ලංකාවට පැමිණි චීන ආයෝජකයින් සති දෙකක් මෙරට රැදී සිටීමට තීරණය කරයි

ශ්‍රී ලංකාව තුළ ඇති ආයෝජන අවස්ථා ගැන අධ්‍යනය කිරීමට හා ආයෝජන සැලසුම් කිරීම සදහා ඉහළ පෙලේ චීන ආයෝජකයින් පිරිසක් දිවයිනට පැමිණි අතර, එම පිරිස හා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය අතර සාකච්ඡාවක් ඊයේ (28) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ලංකාවේ වාහන එකලස් කිරීම, රබර්, රසායන ද්‍රව්‍ය, සංචාරක, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකාර්මික නිෂ්පාදන, ඛනිජ නිෂ්පාදන ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල පවතින ආයෝජන අවස්ථා ගැන අමාත්‍යාංශය විසින් ඔවුන්ට පැහැදිලි කළ අතර චීන ආයෝජකයින් විසින් එම ක්ෂේත්‍ර වලට අමතරව කෘතිම බුද්ධිය (AI), රොබෝ තාක්ෂණය (Robotics) සහ විදුළි භාණ්ඩ ඇතුළු ඔවුන්ට ආයෝජනය කළ හැකි වෙනත් කර්මාන්ත ක්ෂේත්‍ර පිළිබඳව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ඇතුළු අමත්‍යාංශ නිලධාරීන් දැනුවත් කර තිබේ.

මෙහිදී හදුන්නෙත්ති අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ නව රජය ආයෝජකයන් වෙනුවෙන් දීර්ඝ කාලීන බදු පදනම මත ඉඩම් සහ අවශ්‍ය අනෙකුත් යටිතල පහසුකම් ලබා දෙන බවත්, ලංකාවේ පවතින භූගෝලීය පිහිටීම කර්මාන්තකරුවන් වෙත විශේෂ වාසියක් සලසා දෙන බවත්, ඔවුන් ලංකාවේ සිටින සති දෙකක කාලය අවසානයේ සැලසුම් කරන ආයෝජන සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහයෝගය කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය විසින් ලබාදෙන බවට පෙන්වා දී ඇත.

මෙම අවස්ථාවට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු අමාත්‍යංශ නිළධාරින්, අමාත්‍යංශයට අනුබද්ධ ආයතන වල සභාපතිවරුන්, පෞද්ගලික අංශය නියෝජනනය කරමින් ව්‍යාපාරික නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූ අතර චීනය වෙනුවෙන් China Chamber of Commerce for Import and Export of Machinery and Electronic Products (CCCME)හි උප සභාපති liu chun මහත්මිය, China International Chamber of Commerce for the Private Sector (CICCPS) හි උප සභාපති Nan yi මහතා ඇතුළු ආයෝජකයින් පිරිසක් මෙම අවසථාවට එක්ව සිටියේය.

ඉහත ප්‍රවෘත්තිය උපුටා ගණු ලැබුවේ අද (29) දිනමිණ පුවත්පතෙනි. මෙම ආයෝජකයින් සති දෙකක් ශ්‍රී ලංකාව තුළ රැදී සිටිමින් අයෝජන අවස්ථා පිළිබදව අධ්‍යයනයක යෙදිමට බලාපොරොත්තු වන බවත් සදහන් වේ.

චීන අයෝජන තුළින් ලාංකීය දේශපාලන-ආර්ථික සහ සමාජ තලයේ සුවිශේෂී කඩඉමක් සලකුණු වීමේ ආරම්භයක් වනු ඇති බවට ලිපියක් දුමින්ද කුමාරගේ ස්පාටකස් ලිපි වල සදහන් වී තිබුනි. ඉහත ප්‍රවෘත්තිය සමග දුමින්ද ගේ පහත ලිපියත් ඔබට වැදගත් වෙනු ඇති.

මකරාගමනය

චීන වාණිජ කටයුතු ඇමතිවරයා දිවයිනට පැමිණීමට නියමිතය. ඒ සමාගම් 77ක නියෝජිතයින් 115ක් රැගෙනය. මෙම ඇමතිවරයාගේ ආගමනය ලාංකීය දේශපාලන-ආර්ථික සහ සමාජ තලයේ සුවිශේෂී කඩඉමක් සලකුණු වීමේ ආරම්භයක් වනු ඇත.

මෙම චීන ආගමනය සිදුවන්නේ පැහැදිලිවම හම්බන්තොට චීන කර්මාන්ත පුරය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා බව පැහැදිලිය. 2014 වර්ෂයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ වසර 9ක් සඳහා විධායක ජනාධිපති වීම සඳහා සියලු සැලසුම් සකස් කර අවසන් වූ පසුය. නමුත් ඔහු සහ චීනය බලාපොරොත්තු නොවූ පරිදි ඉන් පරාජයට පත් වී ඉන්දීය සැලසුම ජයගනිමින් සිරිසේන ජනාධිපති බවට පත් විය. ඉන් පසු චීනය විසින් තම සැලසුම් හකුලා ගත් අතර ඇමරිකානු පක්ෂපාති රනිල්ගේ ආණ්ඩුව විසි වී 2020 වසරේ ගෝඨාභය බලයට පත්වීම තුල නැවත පැමිණීමට යම් උත්සාහයක් දරුවා වුව ද එය ද අසාර්ථක විය.

මහින්ද රාජපක්ෂ විසින් අවුරුදු 9ක් සඳහා විධායක ජනාධිපති බවට පත්වීමට, නීති උල්ලංඝනය කරමින් සූදානම් වූයේ චීනයේ දැඩි ඉලීම පරිදිය. ඒ අඩු තරමින් අවුරුදු 9ක හෝ විශ්වාසයක් නොමැති නම් චීන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තමන්ගේ කිසිඳු සූදානමක් නොමැති බව දැනුම් දී ඇති තත්වයක් තුලය. එනම්, එය එතරම්ම බැරෑරුම් ව්‍යාපෘතියක් බැවිනි. සිදුවන පරිසර විනාශය සහ සමාජීය විනාශය හමුවේ ඊට ජාතික වශයෙන් විරෝධයක් පැමිණීමට නියමිතිව තිබුණි. දැඩි ලෙස ඉන්දියානු සහ ඇමරිකානු විරෝධයක් ද එල්ල වීම ද අනීවර්යයක් වී තිබූ බැවිනි.

2022 ගෝල්ෆේස් අරගලයෙන් පසු තහවුරු වී ඇති කතිකාව වන්නේ කෙසේ හෝ ධනය උත්පාදනය කරනු යන්නයි. “දිනන දකුණ”, “දකුණු ඉවුර”, “ඇඩ්වොකාටා” වැනි සංවිධාන මෙන්ම සියලු ජන මාධ්‍ය පෙනී සිටින්නේ ද එම කතිකාව තහවුරු කිරීම සඳහාය. එබැවින් මේ වන විට චීන ව්‍යාපෘතිය සඳහා පැමිණීමට නියමිත විරෝධයන් දුලබ වී ඇත. එසේම චීනය ජවිපෙ ආණ්ඩුව කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇති බව පෙනෙන්නේ එය අඩුම තරමින් වසර 10කදී නම් බිඳ නොවැටෙන බවට වන විශ්වාසය තුලය (රාජපක්ෂ ආණ්ඩුව වෙතින් වසර 9ක mandate එකක් ඉල්ලා සිටි චීනය මේ ආණ්ඩව ගැන විශ්වාසය තබනුයේ එබැවිනි). වසර 10ක් අල්ලා ගත හැකි වුවහොත් ඉන්පසු කෙසේවත් චීන ආධිපත්‍ය වෙතින් ලංකාවට ගැලවී ගත නොහැකි බවට ද චීනය ගණනය කර නොමැත්තේ නම් ඔවුන් මෙම ව්‍යාපෘතිය ආරම්භ නොකරනු ඇත.

රාජපක්ෂ සමයේ පූර්ව සැලසුමට අනුව, කටුනායක-චීන වරාය නගරය-මත්තල දක්වා වන අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකොට අවසන් වීමට නියමිත වූයේ 2022 වර්ෂයේදීය. එය අවශ්‍ය වන්නේ ප්‍රධාන වශයෙන්ම චීන කර්මාන්ත පුරයේ සිට නිෂ්පාදිත භාණ්ඩ චීන වරාය නගරය වෙතට ප්‍රවාහනය කිරීමට සහ අවශ්‍ය සේවක පිරිස් ප්‍රවාහනය කිරීම සඳහාය. එවිට කටුනායක-චීන වරාය නගරය (කොළඹ) සහ හම්බන්තොට එකම නිෂ්පාදන පද්ධතියක් බවට පත්වන්නේ අධිවේගී දුම්රිය විනාඩි 45ක් තරම් කෙටි කාලයක් තුල කටුනායක සිට මත්තල දක්වා ගමන් කිරීමට නියමිත බැවිනි (ඒ අතරතුර නැවතුම් පොලවල්ද ඇත).

උමා ඔය ව්‍යාපෘතියේ අරමුණ හම්බන්තොටට ජලය සැපයීමයි. ගිං-නිල්වලා ව්‍යාපෘතිය පැමිණෙනුයේ එම ජල සැපයුම ඊට මදි බැවිනි. එය ද මදි බව තහවුරු වීම තුල සිංහ රාජයේ වැව් හතරක් ඉදිකිරීමට ද සැලසුම් කරන ලදී.

ඒ අනුව හම්බන්තොට චීන නිෂ්පාදන ප්‍රදේශය වන විට අලවි කටයුතු කරන ජාත්‍යන්තර වෙළඳපොල සහ බැංකු කටයුතු ඇතුළු මූල්‍යමය මූලස්ථානය වන්නේ චීන වරාය නගරයයි (one belt-one road-one currency චීන ව්‍යාපෘතියේ ප්‍රධානතම මූලස්ථානයක් වන්නේ ශ්‍රී ලංකාවයි. ඒ පිළිබඳව ඉන්දියාව සහ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් කලබල වී ඇත්තේද එබැවිනි).

චීන ව්‍යාපෘතිය සාර්ථක වී එය ඉදිරියට වර්ධනය වීමට නම් ලංකාව සංචාරක පුරවරයක් වීම අනෙක් ‍ප්‍රධානතම අවශ්‍යතාවයයි. එසේම රාත්‍රී ආර්ථිකයක් ද පැවතිය යුතුමය (එය මේ වන විට ද ආරම්භ කර ඇත). කැසිනෝ, ගණිකා ව්‍යාපාර, red lamp area, වැනි තවත් බොහෝ අංග අත්‍යවශ්‍ය වේ. එසේම සංචාරකයින් අද්දවා ගැනීමට නම් වනාන්තර හරහා මාර්ග ඉදි කල යුතු අතර වනන්තර තුල සුවිශේෂී හෝටල් ඉදිකළ යුතුව ඇත. ඒ අනුව චීන ප්‍රාග්ධනය පැමිණීම පිටිපස එම ඉදිකිරීම් ද පැමිණෙනු ඇත.

මේ සියලු දේ කරගෙන යාම සඳහා අවශ්‍යම ප්‍රධාන දෙය වන්නේ බල ශක්තියයි. ඒ සඳහා චීනය විසින් කුමක් සැලසුම් කරනවාද යන්න තවම දැනගන්නට නැත. කෙසේ නමුත් චීනය ලංකාව තුල තම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනුයේ පරිසර නීති කිසිවක් චීනයට අදාළ කටයුතු සඳහා බලපෑම් සහගත විය නොයුතුය යන කොන්දේසීන් පිට සහ ඒ සඳහා බදු ක්‍රමයක් හෝ ක්‍රියාත්මක නොවන තත්වයක් යටතේය. මේ වන විට හුස්ම ගැනීමට පවා අපහසු අපායක් බවට පත්ව ඇති, සියලු ජල මූලාශ්‍ර දූෂණය වී ඇති චීනයට අනුව පරිසරය යන්න අදාළ කාරණයක් නොවේ. පිරිසිදු වතුර සහිත එකම ගංගාවක් හෝ චීනයේ ඉතුරු වී නොමැත. කොටින්ම ඒවායේ පවතින්නේ වතුරට පය නොතැබිය හැකි තත්වයකි.

ඉන් ඇති වීමට නියමිත පාරිසරික ප්‍රශ්න රාශියක් අතර හම්බන්තොට කර්මාන්තපුරයේ වායු දූෂණය වෙතින් විශාලතම බලපෑමක් එල්ල වීමට නියමිත ප්‍රදේශයක් වන්නේ මධ්‍ය කඳුකරයයි.

2002 වසරේදී “regaining Sri Lanka” වැඩ පිළිවෙල යටතේ ක්‍රියාත්මක කිරීමට ගිය සියලු දේ ඊට වඩා හොඳින් සහ වේගයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඔවුන්ගේ ඉලක්කය වනු ඇත්තේ 2034 පමණ වන විට කර්මාන්තපුරය, විනාඩි 45හේ අධිවේගී දුම්රිය, තවත් අධිවේගී මාර්ග සහ අවශේෂ මාර්ග ඉදිකොට සහ සංවර්ධය කර විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනයකොට, වාහන මිලද පහත දැමීමය.

ඉතාම සුළු පිරිසකට හැර අන් සියලු දෙනාට අවශ්‍ය ලංකාව සිංගපූරුවක් වනු දැකීමටය ඒ ඇමරිකාව බවට පත්වීමට නොහැකි තත්වයක් යටතේය.

පසුගිය ආණ්ඩු පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණට තිබූ ප්‍රශ්නය වූයේ සංවර්ධනය නියම අකාරයෙන් සිදු නොවීමය. එනම්, පරිසර විද්‍යාත්මක සහ අනෙකුත් විද්‍යාත්මක ශක්‍යතා අධ්‍යයන වාර්තා සහ අනෙකුත් සප්‍රමානික විශේෂඥ උපදෙස් ගෙන, දූෂණ-වංචා වලින් තොරව එය සිදු කරන්නේ නම් ජවිපෙට ප්‍රශ්නයක් වූයේ නැත. නමුත් ජවිපෙ ආණ්ඩුවකින් හැර වෙනත් කිසිම ආණ්ඩුවකින් එසේ සිදු නොවන බව ජවිපෙ ස්ථාවරය විය. ඒ අනුව, දැන් ඔවුන් බලයට පැමිණ ඇත. දූෂණ, වංචා, හොරකම් වලින් තොරව ඒ ඒ අදාළ ක්ෂේස්ත්‍රයන්ට උචිත නිසි උගතුන්ගේ දායකත්වයෙන් දැන් එය ඔවුනටම ඉෂ්ට සිද්ධ කිරීමේ වරම ලැබී ඇත.

ඉදිරියේදී චීන ප්‍රාග්ධනය රට තුලට පැමිණීමට නියමිතය. ඒවා පැමිණෙනුයේ ආණ්ඩුවේ මෙන්ම චීනයේ ද දැඩි රක්ෂණය යටතේය. මේ ක්‍රියාවලිය ආරම්භ වූ පසු මේ ආණ්ඩුව පෙරලා දැමීම සඳහා චීනය කිසි ලෙසකින් ඉඩ නොතබනු ඇත.

ජවිපෙ විසින් ඉන්දියාවට කොකා පෙන්වා ඇත. ඒ බව පැහැදිලිවම තහවුරු වූයේ මෙවර මැයි දිනයේදීය. මෙවර මැයි දිනය යනු ඉන්දියාවට සහ ඇමරිකාවට එරෙහිව පැවැත් වූ මැයි දිනයක් වැනිය. එයට ආරාධනා කර තිබුනේ ඉන්දීය කොම්යුනිස්ට් පක්ෂය, කේරල කොම්යුනිස්ට් පක්ෂය (චීන පක්ෂපාති මෙන්ම දැඩි ලෙස මෝදි විරෝධී), චීන කොම්යුනිස්ට් පක්ෂය, වියට්නාම් කොම්යුනිස්ට් පක්ෂය ඇතුළු වෙනත් එවැනිම සංවිධාන වල නියෝජිතයින් හටය.

මේ තත්වය හමුවේ ඉන්දියාව විසින් මේ වන විට අත්සන් තැබූ ගිවිසුම එලියට දමා ඇත. අප පැවසූ පරිදිම එය පුස්සකි. ආණ්ඩුවට සැබෑ ගිවිසුම ඇත්තේ චීනය සමගය. ඉන්දියාව දැඩි ආදරයක් පෙන්වමින් උත්සාහ දැරූයේ එය වලකා ගැනීමට වුව ද ජවිපෙ අනන්‍යතාවයට අදාළ මාවත ඔවුන් විසින් තෝරාගෙන ඇත.

රාජපක්ෂ ආණ්ඩුව වෙත ද චීනය පූට්ටු කරන ලද්දේ ජවිපෙ විසිනි. චීනයට අනුව නම් දැන් රාජපක්ෂලාට මෙන් නොව තමන්ගේම ආණ්ඩුවක් බලයට පැමිණ ඇත. මේ තත්වය තුල ඉන්දියාව විසින් රටේ නොයෙකුත් ස්ථාන වල විවිධ කලබල ඇති කිරීමට උත්සාහ දරනු පෙනේ. පුදුමය වන්නේ ඒවා පිටුපස BJP හිතවාදී ද්‍රවිඩ කොටස් (යාපනය බැරිස්ටා සිද්ධිය), රාජපක්ෂලා සමග එකතුව බදුර්දීන්, හිස්බුල්ලා වැනි (ආරුගම්බේ බිකිනි තහනම වැනි) අය නොසිටිනවා නම්ය. මේ වන විට අනීවාර්ය ලෙසම රෝ ඔත්තු සේවයේ නියෝජිතයින් ලංකාවේ එවැනි ප්‍රදේශ වල ස්ථාන ගත කොට තිබිය යුතුය. ඔවුන් මේ තුලින් නැවතත් කෙසේ හෝ දකුණේ ජාතිකවාදය පෝෂණය කිරීමට උත්සාහ දරනු ඇත (නමුත් එය සාර්ථක නොවනු ඇත). ඒ සඳහා නාමල් සූදානමින් බව දැනටමත් පෙනෙන්නට තිබේ.

චීනය මෙසේ ලංකාව තුලට පැමිණීම හරහා රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දැඩි ලෙස අර්බුධයට යාමට නියමිතය. ඉදිරියේදී ඔවුන්ගේ බහුතරයට සිරගත වීමට සිදු විය හැකි අතර එම පක්ෂ වෙත ප්‍රභූන් ලෙස නැගී සිටීම සඳහා අලුතෙන් පිරිස් එකතු වීම හීන වී යා හැකිය. එය තීරණය වන්නේ චීනය රට තුල කටයුතු වලට මැදිහත් වීමේ තීර්වතාවය මතය.

මේ තත්වය තුල දක්ෂිනාන්ශය නව අකාරයකින් සංවිධානය විය යුතු බවට වන සංවාදයක් ගොඩනැගෙමින් තිබේ. ඒ පැරණි දූෂිත, මජර, මැර ප්‍රභූවරයා වෙනුවට ටයිකෝට් අඳින, දේශපාලනය තම රැකියාව කරගත් පැහැදිලි දක්ෂිනාංශික දෘෂ්ටිවාදය මත පදනම් වූ දේශපාලනඥයින්ගෙන් සපිරි දේශපාලන පක්ෂයක් සඳහාය. ඔවුන් පුන පුනා පවසන්නේ කල යුතු වන්නේ ඕනෑම පාපකර්මයක් සිදු කර ධන උත්පාදනය සිදු කිරීම බවය. ජවිපෙ දැන් චීනය සමගින් පෙළ ගැසෙමින් සිටිනුයේ ද ඒ සඳහාය. නමුත් “දිනන දකුණ” වැනි සංවිධාන වලට අනුව ලිබරල් පුද්ගල නිදහස උපරිමයෙන් තහවුරු නොකර ධන උත්පාදනය උපරිම වශයෙන් සාක්ෂාත් කරගත නොහැක. එහෙත් චීනය, වියට්නාමය, සහ තවත් ආකාරයක රාජ්‍ය පාලනයක් වන සිංගපූරුව විසින් පෙන්වා දී ඇත්තේ එය එසේ නොවන බවය.

“දිනන දකුණ” පවසන්නේ ජනතාව මේ ආණ්ඩුව බලයට පත් කරන ලද්දේ තම දරුවන්ගේ අනාගතය ගැන සිතා බවත්, දැන් එම ජනතාවගේ බලාපොරොත්තු සුන් වෙමින් පවතින බවත්ය. එනම්, ආණ්ඩුවට ධන උත්පාදනය සිදු කල නොහැකි බවය. නමුත් ඔවුන් කුමන විකාර දෙඩවුව ද චීන ප්‍රාග්ධන ආගමනය හමුවේ තවත් රටවල ව්‍යාපෘතීන් ඒ පිටුපස පැමිණීමට නියමිතය. එනම්, පෙර නොවූ විරූ අයුරින් ධන උත්පාදනය සිදු වේ. නමුත් දක්ෂිණාංශයට පැවසිය හැක්කේ ඒ මදි බවය. සැබවින්ම “ජනතාවට” ද ඒ මදිය. ධනවාදය තුල ආශාව සංසිඳවිය නොහැක. “දිනන දකුණ” සහ ලාංකීය වාමාංශය විසින් ආණ්ඩුව තව තවත් මජර ධනවාදය දෙසටම තල්ලු කිරීමට නියමිතය. “ජනතාව” ආණ්ඩුවට බලය ලබා දුන්නේ හැකි ඕනෑම පාපකර්මයක් සිදු කර ධන උත්පාදනය සඳහාය. ආණ්ඩුව ඊට එරෙහි වුවහොත් “ජනතාව” ආණ්ඩුවට එරෙහි වී වැඩි කල් නොගොස් ආණ්ඩුව කඩා වැටෙනු ඇත. එසේම එය ඉටු නොකිරීම “ජනතා පරමාධිපත්‍යට” පිටුපෑමකි.

එසේ නම් සිදු කල යුතුව ඇත්තේ මේ ආණ්ඩුවට එරෙහි වී, නැවතත් මෙතෙක් කල් තිබූ දේශපාලනය නැවත අභිෂේක කර, මේ ආණ්ඩුව කරන වැඩ කටයුතු ඒ අයට භාර දී, නැවතත් ඒ අයට විරුද්ධ වී තවත් ආණ්ඩුවක් පත් කරගැනීම වැනි හිස්ටීරික කතිකාවක දිගින් දිගටම සිර වීම ද? දේශපාලනයේදී, ඒ අකාරයෙන් පවතින ආණ්ඩුවට එරෙහි වීම මෙන්ම ඕනෑම අකාරයකින් පවතින ආණ්ඩුවට පක්ෂපාති වීම ද විමුක්ති දේශපාලන මොහොත අත්හැරීමකි. එනම්, යථෙහි ප්‍රතීඝතා තුල මිඩංගු වීම වෙනුවට ලෙහෙසි සහ පහසු හුදු ආණ්ඩු විරෝධය හෝ පක්ෂපාතීත්වය තෝරා ගැනීමයි. නමුත් කෙතරම් පුන පුනා පැවසුව ද බොහෝ දෙනෙකු මෙය තේරුම්ගන්නා අකාරයක් පෙනෙන්නට නැත. ප්‍රශ්නය ඇත්තේ දැඩි ලෙස ධනවාදී කතිකාව සහ දෘෂ්ටිවාදය තහවුරු වී තිබීම නොවේද? 2022 ගෝල්ෆේස් අරගලය යනු එහි මස්තක ප්‍රාප්තිය නොවේද? අප ගෝල්ෆේස් අරගලය විවේචනය කරන විට බොහෝ දෙනෙකු පවසා සිටියේ “අන්න රාජපක්ෂලා ආරක්ෂා කරනවා” යනුවෙනි. එසේම අප හට දැන් ඒ අයම පවසනුයේ “අන්න NPPය ආරක්ෂා කරනවා” යනුවෙනි. එවිට ඒ අය කවුද?

කෙසේ වෙතත් පැරණි දේශපාලනය අභාවයට යාම තුලින් ඇතිව ඇති මෙම නව තත්වය තුල නව කතිකාවන් සඳහා හිඩැසක් නිර්මාණය වී ඇත. නමුත් එම අවස්තාව යොදා ගැනීම සඳහා ඉදිරිපත්ව ඇත්තේ දක්ෂිනාන්ශය පමණි.

වංචා, දූෂණ, අල්ලස් සහ ජාවාරම් නොමැති ප්‍රජාතන්ත්‍රවාදී නොවන චීන ධනවාදය‌ට ඇමරිකාව අභිබැවීමට ආසන්නව ඇත (ඒ පිළිබඳව වැඩි දුර අවබෝධය සඳහා මෙම ලිපිය කියවන්න: http://www.spartacus.lk/14-04/2025/). ලංකාව වෙත තම බලය පතුරුවන්නේ එම මහා බලවතාය. න්‍යෂ්ටික බලය ද හිමි එවන් බලවතෙකු සිටියදී ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සඳහා කැප වන “ජන බලය” වැනි කෙඳිරිලි යනු විහිළු පමණි. කල යුතුව ඇත්තේ ආණ්ඩුව ආරක්ෂා කරගැනීම සඳහා වන සංවිධානයක් ගොඩනැගීම නොව ධනවාදී කතිකාවට එරෙහි සංවිධානයක් ගොඩනැගීම බව “ජනබලයේ” නියමුවෙකු වන Nirmal Devasiri හට කෙතරම් පැවසුව ද ඔහු එය පිළිගත්තේ නැත. ආණ්ඩුව ආරක්ෂා කරගැනීමට කැපවීම පහසුය වන මුත් අප යෝජනා කරන දේශපාලනය ඉතා අපහසුය. එහෙත් පහසු දේ කිරීම දේශපාලනය ද? විමුක්ති දේශපාලනයේ අර්ථය ඇත්තේ “කල නොහැකි දේ තුල මිඩංගු වීම තුලය”.

දුමින්ද කුමාර – ස්පාටකස් ලිපි

Social Sharing
අවකාශය නවතම