ජනපති මැදුරේ වාහන දන්සැල – සී ජේ අමරතුංග

ජනාධිපති මැදුරේ සිදුකළ සුඛෝපභෝගී වාහන වෙන්දේසිය දුෂිත බවට දැන් චෝදනා එල්ල වෙමින් පවතියි. විපක්ෂය හැඳින්වුයේ එය වාහන දන්සැලක් වශයෙනි. කොටි ගණන් වටිනා බව කියූ වාහන 17 ක් විකුණා ලබාගෙන ඇත්තේ රුපියල් කොටි 20 කි. මේ වාහන අතර එකක් කොටි 5ක් 6ක් පමණ වටිනා වාහන ගණනාවක් තිබු බවට චෝදනා එල්ල වී තිබේ. ඒවා අඩු මිලට විකුණා දුෂණයක් සිදුකොට ඇති බවට චෝදනා එල්ල වෙයි.

ආණ්ඩුව කියන්නේ රජයේ තක්සේරු මිලට වැඩි මිල ගණන් යටතේ වාහන අලෙවි කළ බව යි. එය එසේ නම් මේවා මිල අධික අධි සුඛෝපභෝගී වාහන බවට මීට පෙර කළ ප්‍රකාශ බොරු බවට පත්වෙයි.

දුෂණයක් සිදු වූ බව හෝ නොවූ බව ගැන නිගමනය කුමක් වුවත්, ආණ්ඩුව තමන් ම ප්‍රචාරය කළ මතවාදයේ ගොදුරු බවට පත් වී ප්‍රහාරයට ලක්වන බව පෙනෙන්නට තිබේ.

ජාතික ජන බලවේගය හෙවත් මාලිමාව බලය ලබා ගත්තේ සොරකම දුෂණය තුරන් කිරීම තම ප්‍රධාන ප්‍රවාදය ලෙස ඉදිරිපත් කරමින් ය. ඔවුන් කීවේ මේ රටේ සියලු විනාශයන්ට හේතුව බලයේ සිටි දේශපාලනඥයින්ගේ සොරකම් බව යි. ඔවුන්ට අනුව ආර්ථිකයේ ප්‍රධාන ප්‍රශ්නය ද සොරකම යි. එය තුරන් කළ විට සියලු ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන බව ඔවුහු කීහ.

ඔවුන් කළේ සොරකම සහ දුෂණය අතිශයෝක්තියට නැගීම යි. සියලු ආර්ථික ,සමාජ, දේශපාලන ප්‍රශ්න දුෂණයට සුළු කිරීම යි. පසුගිය කාලයේ මෙරට දුෂණය අසීමිතව වර්ධනය වී තිබු බව දැන සිටි නිසා බොහෝ දෙනා මෙම අදහස ප්‍රබල ලෙස ප්‍රශ්න කළේ ද නැත.

දුෂණයෙන් තොර පාලනයක් යන්න කිසිවකු විරුද්ධ නොවන අරමුණකි. එසේ වුවත්, සොරකම, දුෂණය අතිශයෝක්තියෙන් හුවා දැක්වීම මගින් දේශපාලන වාසි ගැනීම එම අරමුණට හානිකර ය. සොරකම අතිශයෝක්තියෙන් හුවා දක්වන බව දැන සිටි උදවිය පවා ඒ ගැන කතා කරන්නට ඉදිරිපත් නොවෙති. ඒ සොරුන්ගේ ආරක්ෂකයින් ලෙස හංවඩු ලැබීමට තිබෙන බිය නිසා ය.

කෙසේ වෙතත්, සොරකම අතිශයෝක්තියට නැගීම අවසානයේ සොරුන් ආරක්ෂා කිරීමක් බවට පත්වෙයි. ඒ චෝදනා කළ මට්ටමේ සොරකම් හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙනි. එවිට තමන්ට බොරු චෝදනා කළ බව කියමින් සියලු වැරදිවලට නිදොස් බව ප්‍රකාශ කිරීමට දුෂිතයින්ට අවස්ථාව ලැබෙන හෙයිනි. එබැවින් සොරකම් ගැන බොරු හෝ අතිශයෝක්තියෙන් හෝ චෝදනා නැගීම දුෂිතයින්ට කරන උපකාරයකි.

උගන්ඩාවේ සැඟවූ මුදල් සහ ලම්බෝගිනි වැනි චෝදනා නිසා අද ඇතිවී තිබෙන්නේ එබඳු තත්ත්වයකි.

අනෙක් ප්‍රශ්නය නම් බොහොමයක් දුෂණ ක්‍රියා ඔප්පු කිරීම දුෂ්කර වීම යි. සොරකම ,වංචාව මෙන් නොව දුෂණ , අල්ලස්, කොමිස් වැනි ක්‍රියා හෙළිකර ගැනීම දුෂ්කර ය. සොරකම යනු අනුන්ගේ දෙයක් සොරෙන් ගැනීම යි. එවැන්නක් හෙළිකර ගැනීම පහසු ය. නමුත් පසුගිය කාලයේ සිදු වූ බොහෝ දේ හඳුනාගත හැක්කේ දුෂණ වශයෙනි. ඒවා හෙළිකර ගැනීම සංකීර්ණ ක්‍රියාවකි. දුෂණය සැලසුම් වන්නේ එහි ආරම්භයේ සිට ම ය.

පසුගිය කාලයේ දුෂණ සිදු වූ ක්ෂේත්‍රයක් වන්නේ මාර්ග සංවර්ධනය යි. එහි දී දුෂණය පටන් ගන්නේ ඉහළ ම ප්‍රමිතියට කිරීමේ සැලසුමෙනි. මාර්ගය අඟල් හයක් උසට කාපට් කිරීමට සැලසුම් කළා විය හැකි ය. නමුත් කාපට් වැටෙන්නේ අඟල් හතරක් හෝ පහකට ය. නමුත් ප්‍රමිතිය අනුමත කොට මුදල් ගෙවනු ලබයි. ගෙවන මුදලින් කොටසක් අත යටින් දේශපාලඥයින්ට සහ නිලධාරීන්ට ලැබෙනු ඇත. එසේ සිදුවුවා ද යන්න පසුව හෙළිදරව් කිරීම සංකීර්ණ කටයුත්තකි.

මෙබඳු කොන්ත්‍රාත් වල දී ක්‍රියාත්මක වන තවත් කොන්දේසියක් නම් එහි සැපයුම් සහ උප කොන්ත්‍රාත් තම හිතවතුන්ට ලබාදීම යි. එමගින් ද මුදල් ඉපැයීම සිදුවෙයි. මේවා පසුව හෙලිකිරීම දුෂ්කර ය. එම මුදල් නැවත අයකර ගැනීම ද කළ නොහැකි වනු ඇත.

විශාල ගනුදෙනුවල දී කොමිස් ලබාගැනීම වැනි දේ බොහෝ කලක් තිස්සේ මෙරට සිදු වී ඇතත් පසුගිය කාලයේ එය විශාල ලෙස වර්ධනය වූ බව වාර්තා වී ය. එවැනි දෑ සෙවීම සහ එම මුදල් කුමන ගිණුම්වලට ගියේ ද යන්න සෙවීම ද සංකීරණ සහ දුෂ්කර කටයුත්තකි.

මෙම සංකීර්ණත්වය තේරුම් නොගෙන සොරු ඇල්ලීමට සහ සොරකම් කළ මුදල් රැගෙන රටේ ආර්ථික ප්‍රශ්න විසඳීමට පොරොන්දු වීම කෙතරම් ඥානාන්විත ද යන්න ප්‍රශ්නයකි. එය ප්‍රමාණවත් තරම් සාර්ථක කරගත නොහැකි වුවහොත් එයින් සිදුවන්නේ සොරුන් සුදනන් වී ප්‍රශ්නය අවසන් වීම ය. එය සොරකම අතිශයෝක්තියට නැගීමේ එක් විපාකයකි.

අනෙක් අතට පසුගිය කාලයේ සියලු ගනුදෙනු දුෂිත ලෙස සැලකීමේ මානසිකත්වය ද හානිකර ය. එම මානසිකත්වය නිර්මාණය කළේ මාලිමාව නොහොත් ජාතික ජන බලවේගය යි. දැන් ඔවුහු එම මතවාදයේ ම ගොදුරු බවට පත්ව සිටිති.

පසුගිය කාලයේ අවස්ථා ගණනාවක දී අපට මෙම තත්ත්වය දකින්නට ලැබිණි. කන්ටේනර් 323 ක් පරීක්ෂණයකින් තොරව රේගුවෙන් නිදහස් කර දීම, සහල් ආනයනයේ දී පෞද්ගලික අංශයට ඉඩ ලැබෙන පරිදි රජයේ ටෙන්ඩර් සිව් වරක් ම ප්‍රතික්ෂේප වීම, වාහන වෙන්දේසියේ අඩු මිල, ලුණු මිල අර්බුදය ආදිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත. එම චෝදනා සත්‍ය නම් එය බරපතළ ප්‍රශ්නයකි. එසේ නොවේනම් මෙම ප්‍රශ්න මතුවීම මාලිමාව පසුගිය කාලයේ ප්‍රචලිත කළ මතවාදයේ ප්‍රතිඵලයකි. එනම් සියලු දේ සොරකම් ලෙස සැලකීමේ මානසිකත්වය යි. එය හානිකර තත්ත්වයකි. රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය වීමට පවා මෙය හේතු විය හැකි ය.

මාලිමාව කීවේ රජයේ ආයතනවල සොරකම් නැවැත්වූ විට මිල සහ ගාස්තු අඩුකළ හැකි බව යි. ඔවුන් කී පරිදි ඉන්ධන ගාස්තු අඩු වුයේ නැත. නිගමනය විය හැක්කේ සොරකම් තවම සිදුවන බව යි. විදුලි ගාස්තු සියයට 30 කින් අඩුවන බව කීවත් එය ද සිදුවුයේ නැත. ප්‍රතිඵලය ආණ්ඩුවට සහ ලංවිම නව සභාපතිවරයාට පවා දුෂණ චෝදනා එල්ලවීම යි. අප ඒවා නොපිළිගන්නේ විදුලි බිල වැඩි වුයේ සොරකම් නිසාය යන මාලිමා මතය වැරදි බව දන්නා නිසා ය. නමුත් දැන චෝදනා එල්ල වී තිබේ. මෙය සිදු වී තිබෙන්නේ මාලිමාව ප්‍රචලිත කළ මතවාදය හේතුවෙනි.

දැන් විපක්ෂය කරමින් සිටින්නේ මාලිමාව විපක්ෂයේ සිටියේ නම් මතුකරන ආකාරයේ චෝදනා මාලිමා ආණ්ඩුවට එල්ල කිරීම යි. ඒ සඳහා මතවාදී පදනම සපයා ඇත්තේ මාලිමා චින්තනයෙනි.

මාලිමා ආණ්ඩුව මේ නෙලමින් සිටින්නේ ඔවුන් වැපුරූ මිත්‍යාවේ බීජවල අස්වැන්න යි. ප්‍රතිඵලය ඔවුන්ට දුෂණ චෝදනා එල්ලවීම යි. අපි පිරිසිදුයි කියා කීමෙන් පමණක් මෙයින් ගැලවී යා නොහැකි ය.

මෙම මතවාදයේ අනෙක් හානිය නම් දුෂණ තුරන් කිරීම සියලු ප්‍රශ්නවලට විසඳුම ලෙස කලපනා කිරීම යි. ඔවුන් කීවේ රටේ ආර්ථික ප්‍රශ්න, ජීවන වියදම් ප්‍රශ්න, සංවර්ධනයේ ප්‍රශ්න ආදී සියල්ලට විසඳුම් දුෂණය තුරන් කිරීමෙන් ලැබෙන බව යි. එබැවින් ආර්ථික උපායමාර්ග හෝ වැඩ සටහන් කෙරෙහි ඔවුන්ගේ කැපවීම අල්ප බවක් පෙනෙන්නට තිබේ. ඔවුන් දැනට කරන්නේ තිබෙන දේ ඔහේ කරගෙන යෑම පමණකි. මෙය ද රටට හානිකර තත්ත්වයකි.

මාලිමා ආණ්ඩුව දැන්වත් තමන් කළ වැරැද්ද නිවැරදි කරගත යුතුව ඇත. සොරුන් , දුෂිතයින් ඇල්ලීමට කිසිවකු විරුද්ධවන්නේ නැත. එය කළ යුතු දෙයකි. ඒ සඳහා කළ හැකි දේ තෝරාගෙන යථාර්ථවාදී ලෙස ක්‍රියාත්මක වීම අවශ්‍ය වෙයි.

එසේ වුවත්, සොරු ඇල්ලීම තම එක ම වැඩ පිළිවෙළ කර ගැනීමේ තත්ත්වයෙන් ආණ්ඩුව ඉවත් විය යුතු ය. රටට අවශ්‍ය ආර්ථික, දේශපාලන ප්‍රතිසංස්කරණ කරමින් රට ආණ්ඩු කිරීමට මාලිමාව උගත යුතුව ඇත. එමෙන් ම එම අංශයෙන් ඉක්මනින් ක්‍රියාත්මක වෙමින් ප්‍රතිඵල පෙන්වීම ද අවශ්‍ය වෙයි.

සොරකම් අතිශයෝක්තියට නැගීම සොරුන්ට කරන උපකාරයක් බව තේරුම් ගත යුතු ය. මෙයින් අවසානයේ සිදුවන්නේ සොරුන් සෝදා පිරිසිදු කිරීමක් වීමට හොඳට ම ඉඩ ඇත.

සී ජේ අමරතුංග – yukthiya.lk

Social Sharing
අවකාශය නවතම