නවක වදයට එරෙහිව නීතිඥ සංගමය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නවක වදය අවසන් කිරීම අරමුණු කොටගෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ 23 හැවිරිදි චරිත් දිල්ෂාන් දයානන්ද මුහුණ දුන් ඛේදජනක නවක වදය සහ ඉන් අනතුරුව සිදුවූ සියදිවි නසාගැනීම් හේතුකොටගෙන මෙම මූලික පෙත්සම ගොනු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය, එහි සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන හරහා SC/FR/101/2025 අංක දරන මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර  ඇත.

2025 අප්‍රේල් 26 වන දින චරිත් දිල්ෂාන් ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් අඛණ්ඩ සහ ම්ලේච්ඡ නවක වදයට ලක් කරන ලද බවත්, එය ඔහුව අවමානයට ලක් කළ කම්පා සහගත සිදුවීමක් වූ බවත්, ඉන් පසුව ඔහු සියදිවි නසා ගැනීමෙන් මිය ගිය බවත් පෙත්සමේ සඳහන් වී ඇති අතර තවද පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ,  සබරගමුව විශ්වවිද්‍යාලයේ බලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, පොලීසිය සහ අනෙකුත් අය නවක වදයට එරෙහි නීති ක්‍රියාත්මක කිරීමට සහ සිසුන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම, මෙම ඛේදවාචකයට හේතු වූ බවයි.

එමෙන්ම පෙත්සම මඟින් පද්ධතිමය සහ ආයතනික අසාර්ථකත්වයන් ඉස්මතු කර ඇති අතර, අපයෝජනයන් දිගින් දිගටම සවිබල ගැන්වෙන ආකාරයේ සංස්කෘතියක් ගොඩනැගී ඇති බව ඉස්මතු කර තිබෙනවා. නවක වදය පැමිණවීම මගින් නීතිය ඉදිරියේ සමානව සැලකීම සහ වධහිංසනයට හෝ කෲර, අමානුෂික සැලකිල්ලකට  භාජනය නොවීමට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 11 වගන්ති යටතේ ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවද පෙත්සම මඟින අවධාරණය කර ඇත.

චරිත් දිල්ෂාන් වෙනුවෙන් පෙත්සම්කරුවන් යුක්තිය ඉල්ලා සිටින අතර, දිගු කලක් තිස්සේ ප්‍රමාද වී ඇති ව්‍යුහාත්මක  ප්‍රතිසංස්කරණයක්ද ඉල්ලා සිටිනවා.

වගකිවයුතු නිලධාරීන් සහ ආයතන වගවීමට සැලැස්වීම, නවක වද විරෝධී නීති සහ විශ්ව විද්‍යාල රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, සිසුන් ආරක්ෂා කිරීම සඳහා නිශ්චිත මාර්ගෝපදේශ නියම කිරීම,  සෑම සිසුවෙකුටම ගෞරවයෙන් හා ආරක්ෂිතව අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සලසාදීම යන කරුණු ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මූලික වශයෙන් අපේක්ෂා කර ඇත.

Social Sharing
අවකාශය නවතම පුවත්