පිරිවෙන් වාසී කුඩා හිමියන් පස් දෙනෙකුට එම පිරිවෙනෙහි වැඩ වාසය කරන වැඩිහිටි හිමිනමවරුන් දෙපළක් විසින් දින හතරක් තිස්සේ වරින් වර දණගස්වා වේවැල් මගින් පහර දුන් සිද්ධියක් කළුතර උතුර වස්කඩුව දෙදිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී සුදර්ශනාරාම සෝමාරාම පිහිරිවෙන හි වැඩ වාසය කරන විරකැටියේ සිදත්ත (අවු 14 යි ) හා ඥානාරාම සුගුණ ඉන්ද්‍ර විමල සුදමිම නම් කුඩා හාමුදුරුවන් ඇතුළුව තවත් හිමිනමවරු තිදෙනෙකුට 2025 මැයි මස 17 වන දින සිට දින හතරක් පුරාවට සෑම රාත්‍රියකම එම පිරිවෙනේ වැඩ වාසය කරන වැඩිහිටි හිමිවරුන් දෙපළක් විසින් දණගස්සා වේවැල් වලින් පහර දි වද හිංසා කර තුවාල කර ඇත. එම පහර දීම් හමුවේ කුඩා හිමිවරුන්ගේ පිට ප්‍රදේශයෙන් තුවාල ඇති වී ලේ ගලා ඇති අතර එම හිමිවරුන්ගේ ඔළුවට ද පහර දී ඇත. එමෙන්ම පහර කෑ සිදත්ත හිමිනම පැන යයි කියා කාමරයකට දමා සිරකර ඇති අතර ඒ බව ඉන්ද්‍ර විමල විසින් සිදත්ත හිමිගේ වැඩිමල් සොහොයුරියට වෙනත් පුද්ගලයකුගේ ආධාරයෙන් මැයි මස 23 දන්වා ඇත.
පසුව එම වැඩිමහල් සහෝදරිය හා හිමිනමගේ මව සමඟ මැයි මස 25 වන දා අදාළ පිරිවෙනට ගොස් ඇති අතර එහිදී කුඩා හිමිනමවරුන් විසින් ඔවුන්ට පහර දුන් ආකාරයත් තුවාලත් පෙන්වා ඇත. පසුව සිදත්ත හිමිගේ මව විසින් කුඩා හිමිනමව නිවසට රැගෙන යාමට නායක හිමිගෙන් අවසර ඉල්ලා ඇති අතර එහිදී එම හිමි නම විසින් පවසා ඇත්තේ පහර දුන් හිමිනමට විරුද්ධව නීතිමය පියවර නොගන්නා ලෙසත් එලෙස කළහොත් වැඩ වරදියි යනුවෙනි.
තවද සිද්දත්ත හිමියන් වදහිංසාව දරා ගැනීමට නොහැකිව පැන යාමට හැදුව බවත් එලෙස පැන යාමට නොහැකි වුනොත් සිය දිවි හානි කරගැනීමට සිතුන බවද පවසා ඇත. ඒ අනුව සිදත්ත හිමියන්ව රැගෙන ගොස් විරකැටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්ශයට මෙ බව පැමිනිලි කර පසුව එම හිමියන්ව රෝහල් ගත කර ඇත. තවත් කුඩා හිමිවරුන් පිරිවෙනේ වැඩ වාසය කරන අතර එම අයගේ දෙමාපියන්ද මේ පිළිබඳ නොදනි. මෙම තත්වය යටපත් කිරීමට සැකකාර හිමිනම නැවත කුඩා හිමියන්ට වද හිංසා කර බලපැම් කරන බවද වාර්තා වේ.
මෙම සිදුවීම සඳහා නිතිමය පියවර ගැනීමට විරකැටිය පොලිසිය කළුතර උතුර පොලිසියට පැමිණිළි කර ඇත. එහෙත් කළුතර උතුර පොලිසිය විසින් 29 වන දා පිරිවෙනට ගොස් කුඩා හිමියන් හතර දෙනාව පොලිසියට රැගෙනගොස් ප්‍රකාශ සටහන් කරගෙන වෛද්‍ය පරීක්ෂන වලට නොයවා නැවතපිරිවෙනට යවා ඇත. කරුනු එසේ තිබියදී 30 වන දින මා සිද්දත්ත හිමියන්ව කළුතර උතුර පොලිසියට ප්‍රකාශයක් ගැනිමට රැගෙන එන ලෙස හිමිනමගේ සහෝදරියට දන්වා ඇත.
එම අවස්ථාවෙදි සිදත්ත හිමිගේ සහෝදරිය විසින් විරකැටිය පොලිසියෙන් පොඩි හාමුදුරුවන්ව වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් නොකලේ ඇයි දැයි විමසා ඇති අතර පොලීසිය පවසා ඇත්තේ ‘තුවාල නැහැ, එයලාට ගැහැව්වේ නැහැ කිව්වා’ යනුවෙනි. එවිට ඇය විමසා ඇත්තේ සිවුරු ඉවත් කොට හිමිවරුන්ගේ තුවාල බැලුවෙ නැද්ද? හා නැවත ඒ පන්සලට යැව්වේ ඇයි දැයි යනුවෙනි. තවද ඇය පවසා ඇත්තේ ‘මම පොලිසියට මේ බව පැමිනිළි කළේ ඒ පොඩි හාමුදුරුවන්වත් බේරගන්න අවශ්‍ය නිසා බවයි.
තවද සැකකාර හිමිනමට මින් පෙරත් එනම් 2023 වසරේ තවත් කුඩා හිමිනමවරුන්ට පහර දි හා අපයෝජනය කිරීම් සම්බන්ධව නඩු 03ක් මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින බවට වාර්තා වේ.
මේ වනවිට එක් සැකකාර හිමිනමක් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය කටයතු කරන අතර ඒ අනුව මේවන විට ඔවුන් විසින් ළමා ආරක්ෂක අධිකාරියට, නියෝජ්‍ය පොලිස්පතිට හා මානව හිමිකම් කොමිසමට පැමිණිළි කර ඇත.
මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා අපගේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වන මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත හෝ අපගේ ප්‍රධාන කාර්යාලයට ඔබගේ පැමිණිළි ඉදිරිපත් කළ හැක.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය
0112-669100