ලංකාවේ පසුගිය දශක පහක පමණ කාලය සාකච්ඡා කිරීමේදී බොහෝ විට සැලකිල්ලට නොගැනෙන කරුණක් නම් අප ලංකාව සම්බන්ධයෙන් කතා කරන විට ඇත්තෙන්ම කතා කරන්නේ ඉතාමත්ම දුර්වල රාජ්‍යතන්ත්‍රයක් පැවතෙන රටක් වශයෙන් බවය. මෙහිදී වැදගත් වන්නේ ආණ්ඩුවක් හා රාජ්‍යතන්ත්‍රයක් අතර පවතින මූලික සංකල්පමය හා ප්‍රායෝගික වෙනස මෙවැනි විග්‍රහයකදී ඉතා ප්‍රධාන සාධකයක් ලෙස සැලකිය යුතු බවය. 1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණ මගින් ඇති කරන ලද ඡන්දයෙන් මහජන නියෝජනයන් පත් කිරීම මගින් පාලනය විය යුතු රාජ්‍යක ව්‍යවස්ථාමය පදනම සකස් කරන ලදි. එම සංකල්පීමය වෙනස 1948 නිදහසත් සමග ඇතිවුනු පාලන ක්‍රමයෙහි පදනම ලෙස පැවතීය. එහෙත් මෙහිදී සැලකිල්ලට බරපතළව භාජනය නොවූ කරුණක් වූයේ හුදෙක් ජනතා නියෝජිතයන් පත් කිරීමෙන් පමණක් ආණ්ඩුවක් ගොඩනඟා ගත හැකි නමුත් රාජ්‍යතන්ත්‍රයක් ඇතිකර ගැනීම හෝ තහවුරු කර ගැනීම එමඟින් ඉබේම සිදු නොවන බවය.
ආණ්ඩු බිහි කර ගැනීම පිළිබඳව අදහසත් ශක්තිමත් රාජ්‍යතන්ත්‍රයක් ගොඩනැගීම යන අදහසත් අතර විශාල පරතරයක් ඇත. ශක්තිමත් රාජ්‍යතන්ත්‍රයක් ගොඩනැගුණු පසු පත් වන ආණ්ඩුවක් එතරම් බලවත් ආණ්ඩුවක් නොවූවත් රටක පාලනය ස්ථාවරව පවත්වාගෙන යා හැකිය. එහෙත් රටක ඡන්දයෙන් බලවත් ආණ්ඩුවක් පිහිටවා ගත්තත් රටේ පවතින්නේ ඉතා දුර්වල රාජ්‍යතන්ත්‍රයක් නම් ආණ්ඩුවේ කොපමණ ශක්තියක් තිබුණත් රටේ ස්ථාවරත්වය ඇති නොවීමට ඇති ඉඩකඩ ඉතා පළල්ය. එක්කෝ එම ශක්තිමත් ආණ්ඩුව ඔවුන්ගේ ප්‍රාථමීක කාර්යය වශයෙන් රාජ්‍යතන්ත්‍රය ශක්තිමත් කර ගැනීම කරගතහොත් මෙම ගැටලුව විසදා ගැනීමට මාවතක් බිහිවීමට ඇති ඉඩකඩ බොහෝය. එහෙත් එම ප්‍රධාන කර්තව්‍යයට මුහුණ නොදී හුදෙක්ම ආණ්ඩුවේ බලය මගින් එනම් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ ඇති මන්ත්‍රී සංඛ්‍යාවේ වැඩි වීම තුළින් ඇති පාර්ලිමේන්තු බලය මගින් පමණක් පාලන කටයුත්ත කරගැනීමට උත්සාහ කළහොත් එයින් සිදුවන්නේ රාජ්‍යතන්ත්‍රයේ පවතින ගැටලු තව තවත් උග්‍ර වීම හා මේ නිසා අවසානයේදී ආණ්ඩුවක පවතින බලය පවා දුර්වල වී ගොස් අහෝසි වී යාම දක්වා ගමන් කිරීමය.
පසුගිය දශක පහක පමණ කාලය දෙස බලන විට මෙම ගැටලුව එනම් බලවත් ආණ්ඩු පත්වීම් ඇති වීමත් එහෙත් රාජ්‍යතන්ත්‍රය තුළ පවතින පරස්පර විරෝධී තත්ත්වයන් නිසා ඒ ඒ ආණ්ඩුවල බලය අවසාන වශයෙන් දුර්වල වන ආකාරය හා රට පුරාම පවතින සියලුම ප්‍රශ්නයන් වඩ වඩාත් උග්‍ර වෙමින් අස්ථාවරත්වයක් කරා ගමන් කරන ආකාරයත් බලා ගත හැකිය.
මෙම ලිපිය සඳහා අප විශේෂයෙන්ම තෝරා ගනු ලබන්නේ 1970 සිට 2024 අග භාගයේ දී ඇතිවූ ප්‍රධාන වෙනස්කමට පෙර පැවති කාලයේ ආණ්ඩු හා එම ආණ්ඩු වල ප්‍රධානීන් හැටියට කටයුතු කළ අය හා රාජ්‍යතන්ත්‍රය අතර පැවති බරපතල පරස්පර විරෝධයන් ඔස්සේ ඒ කාලය තුළ මතු වූ දේශපාලන චරිතයන් අවසානයේදී ජනතාවගේ මහත් අප්‍රසාදයට බොහෝ විට සරදමට ලක්වීමට හා විකට චරිත හැටියෙන් සලකනු ලැබීමටත් අතිවූ ප්‍රවණතාවය පදනම් කරගෙනය. මේ මගින් අනාගතය සඳහා බොහෝ පාඩම් ඉගෙන ගැනීමට අවස්ථාවක්ද උදාවිය. එනම් ආණ්ඩුවක් බලවත්ව ක්‍රියා කිරීමට නම් හා අවසාන වශයෙන් රටක යහපත සඳහා ස්ථාවර තත්ත්වයක් ගොඩනැගීමට අවශ්‍ය නම් මුහුණ දිය යුතු ප්‍රධාන කර්තව්‍ය වන රාජ්‍යතන්ත්‍රය ශක්තිමත් කර ගැනීමේ ප්‍රශ්නයට විසඳුමක් සොයන්නේ කෙසේ ද යන ගැටලුව පිළිබඳව කල්පනා කිරීමට මෙය අවස්ථාවක් කරගත හැකිය.
අප මේ අනුව 1970 සිට 2024 අග භාගය තෙක් පැවති ආණ්ඩු හා ඒ කාලයේ පැවති රාජ්‍යතන්ත්‍රයේ ගැටලු අතර ඇති වූ පරස්පර විරෝධයන් එම ආණ්ඩුවල නායකයන් කෙරෙහි ඇති කරන ලද බලපෑම සළකා බැලීම තුළින් මෙම ගැටලුව වඩා හොදින් වටහා ගැනීමේ උත්සාහයක් කළ හැකිය.
1970 දී ඇති වූ හවුල් ආණ්ඩුව ආණ්ඩුවක් හැටියට බලවත් ආණ්ඩුවකි. එයටද තුනෙන් දෙකකට වැඩි බලයක් පාර්ලිමේන්තුව තුළ දී පවතියේය. එහි නායකත්වය ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියත් ඇය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ම බලවත්ව කටයුතු කළ ෆීලික්ස් ඩයස්ගේ දේශපාලන චරිතයත් වාමාංශික පක්ෂ අතුරින් මතු වූ ප්‍රබල නායකයන් ලෙස එකල සිටි එන්. එම් පෙරේරා ,කොල්වින් ආර්.ද සිල්වා ,පීටර් කේනමන් ආදීන්ගේ චරිතත් අවසාන වශයෙන් ඔවුන් පිළිබඳව ඔවුන්ගේ ප්‍රතික්ෂේපවීම් සිදු වූ ආකාරයත් සලකා බැලීමේදී මේ ගැටලුව පැහැදිලිව හෙළිදරව් වේ. එම හවුල් ආණ්ඩුව තුළ ඉටු කර ගැනීමට බලාපොරොත්තු වූ අරමුණු වලට බාධකයක් සේ මූලිකව සලකන ලද්දේ එකල යටත් විජිත කාලය අවසානයෙන් පසු ඇති කර තිබූ ව්‍යවස්ථා ව්‍යූහයයි.
රාජ්‍යතන්ත්‍රය ගොඩනැගී තිබුණේ සෝල්බරී ව්‍යවස්ථාව තුළින් නිර්මාණය කර තිබූ එම රාජ්‍යතන්ත්‍රය තුළ ය. එහි අඩුපාඩු නැති කර ගැනීමේ බලාපොරොත්තුවෙන් 1972 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන ලදි. එයින් රාජ්‍යතන්ත්‍රය තුළ ඇති කිරීමට ගිය වෙනස්කම් නිසා, රාජ්‍යතන්ත්‍රය තුළ එතෙක් පැවති ගැටලු තවත් උග්‍ර වූවා මිස ඒවා විසදා ගැනීමක්වත් රාජ්‍යතන්ත්‍රයේ ශක්තිය වැඩිවීමක්වත් සිදු වූයේ නැත. ඇත්තෙන්ම එම හවුල් ආණ්ඩු කාලය තුළ රාජ්‍යතන්ත්‍රය වඩාත් දුර්වල වී ගියේය. මෙහිදී රාජ්‍යතන්ත්‍රය යනු විශේෂයෙන්ම සලකා බලනු ලබන්නේ රජයේ සකල නිලධාරිතන්ත්‍රයත්, විශේෂයෙන්ම මහජන ආරක්ෂාව පවත්වාගෙන යෑම සඳහා පදනම සලසන නීතිය ක්‍රියාත්මක කිරීමේ අංශ එනම් පොලිසිය, නීතිපති ක්‍රමය හා නීතිය පරිපාලනය කරන සියලු අංශයන් තුළ පැවති අඩුපාඩු මේ කාලය තුළ දී වඩාත් උග්‍රවීම දැකගත හැකිය.
නිලධාරීතන්ත්‍රයේ ඇතිවූ වෙනස්කම් නිසා නිලධාරීතන්ත්‍රය තුළ පැවති සීමා සහිත වර්ධනයන් පවා පසුබසින ලදි. නිලධාරියාගේ රාජකාරිය කුමක්ද?, එම රාජකාරි කිරීම සඳහා ඔවුන් සතු බලතල මොනවාද? මේ බලතල පාවිච්චි කිරීම සඳහා පවතින සම්පත් බෙදා හැරීම කොයි ආකාරයකින් සිදුවන්නේද? හා මේ සියල්ල කුමන අභ්‍යන්තර විගණනයන් යටතේ කෙරෙන්නේ ද? ආදී කරුණු වඩ වඩා අවුල් වූ තත්ත්වයක් මිස වඩා විසඳෙන දිසාවකට මේ කාලය තුළ වර්ධනයන් සිදු වූයේ නැත. මෙහි ප්‍රතිඵලය වූයේ එතෙක් විශාල දේශපාලන කීර්ති නාමයන් ගොඩනගා ගෙන තිබූ එම රජයේ බලවත් දේශපාලනඥයන් ගණනාවක්ම මුළුමනින්ම අපකීර්තියට පත්වීම හා දේශපාලන වශයෙන් අවලංගු කාසි බවට පත්වීමය. දුර්වල රාජ්‍යතන්ත්‍රය විසින් බලවත් ආණ්ඩුවක් මෙසේ කුඩුකර දමන ලදි. මෙහි ප්‍රතිඵලය වූයේ හුදෙක්ම ඡන්ද බලය පාවිච්චි කරගෙන තවත් බලවත් ආණ්ඩුවක් ඇතිවීමය.
1977 ඇති වූ ආණ්ඩුව එතෙක් පැවති ආණ්ඩුවලින් වැඩිම ආණ්ඩු බලය පැවති ආණ්ඩුව වශයෙන් සලකනු ලබයි. එම බලයෙන් කොතරම් උද්දාමයක් ඇති වුවාද යන්න පෙන්නුම් කරන්නේ එහි නායකයාණන් වශයෙන් සිටි ජේ.ආර්. ජයවර්ධන කල ප්‍රකාශය එනම් ඔහුට නොහැක්කේ ගැහැණියක් පිරිමියක් කිරීමට බැරි බව පමණක් බව කරන ලද ප්‍රකාශයෙන් ය. ආණ්ඩු බලය අතින් එවැනි බලයක් ඔහුට තිබුණේය. එහෙත් ඔහු නොතේරුම් ගත් කරුණ නම් රාජ්‍යතන්ත්‍රය තුළ එවැනි බලයක් ක්‍රියාත්මක කිරීමට තරම් ශක්තියක් හෝ හැකියාවක් ඔහුට නොතිබුණු බවය. ඔහුට හෝ ඔහුගේ බලවත් ආණ්ඩුවට නොතිබුණු බවය.
ආණ්ඩුවේ බලය වැඩි කර ගැනීම සඳහා ව්‍යවස්ථාව තුළ විවිධ බලවත් වෙනස්කම් ඇති කරන ලදී. එවා අතර විධායක ජනාධිපතිගේ බලතල උපරිමයට ගෙන ඒමත් පාර්ලිමේන්තුව හුදෙක්ම ජනාධිපතිවරයාට කැමති ආකාරයට හසුරවා ගත හැකි තැනක් බවට පත්කර ගැනීමත් අනිත් අතින් අන් සියලු රාජ්‍යතන්ත්‍රයට අදාළ ආයතන දුර්වල කර දැමීමත් මේ කාලය තුළ සිදුවීය. ඒම ක්‍රියාවල ප්‍රතිඵලය වූයේ ඉතා දරුණු ආකාරයේ ප්‍රතිඵල රට තුළ නිර්මාණය වීමය. රට තුළ පැවති ඉතාමත් ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් නිර්මාණය වූයේ එවැනි පසුබිමකිනි. එවැනි ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ගේ පසුබිම යටතේ ආණ්ඩුවේ බලය පාවිච්චි කිරීමෙන් පමණක් පාලනය කිරීමට උත්සාහ කිරීම තුළින් වඩ වඩාත් රාජ්‍යතන්ත්‍රය තුළ තිබූ සීමිත රාජ්‍යය සම්ප්‍රදායයන් පවා මුළුමනින්ම මෙන් බිඳ දමන ලදි. රාජ්‍යතන්ත්‍රයේ විනාශය ආණ්ඩුවේ බලය තුළින් ඇතිකළා මිස රට තුළ ස්ථාවර පාලනයක් ගෙන යෑමට හැකි තත්ත්වයක් මේ කාලය තුළ නිර්මාණය වීමේ කිසිම ඉඩකඩක් නොපැවතුනේය. මෙහි ප්‍රතිඵලය වූයේ සියලුම බලය තමන් සතුවයි සිතාගෙන සිටි ජේ.ආර්.ජයවර්ධන ලංකාවේ ඇති වූ ඉතාමත්ම විකට දේශපාලන චරිතය බවට පත්වීමය. ඔහු ජනතාවගේ උපරිම උදහසට හා සරදමට ලක්වූවා පමණක් නොව අවසාන වශයෙන් ඔහු ඔප්පු කළේ තමන් පාලනය සම්බන්ධයෙන් ගත් කල ලෝකයේ පැවති පාලකයන් අතර අතීශයින්ම මෝඩ පාලකයෙකු බවය. ජේ.ආර්.ජයවර්ධන චරිතය දේශපාලන විකට චරිතයක් සේ ගැඹුරින් හැදෑරීමක් සිදුකිරීම මේ රටේ පවතින ප්‍රධාන දේශපාලන ගැටලූන් ගණනාවක් තේරුම් ගැනීමට උදව් විය හැකිය. ඔහු හුදෙක් අසාර්ථක පාලකයෙක් නොවෙයි ඔහු පාලනයේ ‘අ’ යන්න තේරුම් නොගත්තේය. පාලනයේ ‘අ’ යන්න නම් පාලනය කළ හැකි රාජ්‍යතන්ත්‍රයක් තමන් සතුව තමන් ඇති කරගත යුතුව තිබුණු බවය.
එහෙත් ඔහු වැඩි බලයක් ලබා ගැනීම යනුවෙන් අදහස් කළේ රාජ්‍යතන්ත්‍රයේ බලය අවම කර දැමීමෙනි. අවම බලයක් ඇති රාජ්‍ය පාලකයෙකුට හිමි විය යුතු ඉරණම ඔහුටද හිමි විය.
ඔහු වෙනුවෙන් එම විකට දේශපාලනයේ විශාල වියදම දරන්නට සිදුවූයේ ඔහුගේ අනුප්‍රාප්තිකයන් හැටියට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටි ටික දෙනාටය. ආ.ර් ප්‍රේමදාස , ගාමිණි දිසානායක, ඇතුලත් මුදලි, හා රන්ජන් විජේරත්න ආදී එම වියදම ගෙවන ලද්දේ මහ පාරේ ඉතා දරුණු මරණයන්ට භාජන වීම තුළිනි .නෛතික වශයෙන් වැදගත් කරුණ කවුරුන් මෙම අපරාධ කළාද යන්න විය හැකි නමුත් දේශපාලන වශයෙන් වැදගත් කරුණ වන්නේ එවැනි ඉරණමක් ඔවුන් විසින් ලඟා කර දුන්නේ කුමන දේශපාලන සංකල්පයන් තුළින් ද යන්නය. එම දේශපාලන සංකල්පය නම් දුර්වල රාජ්‍යතන්ත්‍රයක් පදනම් කරගෙන බලවත් ආණ්ඩුවක් ගෙන යෑමේ පිළිබඳව පැවති මිත්‍යාවයි. එම මිත්‍යාවේ සදාකාලික ප්‍රතිඵලය හා සදාකාලික සරදම මෙම සියලුම නායකයන්ට හා ඔහු වටා එකතු කරගන්නා ලද ටික දෙනාටද විඳීමට සිදුවිය. එහෙත් වැඩි අභාග්‍ය උදා වූයේ සකල රටටමය. එසේ එම වන්දිය හුදෙක් විශාල පරිමාණ ජීවිතවල විනාශය මගින් හා වේදනාකාරී කරුණු මතින් පමණක් නොව රටේ ආර්ථිකය කඩා වැටීම දක්වා ද වුයේය.
රටේ ආර්ථීකය කඩා වැටීම පිලිබද ප්‍රශ්නය සාකච්චා කිරීමේදී එය හුදෙක් ආර්ථීක කරුණක් වශයෙන් හෝ, දේශපාලනඥයන්ගේ අඩුපාඩුකම්, දුර්වලකම් හා දූෂණයන් පිලිබද ප්‍රශ්නයක් පමණක් වශයෙන් සැලකීම මේ කාලයේ ඇති වූ ගැටලු වලින් ගොඩ ඒමට උත්සාහ කරන අවධියකට සුදුසු දර්ශනයක් නොවෙයි. මෙම දර්ශනය ගෙන යා යුතු වන්නේ රාජ්‍යතන්ත්‍රයේ කඩා වැටීම හා එය තුළින් ආණ්ඩු පවත්වාගෙන යෑමට ඇති කර ඇති විශාල බාධකය පිළිබඳව ඉතා සැලකිල්ලෙන් හා ගැඹුරු අවධානයකින් යුතුව මෙනෙහි කිරීමෙන් පමණි. මෙම ගැටලුව තේරුම් නොගතහොත් අනාගතය වඩාත් අඳුරුවන තත්ත්වයක් තව තවත් නිර්මාණය වෙනවා මිස මොනයම් හෝ වීර පරිත්‍යාගයන් මගින් හෝ රාජ්‍යතන්ත්‍රය තුළ පවතින දුර්වලතාවයන් අකා මකා දැමිය නොහැකිය. ජයවර්ධන, ප්‍රේමදාස කාලයෙන් පසුව ඇති වූ ආණ්ඩු තුළට ද ඒවායේ පැවැත්මට විශාලම බාධකය පැන නැගුනේ මෙසේ උග්‍රව රෝගී තත්ත්වයට පත්ව තිබෙන රටේ රාජ්‍යතන්ත්‍රය විසිනි. එය විසඳීමේ පිළිබඳව මතුපිටින් යාන්තමකින් කතාවක් තිබුණත් මේ පිළිබඳව බැරෑරුම් උත්සාහයක් කිරීමට මේ දක්වාත් උත්සාහයක් ගෙන නැත.
චන්ද්‍රිකා බණ්ඩාරනායක හැත්තෑ අටේ ව්‍යවස්ථාව වෙනස් කිරීම සම්බන්ධයෙන් අදහසක සිටින බව ගැන මාධ්‍යවේදියෙකු විසින් ජේ.ආර්. ජයවර්ධනගෙන් අසන ලද ප්‍රශ්නයකදී ඔහුගේ පිළිතුර වූයේ චන්ද්‍රිකා මෝඩ කතා කියන නමුත් මෝඩ වැඩ නොකරන බවය. මෙය මෙසේ ප්‍රසිද්ධීයේ වාර්තා වී ඇත. ඒහෙත් සත්‍ය නම් මෙහි අනිත් පැත්තය. යම් අවස්ථාවල දී නිවැරදි අදහස් හෝ රටට ප්‍රයෝජනවත් විය හැකි අදහස් චන්ද්‍රිකා බණ්ඩාරනායක ඥාණාන්විතව කතා කළ නමුත් ඇය ක්‍රියා කළේ සම්පූර්ණම මෝඩ ආකාරයකින් බවය. එම මෝඩකමේ උපරිම සංකේතය වූයේ රාජ්‍යතන්ත්‍රයේ ඇතිවුණු ගැටලු විසඳීම වෙනුවට ඒවා වඩ වඩා අවුල් කර දැමීමය. රාජ්‍යතන්ත්‍රයේ ඇතිවූ ගැටලු වඩාත් අවුල් කිරීමට ඇය හා ඉතා ළඟින්ම සහයෝගයෙන් කටයුතු කළේ ඇය විසින් පත්කරන ලද අග්‍රවිනිශ්චකාරයා වූ සරත් ද සිල්වා මහතා විසිනි. ජනාධිපතිවරිය හා මෙම අග්‍ර විනිශ්චකාරවරයා විසින් රාජ්‍යතන්ත්‍රයට කරන ලද විනාශය තේරුම් ගැනීමට බැරි ප්‍රමාණයක මහා බරපතල විනාශයකි. එහි ආනිශංසයන්ගෙන් ගොඩ ඒම වඩාත් අමාරු කාර්යයක් ලෙස අදත් පවතී. රාජ්‍යතන්ත්‍රයේ පැවැති බරපතල ගැටලු විසඳිය නොහැකි ගැටලු බවට පත් කරන ලද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ කාලයේ දීය. ඉන් පසුව ඇති වූ මහින්ද රාජපක්ෂගේ හා ගෝඨාභයගේ ආණ්ඩු තුළ අපි දකින්නේ කඩා වැටුණු රාජ්‍යයකින් ඇතිවී ඇති අරාජක තත්ත්වය තුළ එයින් පුද්ගලික ප්‍රයෝජන ලබා ගැනීමට දරණ ඉතාමත් කෑදර දේශපාලන රටාවකි. මිය ගිය සතෙකුගේ කුණු කන්නට දඟලන්නා සේ කඩා වැටුණු රාජ්‍යතන්ත්‍රයක් මගින් රටේ සියලුම අංශයන්ට සිදුවී තිබුණු විනාශයෙන් පුද්ගලික ලාභ ලබාගැනීමෙන් තමුන්ගේ පවුල් තර කර ගැනීමට හා තමුන්ගේ ධනය වැඩි කර ගැනීමට හා තමුන්ගේ විරුද්ධවාදීන් විනාශ කිරීමට ආදී ඉතා පහත් ගණයේ දේශපාලනයක් කරා ලංකාව ගෙනයන ලද්දේ මේ කාලයේදීය.
මෙම කෙටි සටහනෙහි අදහස වූයේ අද පවතින ප්‍රධානම ගැටලුව තවමත් මූලික වශයෙන් අත ගැසීමේ දර්ශනවාදී පියවරක්වත් මේවා පිළිබඳව ගැඹුරු අවබෝධයක් කරා රට ගෙන යා හැකි රට තුළ ඇති කළ යුතු කතිකාවත් එම කතිකාවන් තුළින් අන් සියල්ලටම වඩා රාජ්‍යතන්ත්‍රය තුළ පවතින ගැටලු විසඳාගන්නේ කෙසේද යන ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් වශයෙන් ජන සම්මතයක් ගොඩනගා ගැනීමට උත්සාහයක් නොපවතින බවයි. මෙවැනි මහා ගැටලු ජන සම්මතයේ විශාල වෙනසකින් තොරව කළ නොහැකිය. හුදෙක් ආණ්ඩුවේ ඇති බලයේ ප්‍රමාණය උඩින් මේ ප්‍රශ්නය විසඳිය නොහැකිය. ඉතා ප්‍රබල වර්ගයක ජන සාකච්ඡාවක් බැරෑරුම් සාකච්ඡාවක් ඇති කළ යුතු අතර ඒවාට ප්‍රධාන වශයෙන් තේමා විය යුත්තේ රාජ්‍යතන්ත්‍රය තුළ ඇතිවී ඇති ගැටලු විසඳීමය. උදාහරණ වශයෙන් විවිධ නිලධාරිතන්ත්‍රයේ විවිධ අංශයන් තුළ ඇතිවී ඇති ගැටලු නිරාකරණය කරන්නේ කෙසේද, විශේෂයෙන්ම මහජන ආරක්ෂාවට අදාළ පොලිසිය ,නීතිපති දෙපාර්තමේන්තුව වැනි ප්‍රධාන කේන්ද්‍රීය ස්ථානයන් තුළ ඇතිවූ ගැටලුවට හුදෙක් පුද්ගලයන් මාරු කිරීම පමණක් නොව එම ගැටලුවේ ඉතිහාසය හෙළිදරව් කොට එය පිළිබඳව ඇති කරන මහජන සාකච්චාවක් තුළින් අනාගතය සඳහා මෙම සංස්ථාවල්වල ඇති කළ යුතු පරිවර්තනය තේරුම් ගැනීම ඒ මගින් එම පරිවර්තනයට අවශ්‍ය සම්පත් ලබාදීමට ජනතාවගේ සහයෝගය ලබා ගැනීමත් අත්‍යාවශ්‍යව ඇත.
මෙහි ඇති සියලුම ගැටලූ දීර්ඝව විස්තර කිරීමට මෙය අවස්ථාවක් නොවේ.එහෙත් එක් කරුණක් ඉතා පැහැදිලිව පෙනී යයි. ලංකාවේ අනාගතය හොඳට හෝ නරකට තීන්දු කරන සාධකය වන්නේ විශාල ජන කතිකාවක් රාජ්‍යතන්ත්‍රය පරිවර්තනය කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරියට ගෙන යෑමට ආණ්ඩුවේ පවතින බලය පාවිච්චි කොට එම සාකච්ඡාව මෙහෙයවා එම සාකච්ඡාව තුළින් ඇතිකර ගන්නා ජන සම්මතයන් මගින් හා එම සම්මතයන් ක්‍රියාත්මක කිරීමට යොමු කරන සම්පත් වැය කිරීම මගින් කෙටි කාලයක් තුළ රාජ්‍යතන්ත්‍රයේ තිබෙන ගැටලුව විසඳීමේ පටන් ගැන්මක් ඇති කිරීමට තරම් අධිෂ්ඨානයක් ඇති කිරීමට ආණ්ඩුවේ පවතින බලය යොදාගත හැකිද යන ප්‍රශ්නය ය.