කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හලක් හදිසියේ වසා දැමීම බොහෝ දෙනා කම්පනයට පත්කළ සිදුවීමකි. සේවකයින් 1400 කට වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇත. රටට විදේශ විනිමය ඉපයීම ද නැවතී තිබේ. ඒ අතර විශාල අවධානයක් යොමු වී ඇත්තේ මෙය ඉදිරියේ එන මෙබඳු විපත් පිළිබඳ සඥාවක් ද යන්න පිළිබඳව ය. රට මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා සමග ඇමෙරිකාවේ නව තීරුබදු නිසා ඇතිවන අවදානම තුළ ඒ ගැන බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුව ඇත.
විපක්ෂ කණ්ඩායම්වල ක්ෂණික ප්‍රතිචාරය වී ඇත්තේ මේ ගැන කිසිවක් නොකිරීම පිළිබඳව ආණ්ඩුවට චෝදනා එල්ල කිරීම ය. ඔවුන් කියන්නේ මෙබඳු තත්ත්වයක් පිළිබඳව විවිධ පාර්ශව අනතුරු අඟවා තිබිය දී එය වළක්වා ගැනීමට ආණ්ඩුව කිසිවක් නොකළ බව යි. පසුගිය කාලයේ ආණ්ඩුවේ හැසිරීම අනුව එම විවේචනයේ ද යම් සාධාරණත්වයක් නැතුවා නොවේ.
කෙසේ වෙතත්, අප උත්සහ කළ යුතු වන්නේ මෙම සිදුවීමෙන් දෙන සමස්ත පණිවිඩය තේරුම් ගැනීම ය. මෙම සිදුවීමේ සන්දර්භය තේරුම් ගැනීමත් ඒ අනුව අපගේ ආර්ථික දැක්ම සහ වැඩ සටහන් යළි සමාලෝචනය කිරීමත් අවශ්‍ය වෙයි.
අද අප ගෝලීය වශයෙන් සහ දේශීය වශයෙන් මුහුණ දී සිටින ආර්ථික අභියෝග හඳුනාගැනීමට සහ ඒවාට මුහුණ දීමේ උපායමාර්ග හනුනාගනීමටත් මෙම කම්හල වැසීමේ සිදුවීම සහ එහි සන්දර්භය විග්‍රහ කර ගැනීම අවශ්‍ය වෙයි.
කම්හල් වැසීමේ ආර්ථික විද්‍යාව
මෙහි දී පළමුවෙන් ම කිව යුතු කාරණයක් නම් සාමාන්‍ය තත්ත්වයක් යටතේ නම් ආර්ථිකයේ ඇතිවන නොයෙකුත් වර්ධනයන් හේතුවෙන් ඇතැම් කරමාන්ත වසා දැමීමට සිදුවීම සාමාන්‍යයෙන් සිදුවන්නක් බව යි. ඇතැම් විට එලෙස තීරණ ගෙන කර්මාන්ත වසා දැමීමට සිදුවීම අවශ්‍ය වෙයි. එය ආර්ථික සංවර්ධනයේ ම පවතින යථාර්ථයකි. එවිට ඒවාට මුහුණ දීම විනා එය වැළක්වීමට උත්සහ දැරීම ද ඇතැම් තත්ත්වයන් යටතේ අනුවන කමකි.
මෙය විශේෂයෙන් අවධාරණය කිරීම අවශ්‍ය වන්නේ අතීතයේ එලෙස වසා දැමුණු කර්මාන්ත සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය පසුගිය කාලයේ විශාල විලාපයක් සමාජ ගතකළ නිසා ය. තුල්හිරිය, වේයන්ගොඩ, පුගොඩ ආදී රෙදි කරමාන්ත ශාලා ඇතුළු ඇතැම් කරමාන්තශාලා වසා දැමීම ඔවුන් විසින් හඳුන්වන ලද්දේ විශාල අපරාධ වශයෙනි. එය මතවාදයක් ලෙස සමාජ ගත කිරීමට මාලිමා නායකයෝ ක්‍රියා කළහ.
මෙය එවකට වර්ධනය වෙමින් පැවති සමාජ ආර්ථික වර්ධනයන් තේරුම් නොගෙන බැසගත් මිත්‍යාදෘෂ්ටික අදහසකි.
රෙදි කම්හල් වැහුණේ ඇයි ?
අතීතයේ දේ ජනයා කළේ රෙදි මිල දී ගෙන ඇඳුම් මසා ගැනීම යි. ඒ සඳහා නගරවල ටේලර් සාප්පු තිබු අතර මහන මැෂිම බොහෝ ගෙවල්වල තිබු ගෘහ උපකරණය කි. නමුත් මෙම තත්ත්වය වෙනස් වෙමින් ඇඟලුම් ලෙස මසා නිමකළ ඇඳුම් මිල දී ගැනීමට මහජනයා පුරුදු වෙමින් සිටිය හ. එමෙන් ම රෙදි නිෂ්පාදනයේ ගුණාත්මක භාවය ද වර්ධනය වෙමින් තිබිණි. මෙම තත්ත්වය යටතේ මෙන් ම රජයට අයත් අකාර්යක්ෂම ආයතන ලෙස පැවතීම නිසා ද එම කම්හල් පැවතියේ තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක ය. ඒවා භාරගෙන දියුණු කිරීමට ව්‍යාපාරිකයින් ඉදිරිපත් වුයේ ද නැත. බොහෝ කරමාන්ත ශාලාවල යන්ත්‍ර සුත්‍ර විකුනුනේ පරණ යකඩ සඳහා ය. මෙම කර්මාන්ත ශාලා වැසීම අපරාධ යැයි කියන්නේ එම ආර්ථික විද්‍යාව නොදන්නා නිසා ය. එය පළමුවෙන් තේරුම් ගත යුතු කාරණයකි.
කාර්මික විප්ලවයෙන් පසු එංගලන්තයේ ආර්ථික වර්ධනය ප්‍රධාන වශයෙන් සිදුවුයේ රෙදි නිෂ්පාදනය පදනම් කර ගනිමින් ය. නමුත් එම ආර්ථික ක්‍රියාවලිය පසුකාලීනව වෙනස් වී රෙදි කර්මාන්තය වෙනත් රටවලට විතැන් වී ය. එංගලන්තයේ කම්හල් වැසී ගියේ ය. නමුත් එරට ආර්ථිකය නවීකරණය වී වර්ධනය වී ය.
ලෝකයේ විශාල සමාගම් පවා තම කම්හල් වසා දැමු හෝ වෙනත් ස්ථාන වෙත ගෙනගිය හෝ අවශතා ඒමට ඇත. ඇතැම් විට කර ඇත්තේ නිෂ්පාදන වෙනස් කිරීම ය. නව නිෂ්පාදන වෙත යොමුවීම ය. ඒ යල් පැනගිය සහ අකාර්යක්ෂම නිෂ්පාදන වලින් ඉවත්වීම සඳහා ය.
සුමිත් කොරෝනා සහ හාලි ඩේවිඩ්සන්
සුමිත් කොරෝනා යනු ඇමෙරිකාවේ තිබූ විශාල සමාගමකි. එහි කර්මාන්තශාලාවල සහ වෙනත් අංශවල 50,000 කට වැඩි පිරිසක් සේවය කළහ. එම කර්මාන්තශාලා වසා සේවකයින් ඉවත් කිරීමට ඔවුන්ට සිදු විය. ඒ වෙළෙඳපොළ අහිමිවීම හේතුවෙනි. සුමිත් කොරෝනා නිපදවන ලද්දේ යතුරු ලියන (Typewriter ) ය. කලක් සෑම කාර්යාලයකට ම මේවා අවශ්‍ය වී ය. නමුත් පසුව පරිගණක පැමිණීමත් සමග එම වෙළෙඳපොළ බිඳ වැටිණි. සුමිත් කොරෝනා සමාගම නවීන තාක්ෂණය සමග අවශ්‍ය වන වෙනත් නිෂ්පාදන වෙත යොමු වී ය. එසේ නැතිව කළ හැකි දෙයක් නොවී ය.
හාලි ඩේවිඩ්සන් යනු යතුරු පැදිය හෙවත් මෝටර්සයිකලය ලොවට හඳුන්වාදුන් සමාගම යි. කලක් යතුරුපැදි නිෂ්පාදනයේ දැවැන්තයා වුයේ මෙම සමාගම යි. නමුත් ජපානයේ හොන්ඩා, යමහා, කවසාකි, සුසුකි යතුරුපැදි වෙළෙඳපොළ ආක්‍රමණය කළේ නවීන තාක්ෂණය සහ අඩු මිල මගිනි. හාලි ඩේවිඩ්සන් සමාගමට තමන්ගේ ඇතැම් කරමාන්තශාලා වසා දමන්නට සහ වෙනත් රටවලට රැගෙන යන්නට සිදුවිය. සාමාන්‍ය යතුරුපැදි වෙළෙඳපොළේ පසුබැස ගිය එම සමාගම් කළේ ඉහළ පන්තිය ඉලක්ක කොට නව නිෂ්පාදන සහ රේසින් මාදිලි නිෂ්පාදනයට යොමු වීම යි.
ආර්ථිකයේ සහ වෙළෙඳපොළේ වෙනස්කම් සමග මෙබඳු අත්දැකීම් බොහොමයක් ඇත. එය ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ සාමාන්‍ය තත්ත්වයකි. අපේ රටේ අද සිදුවන දේ තේරුම් ගැනීමට ද මෙම දැනුම වැදගත් වෙයි.
කටුනායක කම්හලක් වැසීම (තවත් එබඳු සිදුවීම් ගැන ද වාර්තා වෙමින් පවතියි ) නිසා 1400 කට ඍජු ලෙස ම රැකියා අහිමි වී ය. වක්‍ර බලපෑම ගණනය කළ නොහැකි ය. එමෙන් ම, රටට ලැබෙන ආදායම් ද අහිමි වී ඇත. මෙය විපතකි. ජාතික සම්පතක් අහිමි වීමකි.
මාලිමා මතවාදයේ බිඳවැටීම
මේ පිළිබඳව සාකච්ඡා කරන විට ජාතික ජන බලවේගයේ හෙවත් මාලිමාවේ මතවාදී ආඛ්‍යානයට එයින් එල්ල වී ඇති අභියෝගය ද තේරුම් ගත යුතුව ඇත.
අපට අහිමි වූ සම්පත සහ එමගින් වූ විපත ගැන කතා කරන විට ඒවා ආරාම්භ කිරීමෙන් රටට සිදු වූ සෙත ගැන අමතක නොකළ යුතු ය. ඒවා ආරම්භ කිරීමට පදනම දැම්මේ 76 වසරක සාපය ලෙස මාලිමාව හඳුන්වන කාලයේ සිටි දේශපාලඥයින් විසින් ය. මේවා ඔවුන්ගේ ඊනියා සාපයට අයත් කාලයේ අප රටට ලැබුණු දායාදයන් ය. මේ එකක් පමණකි. තවත් මෙබඳු සම්පත් විශාල සංඛ්‍යාවක් රට පුරා තිබේ.
මෙම කම්හල වැසීමට සිදුවී තිබෙන්නේ රටේ වැටුප් මට්ටම් ඉහළ ගොස් නිෂ්පාදන වියදම් වැඩි වීම හේතුවෙනි. මෙය ද සිදු වී ඇත්තේ ඊනියා 76 අවුරුදු සාප කාලයේ ය. ශ්‍රී ලංකාව තවදුරටත් අඩු ආදායම් ලබන රටක් නොවේ. ඒක පුද්ගල ආදායම ඩොලර් 4300 ඉක්මවා ගොසින් ය. ඒ අනුව අපගේ තරගකාරී රටවලට සාපේක්ෂව වැටුප් ඉහළ ය. එබැවින් අඩු මිල භාණ්ඩ නිපදවා වෙළෙඳපොළ ජයගැනීමේ කාලය අවසන් ය. මෙය රටේ ආර්ථිකය වර්ධනය වීමේ ප්‍රතිඵලයකි.
අඩ්වෝකාටා ආයතනය සමග එක්ව සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය මෑතක දී පැවැත් වූ සම්මන්ත්‍රනයක දී හෙළි වුයේ මේ වන විටත් ශ්‍රී ලංකාව වෙළෙඳපොළට යවන්නේ ඉහළ වටිනාකම්වලින් යුතු ඇඟලුම් බව යි. මෙරටින් යවන අයිතමයක සාමාන්‍ය වටිනාකම ඇමෙරිකානු ඩොලර් 4 කි. අපගේ තරඟකරුවන් වන බංගලිදේශය, වියට්නාමය, චීනය, ඉන්දියාව වැනි රටවල් යවන ඇඟලුම් අයිතමයක වටිනාකම ඩොලර් 2 ක් 3 ක් වැනි අගයන්හි පවතියි.
ජීවන මට්ටම ඉහළ යාම සාපයක් වූ විට
අප රටේ තවමත් අන්ත දුගී සහ යන්තම් දිවි ගැටගහගන්නා ජනතාවක් සිටියත් අපට සාපය වී තිබෙන්නේ අප අපගේ තරගකරුවන්ට වඩා ඉහළ ජීවන මට්ටමක් අත්කරගෙන තිබීම යි. එබැවින් දැන් අපට තිබෙන අභියෝග වෙනස් ය. අනාගතයට මුහුණ දීම සඳහා මෙම නව අභියෝග තේරුම් ගත යුතුව ඇත. අතීතයට සාප කරමින් සිටීමෙන් මෙම අභියෝග ජයගත නොහැකි ය.
මේ මොහොතේ අප සිටින්නේ සාමාන්‍ය තත්ත්වයක නොවන බව ද තේරුම් ගත යුතුව ඇත. රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ අවදානමක ය. ට්‍රම්ප්ගේ තීරු බදු සමග තත්ත්වය තවත් බිහිසුණු වී තිබේ. එබැවින් එම තත්ත්වය තේරුම් ගෙන ඇත්ත අභියෝග හඳුනාගෙන ක්‍රියාත්මක වීම අවශ්‍ය වෙයි.
අලුත් අභියෝගවලට නව උපායමාර්ග
මෙහි දී අපට තිබෙන සම්පත් රැකගැනීම ප්‍රමාණවත් නැත. ඇඟලුම් කම්හල් රැකගැනීමේ ආකල්පයෙන් පමණක් මෙම තත්ත්වයට මුහුණ දිය නොහැකි ය. අප සිටින්නේ ආර්ථික සංවර්ධනයේ නව අදියරක නැතහොත් අලුත් මට්ටමක බව තේරුම් ගත යුතුව ඇත. අපට ඇත්තේ අලුත් අභියෝගවලට මුහුණ දීමේ අවස්ථාවකි. ඒ සඳහා නව උපායමාර්ග හඳුනාගැනීම සහ ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙයි.
අපගේ වෙළෙඳ තරගකාරීත්වය වැඩි කිරීමට බාධා ලෙස පවතින නීති වෙනස් කළ යුතුව ඇත. යල් පැනගිය කම්කරු නීති පිළිබඳ සමාලෝචනයක් සහ වෙනසක් අවශ්‍ය වෙයි. ඒවා විවාදාත්මක විය හැකිය. නමුත් ආර්ථිකයේ වේගවත් සංවර්ධනයක් සහ ආයෝජන ලබා ගැනීමට නම් එම ක්‍රියාමාර්ග ගත යුතු ම වෙයි.
එමෙන් ම අපට තරගකාරී ලෙස නිෂ්පාදනය කළ හැකි අලුත් නිෂ්පාදන සහ ඒ සඳහා අලුත් වෙළෙඳපොළ ද සොයා ගැනීම අවශ්‍ය වෙයි. මේ සියල්ල රජයෙන් කිරීමේ මානසිකත්වය ද හානිකර ය. මේවා කළ හැක්කේ පෞද්ගලික නවොද්පාදකයින්ට සහ ව්‍යවසායකයින්ට ය. රජය කළ යුතු වන්නේ ඒ සඳහා යටිතල පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා සපයාදීම යි. ඒ සඳහා ක්‍රමෝපායික දැක්මක් සහිතව ක්‍රියා කිරීම ද අවශ්‍ය වෙයි.
නව තත්ත්වයන්ට අවශ්‍ය ලෙස අධ්‍යාපනයේ, පර්යේෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයක් සහ වර්ධනයක් අවශ්‍ය වෙයි. කාර්මික හා තාක්ෂණික පුහුණුව ද වර්ධනය කළ යුතු වනු ඇත.
නව වෙළෙඳපොළ පිළිබඳ අධ්‍යයන සහ පර්යේෂණ අවශ්‍ය ය. වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළු වීම ද අවශ්‍ය වෙයි.
මෙබඳු තවත් බොහෝ දේ කළ යුතුව ඇත.
කණගාටුවට කරුණ නම් මේ කිසිවක් සිදුවන බවක් අද අපට දක්නට නොලැබීම යි.
yukthiya.lk