‘දිනන දකුණ’ විසින් අද දින මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී විදුලිබල සහ බලශක්ති ක්ෂේත්රයට අදාල රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය පිළිබඳව සුදර්ශන ගුණවර්ධන මහතා අදහස් පළ කළ අතර එම අදහස් මෙසේය.
ජනසතු ව්‍යාපාර දිගින් දිගටම පාඩු ලබයි. ඒ හේතුවෙන් රටේ ආර්ථිකය කෙරෙහි ඇති වෙමින් තිබුණු අහිතකර බලපෑම 2022 වර්ෂය වන විට එහි උපරිම මට්ටමට ළඟා වෙමින් පැවතිණි.
පාඩු ලබන ජනසතු ව්‍යාපාර අතරින් රටේ ආර්ථිකයට ඉහළම නරක බලපෑ එල්ල වුණේ ආයතන දෙකකිනි.
1. ලංක ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෙවත් ‘පෙට්‍රෝලියම් එක’
2. ලංකා විදුලිබල මණ්ඩලය හෙවත් ‘සී.ඊ.බී.එක’
මේ ආයතන මෙසේ දිගින් දිගටම පාඩු ලැබීමට හෙවත් ‘ලොස්’ වීමට බලපෑ හේතු දෙකක් හඳුනාගත හැකිය.
1. දිගින් දිගටම තම ‘නිෂ්පාදන’ වලට නිසි ලෙස මිළ නියම නොකිරීම.
2. දුර්වල මූල්‍ය කළමනාකරණය.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 200 සිට රුපියල් 365 දක්වා ශ්‍රී ලංකා රුපියල බාල්දු වීමත්, ලෝක වෙළෙඳපොළේ බලශක්ති මිළ රොකට් වේගයෙන් ඉහළට යාමත් එකවර සිදුවුණු නිසා ඉන්ධන ආනයනය සඳහා වැයවන මිළ සැලකිය යුතු තරමට ඉහළ ගියේය. ඒ කෙසේ වුවත් විදුලි බලය සහ ඛනිජ තෙල් සඳහා දැරීමට සිදුවූ පිරිවැය හෙවත් ‘කොස්ට් එක’ නිරුපණය වන පරිදි සිල්ලර වෙළෙඳ පොළේ මිළ නියම වූයේ නැත. මේ නිසා සී.ඊ.බී.එකට සහ පෙට්‍රෝලියම් එකට සිදුවුණේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇනීමකි. මෙහි ප්‍රතිඵලය වූයේ පිළිවෙළින් ‘ලයිට් කැපිල්ල’ සහ ‘තෙල් පෝලිම්’ ලෙස ජන වහරේ හැඳින්වුණු විදුලිබල සැපයීම සීමා කිරීමත්, ඩීසල්, පෙට්රෝල් සහ භූමිතෙල් හිඟයත්ය.
පාඩු ලබමින් පවතින ප්‍රධාන පෙළේ ජනසතු ව්‍යාපාර වෙත රජය විසින් හඳුන්වා දෙන ලද පළමු මූලික ප්‍රතිසංස්කරණය වූයේ ඉන්ධන සහ විදුලිබලය සිල්ලර වෙළෙඳාමේදී පිරිවැය පාදක හෙවත් ‘කොස්ට් රිෆ්ලෙක්ටිව්’ මිළ ක්‍රමයක් හඳුන්වා දීමයි. මේ ක්‍රමය ජනවහරේදී හඳුනාගන්නේ ‘මිළ සූත්‍රය’ ලෙසයි. ඛනිජ තෙල් නිෂ්පාදිත සඳහා පිරිවැය පාදක කර ගනිමින් එනම් මිළ සූත්‍රය අනුව මිළ නියම කිරීම 2022 මැයි මස සිට ආරම්භ කරන ලදී. මේ ක්‍රමය 2018 වසරේදී මුලින්ම ආරම්භ කරන ලද අතර 2019 දී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමත් සමගම අත් හැර දමන ලද්දකි. මේ ආකාරයටම විදුලිබලය සඳහා වන ගාස්තු ද 2022 අගෝස්තු මාසයේදී සහ 2023 පෙබරවාරි මාසයේදී පිරිවැය පාදක කර ගනිමින් හෙවත් ‘මිළ සූත්‍රයක්’ අනුව ඉහළ දමන ලදී. 2013 වර්ෂයට පසුව විදුලිබල ක්ෂේත්රයේ මෙවැනි මිළ ඉහළ දැමීමක් සිදු කරන ලද්දේ ප්‍රථම වරටය.
පිරිවැය මත පදනම් වූ මිළ සූත්‍රයක් මත මිළ නියම කිරීම ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් 2022 වර්ෂය සඳහා විශාල ලෙස පාඩු ලැබීමට ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු විය. ඒ අනුව 2022 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ පාඩුව රුපියල් බිලියන 262 ක් හෙවත් කෝටි 26200ක් වූ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වූ පාඩුව රුපියල් බිලියන 615 හෙවත් කෝටි 61500ක් විය. මේ තරම් විශාල පාඩුවක් දරාගැනීමට සී.ඊ.බී.එකට සහ පෙට්‍රෝලියම් එකට කෙසේවත් කළ නොහැකි විය. එම නිසා මහා භාණ්ඩාගාරයට සිදු වූයේ එකී ජනසතු ව්‍යාපාර දෙකට සිදුවූ පාඩුව පියැවීම පිණිස වැඩිපුර අරමුදල් ලබා දීමට ය.
ලෝක වෙළෙඳපොළේ බලශක්ති මිළ ඉහළ පහළ යෑම මත සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ පහළ යාම හේතු කොට ගෙන බලශක්තිය ආනයනය කරන ලංකාව වැනි රටකට පිරිවැය පාදක මිළ සූත්‍රයක් ක්‍රමයක් හඳුන්වා දීම තීරණාත්මක බව සැබෑය. එසේ නොවුණහොත් බලශක්තිය අලෙවි කරන ජනසතු වේවා, පෞද්ගලික වේවා ව්‍යාපාරවලට පාඩු සිදුවෙයි. නමුත්, ලෝක වෙළෙඳපොළේ බලශක්ති මිළ මෙන්ම රුපියලට සාපේක්ෂව ඩොලරයද පහළ යෑමට වඩා සිදුවන්නේ ඉහළ යෑම නිසා එවැනි පිරිවැය පාදක මිළ සූත්‍රයක් පාරිභෝගිකයන්හට- විශේෂයෙන්ම දිළිඳු සහ අනතුරාසන්න පාරිභෝගිකයන්ට- අභියෝගයකි. ‘ලෝක වෙළෙඳපොළේ බලශක්ති මිළට අනුව ලංකාවේ ඉන්ධන සහ විදුලිබලය සඳහා මිළ වැඩි කරනවා නම් ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ ඇයිද?’ යන ප්රශ්නය දේශපාලන වේදිකාවල කලකට ඉහත දී නැගුණේ මේ නිසාය.
මෙයට පිළිතුරක් ලෙස මෙතෙක් පැවැති ආණ්ඩු විසින් යොදාගත් පියවරක් වන්නේ සුබසාධන ක්‍රියාමාර්ගයක් ලෙස විදුලිබලය සහ ඉන්ධන වැනි ‘මහජන උපයෝගිතාවන්’ වෙළෙඳපොළේ මිළට වඩා අඩුවෙන් මිළ නියම කර පාරිභෝගිකයන්ට නිකුත් කිරීමයි. මේ හේතුවෙන් ව්‍යාපරවලට සිදුවන පාඩුව පියවන ලද්දේ රජයේ භාණ්ඩාගාරයේ මැදිහත්වීමෙනි.
නමුත් 2022 දී ඇතිවූ ආර්ථික අර්බුදයෙන් අනතුරුව ඉහත කී පහසු සහ ජනප්‍රිය මාවත ඔස්සේ තවදුරටත් ඉදිරියට යාමට නොහැකි විය. ඒ වෙනුවට සිල්ලර වෙළෙඳපොළේ ඉන්ධන සහ විදුලිබලය පිළිබඳ මිළ පිරිවැය මත පදනම්ව පවත්වා ගනිමින්, කිසියම් වාස්තවික ක්‍රමවේදයක් මත දිළිඳු සහ අනතුරාසන්න වශයෙන් හඳුනා ගනු ලැබූ ‘නැති-බැරි’ පිරිස් වෙත සහනයක් සැපයීම පිණිස මුදල් දීමනාවක් ලබා දීමට ආණ්ඩුව ක්‍රියා කළේය. එම වැඩසටහන හඳුන්වා දෙන ලද්දේ ‘අස්වැසුම’ නමිනි. ඉන්ධන සහ විදුලිබලය සඳහා පොදුවේ මිළ අඩුකිරීමක් ලබා දීම මගින් එම ‘සහනය’ සමාජයේ ඇති-හැකි සහ ‘නැති-බැරි’ සියළු දෙනාටම එක හා සමානව ලැබෙයි. නමුත්, නව ක්‍රමය අනුව සියළු දෙනාම පිරිවැය මත පදනම් ‘සත්‍ය’ මිළ ඒ සඳහා ගෙවිය යුතු අතර එයින් ‘නැති-බැරි’ අයට ඇතිවන අහිතකර බලපෑම සීමා කරනු පිණිස ඔවුන් වෙත ‘රජය වෙතින් ‘මුදල් ආධාරයක්’ ලබා දීම සිදු වෙයි. සමාජයේ ‘ඇති-හැකි’ අය විසින් බලශක්තිය අකාර්යක්ෂම ලෙස භාවිතා කිරීම වැළැක්වීමද මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් සිදුවෙයි.
බලශක්ති ක්ෂේත්රයේ ක්‍රියාත්මක වන ජනසතු ව්‍යාපාර වන විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව ලබමින් පැවතුණු පාඩුව පියවා ගැනීමට පිරිවැය පාදක මිළ ක්‍රමය ක්‍රියාත්මක කිරීම පමණක් ප්‍රමාණවත් වූයේ නැත.
උදාහරණයක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෙවත් පෙට්‍රෝලියම් එක මුහුණ පා සිටින තත්ත්වය විමසමු.
ලංකාවේ ඉන්ධන නිෂ්පාදනය නොකෙරෙන බැවින් ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන ආනයනය කරන්නේ විදේශීය සැපයුම්කරුවන්ගෙනි. එහිදී සැපයුම්කරුවන්ට ගෙවනු ලබන්නේ ජාත්‍යන්තර මුදල් ඒකකය වන ඇමරිකානු ඩොලර් යොදාගනිමිනි. එසේ සැපයුම්කරුවන්ට ගෙවීම සඳහා විදේශීය මුදල් වලින් ලබා ගත් ණය විශාල පරිමාණයක් ඛනිජ තෙල් සංස්ථාවේ ශේෂ පත්‍රයෙහි හෙවත් ‘බැලන්ස් ෂීට්’ එකෙහි අඩංගු වෙයි. නමුත්, ඛනිජ තෙල් සංස්ථාව එසේ ආනයනය කරන ඉන්ධන අලෙවි කරන්නේ දේශීය වෙළෙඳපොළ තුළය. එබැවින් අලෙවියෙන් ලැබෙන්නේ ශ්‍රී ලංකා රුපියල්ය. ඩොලර් වලින් වියදම් කොට රුපියල් වලින් ආදායම් ලැබීමේ මෙම නොගැලපීම හේතුවෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වන සෑම විටෙකම ඛනිජ තෙල් සංස්ථාවට විශාල පාඩුවක් සිදුවෙයි.
මෙම ගැටලුව ආමන්ත්‍රණය කර එම ජනසතු ව්‍යාපාර විදේශ ණය බරින් නිදහස් කිරීම සඳහා ආණ්ඩුව කළේ ඛනිජ තෙල් සංස්ථාවේ සහ සෑහෙන දුරකට විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්රයන්හි පවතින විදේශ මුදලින් ලබා ගෙන ඇති ණය මුදල් ආණ්ඩුවේ ශේෂ පත්‍රය යටතට ගැනීමය. මෙසේ විදේශ මුදල් වලින් ලබා ගෙන ඇති ණය වලින් ඔවුන් නිදහස් කර, ඒ ණයට රජය කර ගැසීම වනාහි මූල්‍යමය වශයෙන් වැදගත්වන ජනසතු ව්‍යාපාර වන ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය වැනි ආයතන වල ශේෂ පත්රයන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ගනු ලැබූ විශාල අභ්‍යාසයක කොටසකි.
මෙම ක්‍රියාවලිය තුළදී එක් ජනසතු ව්‍යාපාරයක් සහ තවත් ජනසතු ව්‍යාපාරයක් අතර පවත්නා ‘හරස් වගකීම්’ පිළිබඳ ප්‍රශ්නයද ආමන්ත්‍රණය කිරීමට ආණ්ඩුවට සිදු විය.
‘හරස් වගකීම්’ තේරුම් කරගැනීම සඳහා උදාහරණයක් සලකා බලමු. විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය යන ව්‍යවසායයන් දෙකම තම ඉන්ධන අවශ්‍යතාවයන් සපයා ගන්නා ලද්දේ ඛනිජ තෙල් සංස්ථාව වෙතිනි. එසේ ලබා ගන්නා ඉන්ධන සඳහා සඳහා වන වියදම් පියවීම ප්‍රමාද වීම නිසා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය යන ව්‍යාපාර දෙකම ඛනිජ තෙල් සංස්ථාවට විශාල ලෙස ණය ගැතියන් ව සිටිති. ණය හිමියා වන ඛනිජ තෙල් සංස්ථාව ද අරමුදල් සපයා ගන්නේ රාජ්‍ය බැංකු වෙතින් විශාල පොලියකට ණය ගැනීමෙනි. ජනසතු ව්‍යාපාර මෙම හරස් වගකීම් වලින් නිදහස් කිරීම සඳහා ද පසුගිය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කොට තිබිණි.
මෙම ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගතකරණ අභ්‍යාසය හේතුවෙන් මූල්‍ය ක්ෂේත්රයට සහ බැංකු ක්ෂේත්රයට ඇති විය හැකි අවදානම් අවම කරමින් මෙකී ප්‍රධාන පෙළේ ජනසතු ව්‍යාපාරවල මූල්‍ය තත්ත්වයන් සැලකිය යුතු ලෙස නිරවුල් කෙරෙනු ඇත. කෙසේ වුවද, වඩාත් වැදගත් වන්නේ අනාගතයේදී නැවත වරක් ශේෂ පත්රයන්හි මෙවැනි නොගැලපීම් ඇති නොවන ලෙස දීර්ඝ කාලීන විසඳුමක් ලබ දීමය.
විදුලිබල මණ්ඩලයයේ සහ ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍යමය තත්ත්වය ස්ථාවරවීමත් සමග ම මී ළඟ අවශ්‍යතාවය වන්නේ මෙම ආයතන වල ඵලදායීතාවය සහ තරගකාරිත්වය ඉහළ දැමීමයි. එය කළ හැක්කේ වෙළෙඳපොළේ විශාල තරගයක් ඇති කිරීම මගිනි. ඛනිජ තෙල් සම්බන්ධව සිල්ලර වෙළෙඳ පොළෙහි තරගයකාරිත්වයක් හඳුන්වා දීම සඳහා මේ වන විටත් පියවර ගණාවක් ගෙන ඇත. මේ අතරින් පළමු නව තරගකරු ලෙස ‘සිනෝපෙක්’ වානිජ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ඉන් පසු
ආර්. එම්. පාර්ක්ස්-ෂෙල් සමාගමද
සිල්ලර වෙළෙඳපොළේ තරගයට එක් වී මෙහෙයුම් ආරම්භ කරන ලදී.
ඔස්ට්‍රේලියානු යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම ද වෙළෙඳපොල ට පැමිණියද පසුව එයින් ඉවත් විය.
වෙළෙඳපොළේ ප්‍රබල තරගයක් ඇති වන විට ඛනිජ තෙල් සිල්ලර අලෙවි අවකාශයෙහි අදාල තරගකරුවෙකු ලෙස තම අදාලත්වය පවත්වා ගැනීම සඳහා තම මෙහෙයුම් විධිමත් කරගෙන, වියදම් අඩු කරගෙන, කාර්යක්ෂමව ක්‍රියාකිරීමට ඛනිජ තෙල් සංස්ථාවට බල කෙරෙනු ඇත. එහි ප්‍රතිඵලය වනු ඇත්තේ පාරිභෝගිකයන්ට වඩා හොඳ මිළකට ඉහළ සේවාවක් ලැබීමට සැලසීමයි. ලොව පුරා ඛනිජ තෙල් සිල්ලර වෙළෙඳාම තරගකරුවන් කිහිප දෙනෙකු අතර සිදුවන තරගකාරී ව්‍යාපාරයක් වන අතර ආණ්ඩු එම වෙළෙඳාමෙන් ඉවත්ව පසුබිමට ගොස් ඇත.
ඒ සමඟම විදුලිබල මණ්ඩලයයේ මෙහෙයුම් ‘කොටස්වලට වෙන් කිරීමට’ හෙවත් අන්බන්ඩ්ල් කිරීමටද පසුගිය ආණ්ඩුව විසින් කටයුතු ආරම්භ කරන ලදී. මේ කටයුත්තේ වැදගත් භූමිකාවක් ආසියානු සංවර්ධන බැංකුව විසින් ද සිදු කරයි. මෙමගින්, ආයතනය තුළ තරගයක් ඇති කිරීම මගින් විදුලිබල ජනනය සහ බෙදාහැරීම යන ක්‍රියාවලීන්හි ඉහළ මට්ටමේ මෙහෙයුම් සහ මූල්‍යමය ස්වාධීනත්වයක් ලබා ගැනීමට ඉඩ සලසයි.
නිදසුනක් ලෙස මෙහිදී තොග සැපයුම් ගණු දෙනු ගිණුම් (Bulk Supply Transaction Accounts- BSTA) මගින් විනිවිදභාවය දියුණු කිරීම හේතුවෙන් සමස්තයක් ලෙස පාරිභෝගිකයන්ට හොඳ මිළක් සහ යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වෙයි. තවත් උදාහරණයක් දක්වතොත් දැනට ක්‍රියාත්මක වන මනු කියවන්නන් නිවෙස් වෙත ගොස් මනු කියවන යල්පැන ගිය ක්‍රමය ස්වයංක්‍රීයකරණය කිරීම සැලකිය හැකිය. එවන් වෙනසක් මගින් වඩා හොඳින් පුරෝකථනය කළ හැකි පරිදි නිසි කලට වේලාවට සිදුකෙරෙන මනු කියැවීම් මගින් පාරිභෝගිකයන්ට සහනයක් ලැබෙන අතර ආයතනයට තම ශ්‍රම බලකායේ ඵලදායීතාවය ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබේ.
උපුටා ගැනීම සුදර්ශන ගුණවර්ධන ෆේස් බුක් පිටුවෙනි.