“මං ආවේ ආදරේ සොයාගෙන. ආවා සොයා ආදරේ”

මේ තමයි මාලනීගෙ අවසන් උපන්දිනය දවසෙ ඇය වේදිකාවෙ කියපු අන්තිම වචන ටික. මේ වවන ටික හරිම ඉරණම්කාරීයි සහ හරිම සිනමාරූපියි. මොකද මාලනී පෙම්වතිය ලෙස රගපෑ 1975 දි තිරගතවුනු චිත්‍රපටියෙ නම “ආවා සොයා ආදරේ”.

ආවා සොයා ආදරේ චිත්‍රපටය ලාංකීය ප්‍රේම සිනමාත්මකයේ නැංගුරුම කිව්වොත් නිවැරදියි.ඒක 70 ගනන්වල සිනමා රසිකයා පිස්සුවෙන් වගේ නරඹපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 10.30/2.30/6.30 දර්ශනවාර තුනම එක දිගට නරඹපු සිනමා රසිකයො එමටයි. ආවා සොයා ආදරේ 75 වසරේ උන්මාදයක් රසිකයන් අතරෙ උන්මාදයක් බවට පත් වුන චිත්‍රපටියක්.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ ලෙනින් මොරායස්. එහි ප්‍රධාන චරිත රගපෑවෙ ගාමිණී/මාලනී. ලෙනින් මොරායස් මීට කලින් ගාමිණී වෙනුවෙන් සූර චිත්‍රපට දාමයක් අධ්‍යක්ෂණය කලා. සූරයන්ගෙත් සූරයා (1969), එදත් සූරයා අදත් සූරයා(1972), අවසාන වශයෙන් සූරයා සූරයාමයි චිත්‍රපටය කරල ඔහු ඔහුගේ සූර චිත්‍රපට මාලාව අවසන් කලා. සූරයා සූරයාමයි තිරගත වෙන්නෙත් ආවා සොයා ආදරේ තිරහත වුනු 1975 දිමයි. මේ ලෙනින් මොරායස්ගෙ සූර චිත්‍රපට මාලාව අවසන් වීමත් ආවා සොයා ආදරේ චිත්‍රපටය පැමිණීමත් රූපිකව වැදගත්.

ආවා සොයා ආදරේ චිත්‍රපටය 70 දශකයේ ගොඩනැගුණු සුවිසේශී ප්‍රේම සිනමාත්මකය වටහා ගන්න එහි ව්‍යුහාත්මක සැකැස්ම වටහා ගන්න ඉතාමත් හොද චිත්‍රපටයක්.

ඒකට අපි චිත්‍රපටයේ ගීත සැකැස්ම ගැන ටිකක් විපරම් කරල බලමු. (චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කලේ සරත් දසනායක. ගීත බොහෝමයක් ලිව්වෙ ධර්මසිරි ගමගේ. ජෝති ඇන්ජලීන්, ලතා, එම් එස් පසුබිම් ගායනයට එකතු වුනා)

චිත්‍රපටය ආරම්භ වෙන්නෙ නගරෙ ඉදන් ගමට ජීප් එකකින් එන ගාමිණීගෙ ගීතයකින් (ඕලු පියල්ලකි හද මගේ..ජෝති) නගරෙ ඉදං පිරිමියා ප්‍රේමය හොයාගෙන ගමට එනව.

ඊලග ගීතය මාලනී තනියම කදු කැලෑ සහිත එලිමහනක  ගීතයක් (රොන් සොයා පියඹන සමනලිය සේ….ලතා) පිරිමියා නගරෙ ඉදං ප්‍රේමය හොයාගෙන එනකොට ගැහැණිය ඉන්නෙ සොබාදහම එක්ක (අපේ පුරාවෘතිත මනස අනුව ස්ත්‍රිය- සශ්‍රීක දෙවගනක් වෙනව).

ඊලගට ගාමිණී (පිරිමියා) මාලනී තවත් ස්ත්‍රින් පිරිසක් එක්ක නර්තනයේ යෙදෙනව හොරෙන් බලන් ඉන්නව. (සොයා සොයා යමි දැකුමට නැත්තේ සැබෑ ආදරෙ කොයිබද ඇත්තේ…ඇන්ජලීන්) මේක හරි තීරණාත්මක සංසිද්ධියක්. පිරිමියාගෙ බැල්ම (Gaze) තුල ස්ත්‍රිය සලකුණු වීම පෞද්ගලික ලිංගික ආලය ගොඩැනෙගන විට අත්‍යාවශ්‍ය කොන්දේසියක්.

ඊලගට චිත්‍රපටයේ තියෙන්නෙ ගාමිණීගෙයි මාලනීගෙයි ප්‍රේමය කේවල් කරන ගීතයක්. (කවුදෝ කවුදෝ සෙව්වෙ මේ ආ ගමන් යන්නේ…ජෝති). මෙතනත් වැදගත් කාරණයක් තියෙනව. ඒ තමයි වෙනස් ලිංගිකයන් දෙකක (ස්ත්‍රී/පුරුෂ) දෙදෙනෙක් සම්බන්ද වෙනකොට අනිවාර්‍යෙන් මුලින්  සිද්දවෙන දේ තමයි මේ ලිංගික අනන්‍යතා දෙක අතර ඇතිවන ගැටුම (මේක මානසික අවධියක් වශයෙන් Teanage වයසෙදි හොදින් දැක ගන්න  පුලුවන්) . දෙගොල්ලන් කේවල් කරගැනීම – උදාහරණයකට කොල කඩ කඩ බොරුවට දෙනවා  ගීතය  ඒ වගේ අපට තියෙන පැරනි ගීතයක්. එතන හරියට  පිරිමිය සහ ගැහැණිය වාදබයිලාවක වගේ ගැහැණු පිරිමි වෙනස ගැන වාද කරගන්නව. ඉහත කව්දෝ  කවුදෝ සෙව්වේ ගීතය, කොල කඩ කඩ බොරුවට දෙනවා ගීතය තරම්ම නොවුනත් ගාමිණී මාලනී එකිනෙකාට කේවල් කරන ආකරයක් උසුලු විසුලු කරන නර්තනයක් දැකගන්න පුලුවන්.

ඊලගට චිත්‍රපටයෙ තියෙන්නෙ රන්මසු රන්කිරි ගරුඩ තලාවක…(ජෝති/ඇන්ජලීන්) ගීතය. මේ ගීතය විසින් ප්‍රේමයේ උත්කර්ශයට නැංවනව. එහෙමත් නැතිනම් ස්ත්‍රී පුරුෂ ප්‍රේමය උත්කර්ශවත් ලෙස සමරනව. ආවා සොයා ආදරේ චිත්‍රපටයෙ තියෙන සුවිසේශය තමයි බොහෝ චිත්‍රපටිවල ප්‍රේමයේ උත්කර්ශය පෙන්නන්න මල්වතු දිය ඇලි, මීදුම, සුවිසල් තනිතලාවන්ගෙන් යුත් ඉතාමත් මනස්කාන්ත පසුබිම් දර්ශන (සිහිනමය) යොදා ගත්තත් මේ ගීතමය ජවනිකාවෙ පසුබිම සාමාන්‍ය ගැමි භූමි දර්ශනයන් යොදාගෙන තියෙන්නෙ. නමුත් අපට ප්‍රේමයේ උත්කර්ශය හොදින්ම මේ ගීතයේ දැනෙන්නෙ විශේෂයෙන් මාලනීගෙ ගාමිණීගෙ නර්තනයන් හැගීම්  ප්‍රකාශනයන් සරත් දසනායකගෙ සංගීතය ජෝති ඇන්ජලීන්ගෙ ගායනය සහ ලෙනින් මොරායස්ගෙ පිස්සු හැදෙන රූප සංරචනය නිසා…

ඊලගට තියෙනව ගාමිණී පියානෝව වයමින් මාලනී ඉදිරියේ සිටියදී මාලනී දිහා බලාගෙන කියන (ආදරයෙ මාලිගයේ රූ රැජිනියේ…ජෝති ) ගීතය. තමා අත්පත් කරගත් ප්‍රේමය නිසා පෙම්වතිය වෙනුවෙන් ඒ ප්‍රහර්ශය පුද කිරීම.

චිත්‍රපටයෙ අවසන් ජවනිකාව වෙන්නෙ  ගාමිණීට මාලනී එක්ක තිබුනු ප්‍රේමයට දැඩි විරෝධයක් දක්වපු ගාමිණීගෙ වතු අයිතිකාර පියා නිසා ගාමිණී අනතුරකට ලක්වෙනව. ඔහු මාරාන්තිකව සිහිසුන් වෙනව. මේ වෙලාවෙ ගාමිණීට නැවත සිහිය එන්නෙ  මාලනීගෙ නැවත පැමිණීම නිසා. (මහ සැඩ සුලගට අසුවි මැදිවීලා…ඇන්ජලීන්). පිරිමියා ප්‍රේමය තුල මිය යාම සහ නැවත ඉපදීම…පිරිමි ජීවිතේ ප්‍රේමය නිසා කණ්ඩනය ලක්වීම..ඕනෙ නම් අපට කියන්න පුලුවන් තනිකඩ පිරිමියා මිය ගිහින් පෙම්වතාගෙ නැවත ඉපදීම කියලත්…

ඉතිං අපට ආවා සොයා ආදරේ ගීත පෙලගැස්ම පොදු ගැහැණියගේ සිට පෞද්ගලික පෙම්වතිය දෙසට සිදුවන පරිවර්තනයත් තනිකඩ පිරිමියා මියගොස් පෙම්වතෙක් බවට සිදුවන පරිවර්තනයත් දෙසට දිශානත වෙලා තියෙනව දැකගන්න පුලුවන්.

ස්ත්‍රි පුරුෂ ප්‍රේමයේ තවත් එක පැත්තක් තමයි ගැහැණු පිරිමි වෙනස පිලිගැනීම සහ එය උත්කර්ශයට නැංවීම. ආවා සොයා ආදරේ නොවැලැක්විය හැකි ලෙස එසේ නොවන පවුල් ආකෘති උපහාසයට නැංවෙනව. මේ චිත්‍රපටයෙ විකට චරිතය රගපාන්නෙ ඇන්තනි සී.පෙරේරා. ඇන්තනි සී ගෙ නම ජොන්සන්.මේ චිත්‍රපටියෙ ඉන්නව ජොන්සන් පවුලක්.මේ ජොන්සන් පවුලෙ සියලු චරිත (සීයා,ආච්චි, අම්මා, තාත්තා, නංගි) රගපාන්නෙ ජොන්සන්. මේකෙන් ස්ත්‍රී පුරුෂ වෙනස නැති සමජාතීය පවුල උපහාසයට ලක් කෙරෙනව මේ චිත්‍රපටයේ ඇන්තනි සී ගේ (ජොන්සන් පවුල) කාර්‍ය්යෙන් ස්ත්‍රි පුරුෂ වෙනස උත්කර්ශයට නංවන ප්‍රේමයේ පසුබිම නිර්මාණය කෙරෙනව.

නූතන  ප්‍රේමයේ විකාශනය සිද්ධවෙන්නෙ 18-19 සියවස් වල යුරෝපය කේන්ද්‍ර කරගෙන නිර්මාණය වුනු නූතනවාදී සාහිත්‍ය හරහායි.බොහෝවිට නවකතාව කේන්ද්‍ර කරගෙනයි (විශේෂයෙන් නූතනවාදී ලේඛිකාවන්ගෙ නවකතා හරහා). මේ සාහිත්‍ය රචනා තුල එවකට පැවති පවුල් නිර්මිතයන් සමාජ නිර්මිතයන්, ආගමික සංස්තාපිතයන් විවේචනයට ලක්වුනා සහ ප්‍රේමය ඒවාට අභියෝගයක් වශයෙන් ඉදිරිපත් වුනා.ලංකාවේ මේ නූතනවාදී ව්‍යාපෘතිය සාහිත්‍ය තුල 50 -60 දශකවල දකින්නට තිබුනත් එය පොදු ජනයාට වඩාත් දැනෙන ආකාරයට ඉදිරිපත් වුනේ සිනමාව හරහයි. විශේෂයෙන් 70 දශකයේ සිනමාව කියන්නෙ එහි ස්වර්ණමය අවදිය කියල අපට හදුන්වන්න පුලුවන්. ආවා සොයා ආදරේ චිත්‍රපටයෙත් එවකට පැවති සමාජ ආර්තික ස්ථාපිතයන්ට විරුද්ධව ප්‍රේමය විසින් ගසන කැරැල්ලක් විදියටත් අවසානයේ ප්‍රේමය ජය ලැබීමත්  චිත්‍රපටය බලන රසිකයා අත්විදිනව. එක්තරා විදියකට මිනිස් සම්බන්ධතා වල මේ අලුත් මුහුණුවර (ප්‍රේමය) නැරඹීමෙන් (සිනමාත්මක අත්දැකීම) රසිකයා පාරිකල්පනික නැවත ලිහීමකට (imaginary resolution ) ලක් වීමක්ද වෙනවා.

ඉතින් මාලනීගෙ අවසන් වාක්‍ය…මං ආවෙ ආදරේ සොයාගෙන. ආවා සොයා ආදරේ…මේ ප්‍රකාශය අහඹු නෑ…මාලනී ඉවෙන් වගේ දන්නවා ඇය පාවිච්චි උනේ ලාංකීය ඉතිහාසයේ මොන සංසිද්ධියකටද, කුමන ප්‍රවාහයකටද කියල….

කපිල ක්‍රිෂාන්ත

Social Sharing
අවකාශය නවතම