මේ සටහන ලියන්නට හිතුණෙ රජයෙන් එක එක විදියට කෑ හැටි ගැන, කන හැටි ගැන හෙළිදරව් වෙන විස්තර එක්ක. ජනාධිපති අරමුදල ගැන කියවුණු නිසා එතනින් පටන් ගන්නම්.
අවුරුදු හතරකට උඩදි අපේ දරුවෙකුගෙ ශල්‍යකර්මයකට ලක්ෂ 30ක් අවශ්‍ය වුණා. එතකොට මං ෆ්‍රීලන්සර්. බිරිඳ හෙදිය. අපි අපේ ඉතුරුම්, රත්තරං බඩු උගස් තියල ගත්ත සල්ලි යොදාගෙන සැත්කම කළා. ළඟම නෑදෑයින් කීපදෙනෙකු උදව් කළා. බිරිඳ වැඩකරන ආයතනයේ අය සල්ලි එකතු කරන්නට ඇහුවත් අපි එපා කිව්වා. ෆේස්බුක් දැම්මෙ නැහැ. ජනාධිපති අරමුදලට ලිව්වෙ නැහැ. සැත්කම කළාට පස්සෙ ඉතා පොඩි මුදලක් සුරක්ෂා රක්ෂණයෙන් විතරක් ලැබුණා. ඒ සඳහා ලියකියවිලි භාර දීලා ගොඩක් කාලෙකට පස්සෙ තමයි සුරක්ෂා නැවත ක්‍රියාත්මක වුණේ. අපි භාර දුන් ඔරිජිනල් ඉන්වොයිස් එක නැහැ කියලා අපට ලබාදිය හැකි මුළු මුදලම දුන්නෙ නැහැ. රෝහලෙන් නැවත ඉන්වොයිස් අරන් දුන්නත් ඒක රක්ෂණ සංස්ථාව භාරගත්තෙ නැහැ. අපි මේවට සටන් කරන්න ගියෙ නැහැ. ඒව කරන්න ගතවෙන වෙලාවෙ අපි වැඩ කරලා ණය බේරුවා.
ඇයි අපි රජයෙන් ඉල්ලුවෙ නැත්තෙ? අපට ඒ වගේ මුදලක් සොයාගන්නට බැරිකමක් තිබුණෙ නැහැ. බිරිඳ රෝහලක හෙදියක් නිසා රජයෙ පෝලිමේ ගිහින් කරගන්නත් තිබුණා. ඒත්, දරුණු ආර්ථික අර්බුදයක් එන බව අපි බලාපොරොත්තු වුණා. ඒ නිසා තමයි සැත්කම ඒ වෙලාවෙ හදිසියෙ කළේ. ඒ ආර්ථික අර්බුදයෙන් මෙතරම් ඉක්මනින් ගොඩ පැත්තට එන්නට පුළුවන් වෙයි කියලා අපි හිතුවෙ නැහැ.
අපි විශාල රජයකට විරුද්ධයි. සුබසාධනය ගැන අපි හිතන්නෙ එය අත්‍යවශ්‍ය අයට හරියට ඉලක්ක කර ලබා දිය යුතුයි කියලයි. අපට පුළුවන් ප්‍රමාණය ඇතුළේ අපි රජයට බරක් නොවී අපේ දරුවාගේ වැඩේ කරගත්තා. ෆේස්බුක් දැම්මෙ, සම්මාදම් කළේ නැහැ.
හැමෝටම එහෙම බැරිවෙන්නට පුළුවන්. ඒ වුණාට පුළුවන් අයත් හිතනවා රජයෙන් දෙන නිසා ගත යුතුයි කියලා.
රජයෙන් ගන්න පුළුවන් හැම දේම අරගන්න එකත්, රජයට දිය යුතු බදු ආදිය හැකි තරම් වංචා කරන එකත් ලංකාවෙ මිනිසුන්ගෙ සාමාන්‍ය ලක්ෂණයක්. අප අතර ගැවසෙන කීදෙනෙකු බදු වංචාකාරයන්ද? කෑලි ගානට වැඩ කරන ෆ්‍රීලන්සර් කෙනෙකු වෙලාත් මම රජයට ගෙවිය යුතු ආදායම් බදුත් පහුගිය කාලෙ හරියට ගෙව්වා.
හිරු කණ්ඩායමේ දේශපාලනෙන් අයින් වුණාට පස්සෙත් මම සෑහෙන්න දේශපාලන වැඩ කළා. පොත් ලිව්වා, පළ කළා. ඒවායින් ලාභ තිබුණෙ නැහැ. බ්ලොග් කළා. වෙබ් අඩවි කළා. සමාජ මාධ්‍ය හරහාත්, භෞතිකවත් මැදිහත්වීම් කළා. මේ සියල්ල සඳහා වියදම් දරාගත්තෙ අපේ අතින්. ඒ වෙනුවෙන් මං දැන් අවුරුදු 20ක විතර ඉඳන් දවසට පැය 12කට වැඩි කාලයක් වැඩ කළා. මේ ලියන වෙලාව හවස හතට කිට්ටුයි. අද රෑ මං ඔෆිස් එකේ වැඩ. කිසිම අමතර ගෙවීමක් නැහැ. මං තනියෙන් වැඩ කරන්නෙ. හෙට සමාජ ආරක්ෂණ ජාල ගැන වැඩසටහනකට කාර්යාලය නියෝජනය කරමින් යන්නට තියෙන නිසා, කළ යුතු වැඩ ඉවර කරන්නට මං අද රෑ වැඩ කරනවා.
කෙනෙකුට මේවා පිස්සු වැඩ කියලා පෙනෙන්නට පුළුවන්. ඒක ඇත්ත වෙන්නත් පුළුවන්. ඒ වුණාට ඔහොම තමයි මේ හැට අවුරුද්ද සර්වයිව් වුණේ. මේ අතරෙ මං බිරිඳ, දරුවන් එක්ක ආදරේත්, රණ්ඩුත් කරන එකත්, උන්ගෙ ඩ්‍රයිවර් විදියට සේවය සැපයීමත්, බල්ලා නාවන එකත්, සමහරක් දවසට වයසක තාත්තා බලාගන්න එකත්, හෙට අනිද්දා එන්ජීඕ රස්සා නැති වුණාට පස්සෙ කරන්නට මොකක් හරි ප්ලෑන් කරන එකත් කරනවා.
මේ ඔක්කොම අතර මං මගේ ජීවිත අරමුණ වන හොඳ ලේඛකයකු වීම වෙනුවෙනුත් වැඩ කරනවා. ගිය අවුරුද්දෙ විදර්ශන සාහිත්‍ය සම්මානයක් ලැබුණු නිසාත්, මේ අවුරුද්දෙ ග්‍රේෂන් සම්මානයට කෙටි ලැයිස්තුගත වුණ නිසා ලැබුණු ආත්ම විශ්වාසය එක්ක ඊළඟ පියවර තියන්නටත් ඕනැ. මොනව කරන්නත් තව අවුරුදු දහයයි උපරිම තියෙන්නෙ. එළියකන්දෙ මාස 13ක් මාංචුවල හිටපු, ඒ කාලෙනුත් මාස අටක්ම ඇසුත් බැඳලා හිටපු කෙනෙකු විදියට මං හිතන්නෙ නැහැ, ඊට වඩා කාලයක් මට යහතින් ඉන්න පුළුවන් වෙයි කියලා. ජීවිතේ ඉවර වෙන්නෙ හෙටද දන්නෙ නැහැ. තව ටිකකින් වෙන්නත් පුළුවන්. මොකක් වුණත් වැඩ කරලා ජීවත් වෙන්න ඕනැ.
නොකා මළත්, රජයෙන් පිනට කෑම, ජනතාවගෙන් කෑම මට නම් ඇලජික්. කම්කරුවෙකු වෙන්න. ඔව්, සැබෑ වැඩ කරන මිනිහෙක් වෙන්න. ඒක තමයි සමාජවාදී ජීවන විලාසය.
(ෆොටෝ එක ළඟදි දවසක වැඩට යන්න අපි දෙන්නම එළියට බැහැපු වෙලාවක ගත්තෙ)
Praja.lk