සුළු ජාතීන්ගේ විශ්වාසය නැවත ලබාගැනීම සඳහා සංකේතාත්මක ක්‍රියාමාර්ගවලට වඩා වැඩි යමක් අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා

සියල්ලෝම ශ්‍රී ලාංකිකයන් වුවද, අතීතයේ සිදුවූ පාඩු දෙස බැලීමට සුළු පිරිසක් අවධානය යොමුකරද්දී, මැයි 18-19 දිනයන් රට තුළ අඛණ්ඩ බෙදීමක් ඉස්මතු වන බව දැකගත හැකිය. දශක තුනක් පුරා පැවැති යුද්ධය අවසන් වූ ආකාරය ඇතුළුව, විශේෂයෙන් මෙම දින දෙක විසින් සිහිපත්  කරන්නේ, රටේ ජනතාවට වෙනස් මතකයන් ඇති බවට වන පිළිගැනීමට අසීරු සත්‍යයයි. දෙමළ ජනතාව මැයි 18 වැනි දිනය, එල්ටීටීඊ සාමාජිකයන් ඇතුළු ඔවුන්ගෙන් බොහෝදෙනකු යුද්ධයෙන් අහිමි වූ දිනය ලෙස සැමරති. මේ වසරේ කොළඹ ඇතුළු රටේ විවිධ ප්‍රදේශවල සැමරුම් පැවැත්විණි. මැයි 18 වැනි දිනය තම ආදරණීයයන් සැමරුවේ දෙමළ ජනතාව පමණක් නොවේ. සිංහල ජාතිකයෝ ද ඔවුහු සංවිධානය කළ උත්සවවලදී එසේ කළහ. ඒ සියල්ල ශෝකජනක අවස්ථාවන් විය. රජය විසින් මැයි 19 වැනි දින පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකයේදී අතීතය සැමරූ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වූ එම අවස්ථාවේදී මියගිය ආරක්ෂක හමුදා සාමාජිකයන් සිහිපත් කරන ලදී.

ආතතීන් තවමත් පවතින අතර, විශේෂයෙන් උතුර හා නැගෙනහිර යුද කලාපවල ආරක්ෂක හමුදා විශාල සංඛ්‍යාවක් යොදවා ඇත. රට තුළ සහ ඩයස්පෝරාවේ දෙමළ ජනතාව මෙන්ම බටහිර අන්තර්ජාතික ප්‍රජාවද විශ්වාස කරන්නේ, එම දිනවල මහාපරිමාණ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ සිදු වූ බවයි. උතුර හා නැගෙනහිර ඡන්දදායකයන්ගෙන් ලැබුණු සහයෝගය පහත වැටීම පිළිබඳව ආණ්ඩුව සැළකිලිමත් වන අතර, එම පහත වැටීමට එම ප්‍රදේශවල පවතින සැබෑ ආතතිය එකතු කිරීමට කැමැත්තක් දක්වන්නේ නැත. මුලදී, ජනාධිපතිවරයා මැයි 19 වැනි දින ජයග්‍රාහී දින උත්සවයට සහභාගී නොවන බව වාර්තා විය. කෙසේ වෙතත් මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනීයන්නේ, මැතිවරණයේදී ලැබුණු උතුර සහ නැගෙනහිර සහයෝගය පවත්වාගැනීම සඳහා සැමරුම් උත්සවයකට සහභාගී වීම හෝ සහභාගී නොවීම වැනි සංකේතාත්මක අභිනයන්ට වඩා වැඩි යමක් අවශ්‍ය බවයි. දෙමළ ජනතාවට විශාල වශයෙන් අනුස්මරණ උත්සවවලට සහභාගී වන බව පෙනෙන්නට තිබීම, රට සංහිඳියාවේ දිශාවට වෙනස්වෙමින් පවතින බවට සාක්ෂියකි.

අනුස්මරණය සඳහා හිතකර වාතාවරණයක් නිර්මාණය කිරීමේදී රාජ්‍ය ආයතන මෙම ක්‍රියාවලියට සහයෝගය දක්වා ඇත. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට ලිපියක් යවමින් මැයි 18 වැනි දින අනුස්මරණ උත්සව බාධාවකින් තොරව පැවැත්වීමට අවසර දෙන ලෙස සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් දෙන ලෙස ඉල්ලා සිටියේය. පසුගිය අවස්ථාවන්හිදී, රජය මැයි 18 වැනි දින අනුස්මරණ උත්සව සඳහා අවසර ලබාදුන් විට පවා, නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව ඔවුහු පෙන්වාදුන්හ. පොලිසියට යැවූ ලිපියේ මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, “සාමකාමී අනුස්මරණ ක්‍රියාවන් සහ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම, සතුරුකම හෝ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීමක් ලෙස සැළකිව නොහැකි බවත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය යටතේ සහතික කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසේ අයිතිය යටතේ ඒවා ආරක්ෂා කර ඇති බවත්” තම මතය බවයි. මෙවර පොලිසිය මෙම උපදෙස් එහි අර්ථයට අනුව අනුගමනය කළ බවක් පෙනෙන්නට තිබිණි.

පූර්ව අනතුරු ඇඟවීම

අතෘප්තිමත් ජනවාර්ගික හා ආගමික සුළුතරයන් කෙරෙහි රජය සිය ප්‍රවේශය නැවත සළකා බලන බවට ඇඟවීම් තිබේ. ශ්‍රී ලංකාවේ උතුර හා නැගෙනහිර පළාත්වල, පළාත් පාලන මැතිවරණවල ප්‍රතිඵල, ආණ්ඩුව කෙරෙහි සුළුතර අතෘප්තිය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් වන අතර, එය ප්‍රතික්ෂේප කළ නොහැක. ගැඹුරු වාර්ගික දෝෂ රේඛා ඇඳී ඇති රටක, මෙම ප්‍රදේශවල දෙමළ සහ මුස්ලිම් පක්ෂවල සාර්ථකත්වය, සුළුතර ප්‍රජාවන්ට රජය ඔවුන්ගේ අවශ්‍යතාවලට ප්‍රමුඛත්වය දෙන බව ඒත්තු ගැන්වී නොමැති බවට සංඥාවකි. ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය නොකළ නොවිසඳුණු දුක්ගැනවිලි සහ සුවිශේෂී අභිලාෂයන් අඛණ්ඩව පැවතීම වැනි, මෙම මැතිවරණ ප්‍රතිඵල මගින් ඉස්මතුවන, මතුපිටට යටින් ඇති තත්වයන් පවතී. රජය තම ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රයේ නීත්‍යානුකූලභාවය පවත්වාගැනීමට සහ මැතිවරණ ජයග්‍රහණ කල් පවතින ස්ථාවරත්වයක් බවට පරිවර්තනය කිරීමට නම්, සුළු ජාතීන්ගේ මෙම ගැටලුවලට ඉක්මණින් හෝ පසුව පිළිතුරු සොයාගත යුතුය.

උතුර-නැගෙනහිර සුළු ජාතීන්, බහුතර සිංහල ජනවාර්ගික ජනතාව ඇතුළු රටේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රජාවන් සමඟ පොදු තත්වයන් රැසක් එකසේ බෙදාගනී. ඊට දරිද්‍රතාව, සංවර්ධනය නොමැතිකම, ආර්ථික සම්පත් සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් නොමැතිකම සහ මුල් බැසගත් දූෂණය පිළිබඳ කළකිරීම ඇතුළත් වේ.

කෙසේවෙතත්, වාර්ගික හා ආගමික සුළුජාතීන් ඔවුන්ගේ ඓතිහාසික හා දේශපාලන සන්දර්භයට ආවේණික වූ බරකින්, බහුතර ජනවාර්ගික ප්‍රජාව මුහුණනොදෙන ගැටළුවලටද මුහුණදෙයි. සිවිල් ඉඩම් මිලිටරිමය වශයෙන් අත්පත් කරගැනීම, අතුරුදහන්වූවන්ගේ නොවිසඳුණු ගැටළු, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ චෝදනා හෝ නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබාගැනීම සහ කලාපීය ස්වයං පාලනයක් සඳහා දිගුකාලීන ඉල්ලීම් මෙයට ඇතුළත් වේ.

මෙම දිගුකාලීන ගැටළු හමුවේ, රජයේ නායකයන් විසින් නිතර පවසන පරිදි, සියලුදෙනා සමාන බවත්, සමානව සළකනු ලබන බවත් යන ස්ථාවරය ගැනීම ප්‍රමාණවත් නොවේ. මෙම ගැටළු අඛණ්ඩව පැවතීම අවිශ්වාසය ගැඹුරු කර ඇති අතර, රජයේ ප්‍රවේශම්සහගත, බොහෝ විට පාරාන්ධ ප්‍රවේශය, බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට යම් සහතිකයක් ලබාදීමට තරම් යමක් ලබාදෙන්නේ නැත. සංවර්ධනයේ සමානාත්මතාව සහ සමාන අයිතිවාසිකම් කෙරෙහි ජාතික ජන බලවේගයේ අවධාරණය න්‍යායාත්මකව අනුනාද වන නමුත්, එහි සැබෑ පරීක්ෂණය පවතින්නේ සුළුතර ප්‍රජාවන් මුහුණදෙන දැවැන්ත අභියෝගව හමුවේය. එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම ලැයිස්තුවේ ඉහළින්ම තිබිය යුතුය. එය අවලංගු කිරීම හොඳහිත පළකිරීමේ ප්‍රබල සංඥාවක් වන අතර, සුළුජාතීන් (සහ අන්තර්ජාතික ප්‍රජාව) බැරෑරුම් ලෙස සළකන වැදගත් ප්‍රතිපත්තිමය වෙනසක් වනු ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම, මෙම කුරිරු නීතිය යටතේ සිරගත කර ඇති බොහෝ සිරකරුවන් නිදහස් කිරීමට ද හේතු වනු ඇත. මෙම නීතිය ප්‍රථම වරට මාස හයක් සඳහා තාවකාලික පියවරක් ලෙස 1979 දී නීති පොත්වලට ඇතුළත් කරන ලද නමුත්, විවිධ පාලනයන් යටතේ දශක හතරකට වැඩි කාලයක් එය අඛණ්ඩව පවත්වාගෙන ගොස් තිබේ. ආරක්ෂක අංශ විසින් ලබාගත් පාපොච්චාරණයන් අධිකරණයේ පිළිගත හැකි ලෙස එමගින් ප්‍රතිපාදන සලසා ඇත. කෙසේවෙතත් අධිකරණ මෙම පාපොච්චාරණ ප්‍රතික්ෂේප කිරීමේදී හෝ ඒවා සාක්ෂි ලෙස පිළිගැනීමේදී ප්‍රවේශම් වී තිබේ. මෙම නීතියේ අඛණ්ඩ පැවැත්ම, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා රජයේ කැපවීම සමඟ ගැලපෙන්නේ නැත. එය දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි සඳහා තවත් හේතුවකි. ජාතික ජන බලවේගය විසින් මෙහෙයවන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමේ පියවරක්, ශ්‍රී ලංකාව ගෝලීය සම්මතයන් සමඟ පෙළගස්වා, කල් පවතින සාමය සහ සංහිඳියාව ඉදිරියට ගෙනයෑම, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මානව හිමිකම් දෙසට ප්‍රධාන මාරුවක් සනිටුහන් කරනු ඇත.

බලගතු අභියාචනා

හමුදාව විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් නිදහස් කිරීමද තවත් ප්‍රමුඛතාවක් වනු ඇත. අනුප්‍රාප්තික පාලනයන් විසින් නැවත නැවතත් සහතික කිරීම් ලබාදුන්නද, යාපනයේ දෙමළ ජනතාවට අයත් ඉඩම් අක්කර 2,500කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ යුද හමුදා, නාවික, ගුවන් හමුදා සහ පොලීසිය විසින් අත්පත් කරගෙන ඇති බව යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා තහවුරු කර තිබේ. සන්නද්ධ ගැටුම අවසන් වී වසර 16කට ආසන්න කාලයක් ගතවී ඇතත්, මෙම ඉඩම් ආපසු ලබාදීම යුක්තිය පිළිබඳ කාරණයක් පමණක් නොව, තම ජීවිත නැවත ගොඩනඟා ගැනීමට උත්සාහ කරන අවතැන් වූ පවුල් සඳහා ප්‍රායෝගික වැදගත්කමක් ද වනු ඇත. ප්‍රමාදයකින් තොරව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජයට බලය සහ අවස්ථාව පවතී. ඊට පටහැනිව, මාස තුනක් ඇතුළත, උතුරේ හිමිකම් නොකියන ඉඩම් පවරා ගන්නා බවට නිවේදනයක් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබීම අවාසනාවන්ත ය. මාස තුනක කාල රාමුව ඉතා කෙටි වන අතර, මෙය එසේ වන්නේ ඇයි සහ එය රාජ්‍යයේ තවත් ඉඩම් අත්පත් කර ගැනීමක්ද යන්න පිළිබඳව අනුමාන කිරීමට හේතු වේ. මන්ද එම ඉඩම්වලට දශක ගණනාවක් තිස්සේ ජනතාවට ප්‍රවේශ විය නොහැකිව පැවැති අතර, ඒවායේ ඇතැම් හිමිකරුවන් රට හැර ගොස් ඇති අතර, අනෙක් ඒවායේ හිමිකරුවන් ජීවතුන් අතර නොමැත.

පළාත් සභා මැතිවරණ ද ඒ හා සමාන ප්‍රමුඛතාවයක් වන අතර තවදුරටත් ප්‍රමාදයකින් තොරව එය පැවැත්විය යුතුය. වත්මන් ආණ්ඩුවේ අඩුපාඩුවක් වන්නේ ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේ සහ ප්‍රධාන පත්වීම්වලදී සුළුතර හඬවල් එහි නොමැතිකමයි. තේරී පත්වන පළාත් සභාවලට මෙම හිඩැස පිරවීමට හැකිවන්නේ, විශේෂයෙන් මධ්‍යම රජය ප්‍රතිවාදීන් ලෙස නොව හවුල්කරුවන් ලෙස ඔවුන් සමඟ කටයුතු කළහොත් ය. වසර හයකට වැඩි කාලයක් තිස්සේ ප්‍රමාද වී ඇති මෙම මැතිවරණ නැවත නැවතත් කල්දැමීම, බලය බෙදාගැනීමේ පොරොන්දුව යටපත් කර ඇති අතර, එමඟින් බලය බෙදාගැනීමට ඇති අකමැත්ත ප්‍රදර්ශනය කර තිබේ.

බලය බෙදාගැනීම සඳහා ව්‍යවස්ථාමය පදනම ලෙස පවතින 13 වැනි සංශෝධනය ක්‍රියාත්මකවන පළාත් සභා නොමැතිව, එම පද්ධතිය අර්ථවත් ලෙස ක්‍රියාත්මක කළ නොහැක. මෙම මැතිවරණ ප්‍රමාදයකින් තොරව පැවැත්වීමටත්, පළාත් පාලන ව්‍යුහයන් පුනර්ජීවනය කිරීමට සහ බලගැන්වීමට පියවර ගැනීමටත් රජය සහතික විය යුතුය. අනුප්‍රාප්තික ආණ්ඩු සිදුකළ පරිදි, සිය අභිමතය පරිදි ක්‍රියාත්මක නොවන විට, ඒවා අඩපණ කරමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකුලව කටයුතු කිරීම වෙනුවට, පොලිස් සහ ඉඩම් බලතල බෙදාහැරීම යන අර්ථය ඇති 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුව ඇත.

මේ දක්වා රජයේ උපායමාර්ගය වන්නේ, සම්මුතිවාදී අනුමැතියක් ලබාගැනීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය වීමට පෙර, සංහිඳියාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අලුතින් කෙටුම්පත් කිරීම බව පෙනේ. එය සැළකිවයුතු කාලයක් ගතවන, විශේෂඥ කමිටුවල මඟපෙන්වීම යටතේ ඉදිරියට ගෙනයන කටයුත්තක් බව පෙනෙන්නට තිබේ. එහෙත් සුළුතර ප්‍රජාවන් පිළිතුරු වෙනුවෙන් වසර ගණනාවක් බලා සිට ඇත. වසර ගණනාවක් ඇදී ගොස්, ඊට අදාළ සකච්ඡා ගොනු කබඩ්වලට සීමාවී ඇති පසුබිමක, සර්ව-පාක්ෂික සමුළු සහ විමර්ශන කොමිෂන් සභා වැනි දීර්ඝ සාකච්ඡා කෙරෙහි ඔවුන්ට විශ්වාසයක් නැත. බෙහෙවින් ධ්‍රැවීකරණය වූ පරිසරයක, පාර්ලිමේන්තු සම්මුතියේ අවිනිශ්චිතතාවන් සමඟ ඒවා ක්‍රියාත්මක කිරීම, මෙම ක්‍රියාවලිය සැලසුම් සහගතව කල්දැමීමකි. උතුර සහ නැගෙනහිර ඇතුළුව සමස්ත රටේ ජනතාව මාස හයකට පෙර ලබා දුන් 2/3ක පාර්ලිමේන්තු වරම රජය විසින් නිසි ලෙස භාරගෙන අදම ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුය.

Social Sharing
අවකාශය නවතම