍රායල ඩ්‍රෝන යානා විසින් මාල්ටා වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු තීරයේ දී තවත් නිදහස් යාත්‍රා ආධාරක නෞකාවක් වූ ‘කොන්ෂියන්ස්’ බෝම්බ හෙලීමෙන් මාසයකට පසුවය. එමඟින් ගාසා තීරයේ වටලෑම බිඳ දැමීමේ මෙම මෙහෙයුමේ හදිසිභාවය සහ අන්තරාය යන දෙකම අවධාරණය කෙරේ.”

නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් අහසේ

අඟහරුවාදා(03) රාත්‍රියේදී, කිලෝමීටර් 68 (මායිල් 42) පමණ දුරින් මැඩ්ලීන් යාත්‍රාව ගමන් කරන විට යාත්‍රාවට උඩින් නිරීක්ෂණ ඩ්‍රෝනයක් දැක ගත හැකි වූ බව වාර්තා වෙයි. එම ඩ්‍රෝනය Hellenic Coastguard Heron ලෙස හදුනාගනු ලැබූ බව වාර්තා වන අතර එය මේ වන විට පිටත්ව ගොස් ඇත.

මෙහෙයුමේ දර්ශනය සහ අරමුණු:

‘මාඩ්ලීන්’ යාත්‍රාවේ සිටින සියලුම ස්වේච්ඡා සේවකයන් සහ කාර්ය මණ්ඩලය අවිහිංසාව පිළිබඳව පුහුණුවක් ලබා ඇති අතර, ඔවුන් සියලු දෙනා නිරායුධව යාත්‍රා කරන්නේ, අනෙක් සියලුම ජනතාවට මෙන් පලස්තීන ජනතාවටත් සමාන අයිතිවාසිකම්, නිදහස සහ අභිමානය ලැබිය යුතු බවට වූ පොදු විශ්වාසයකින් එක්වය, ඔවුන් වැඩිදුරටත් පවසයි.

“අවදානම් තිබියදීත්, සාමකාමී, සෘජු, සිවිල් විරෝධතා තවමත් වැදගත් බව අපි විශ්වාස කරමු—සක්‍රීය සහයෝගීතාවයට ලෝකයේ සදාචාරාත්මක මාලිමා යන්ත්‍රය වෙනස් කළ හැකිය. ඒ නිසා ‘මාඩ්ලීන්’ යාත්‍රා කරයි.”

“ගාසා තීරයේ වටලෑම පවත්වාගෙන යනු ලබන්නේ ඊශ්‍රායලයේ ගිනි බලයෙන් පමණක් නොව, ගෝලීය නිශ්ක්‍රියතාවයෙනි.” ඔවුන් සෘජුවම පවසා තිබිණි.

FFC ඉල්ලීම්:

🔴 ආණ්ඩු වෙත: <em>මාඩ්ලීන් සහ සියලුම මානුෂීය යාත්‍රා සඳහා ආරක්ෂිත මාර්ගයක් සහතික කිරීම

🔴 මාධ්‍ය ආයතන වෙත: මෙම මෙහෙයුම නිවැරදිව හා අවංකව වාර්තා කිරීම

🔴 සෑම තැනකම හෘදය සාක්ෂිය ඇති ජනතාව වෙත: නිශ්ශබ්දතාවය, නිහඩ බව නතර කර/ප්‍රතික්ෂේප කර ගාසාවේ නිදහස වෙනුවෙන් පෙනී ඉන්න, ක්‍රියා කරන්න

මැඩ්ලීන්(Madleen) යාත්‍රාවේ ගමන් ගන්නා ක්‍රියාකාරීන්, ක්‍රියාකාරීණියන් (in alphabetical order)

❤️ Yasemin Acar – Germany

❤️ Baptiste Andre – France

❤️ Thiago Avila – Brazil

❤️ Omar Faiad – France

❤️ Rima Hassan – France

❤️ Pascal Maurieras– France

❤️ Yanis Mhamdi – France

❤️ Şuayb Ordu – Turkey

❤️ Greta Thunberg – Sweden

❤️ Sergio Toribio – Spain

❤️ Marco Van Rennes – The Netherlands

❤️ Reva Viard – France

*ඊශ්‍රායලය විසින් ගාසාවට සිදුකරන ජන සංහාරයට එරෙහි සාමකාමී, සිවිල් විරෝධතාවයක් දියත් කරමින්, ඉතාලියේ සිට ගාසා තීරය දක්වා Madleen නෞකාව නිදහස් පලස්තීනයක් වෙනුවෙන් යාත්‍රා කිරීම පිළිබද Freedom Flotilla Coalition (FFC) විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එම එම වාර්තාව සහ තවත් ඒ පිළිබද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ඇසුරිණ් සකස් කෙරිණි.

@Sampath Samarakoon/ vikalpa.org

Social Sharing
අවකාශය නවතම