ආසියාවේ නැවත කොරෝනා ප්‍රභේදයක්- ලංකාවටත් දැඩි අවදානමක්!

නැවත වසංගත රෝග බෝවීමේ අවධානමක් ඉස්මතු වී ඇති අතර ඒ අනුව කොවිඩ්, ඩෙංගු හා චිකන්ගුන්යා උත්සන්න වී ඇත. විශේෂයෙන් මේ වන විට ආසියාවට නව කොරෝනා ප්‍රබේදයක් පැමිණ තිබේ.

ඒ අනුව චීනය, හොංකොං, තායිලන්තය, සිංගප්පූරුව සහ අසල්වැසි ඉන්දියාව ආදි ආසියානු රටවල කොවිඩ් 19′ වෛරසයේ නව ප්‍රභේදයක් ව්‍යාප්තවීමත් සමඟ, යළිත් වරක් කොවිඩ් 19′ සම්බන්ධයෙන් ලොව පුරා භීතියක් හටගෙන ඇත.

මෙම නව කොවිඩ් 19′ ප්‍රභේදය ජේ.එන්.1′ යනුවෙන් නම් කර ඇති අතර එය ඔමික්‍රෝන් බී.ඒ. 2.8.6′ නමැති කොවිඩ් 19′ වෛරසයේ දිගුවක් බව ද වාර්තා වේ. ජේ.එන් කොවිඩ් 19 නිර්මාණය වී ඇත්තේ, එකිනෙකට වෙනස් විකෘති 30ක් මුසු වීමෙනි. මේ වන විට මෙම නව ප්‍රභේදය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය ද අවධානය යොමු කර ඇති බව වාර්තා වේ. මෙම ප්‍රභේදය ඉතා වේගයෙන් ආසාදනය වන බවත්, ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන්ට මෙය මාරක බවත් වෛද්‍යවරු පවසති.

ඒ අනුව තායිලන්තයෙන් ආසාදිතයන් 21,000ට අධික ආසාදිතයන් වාර්තා වී ඇති අතර සිංගප්පුරුවෙන් ආසාදිතයන් 11,000ක් ද අසල්වැසි ඉන්දියාවෙන් ආසාදිතයන් 257 දෙනෙකු හමු වී ඇති අතර මරණ 2ක් ද වාර්තා වේ.

ඒ අනුව ආසියාව තුළ නව කොරෝනා ප්‍රබේදයක් පැතිරෙන අවස්ථාවක කොළඹ දිස්ත්‍රික්කය තුළ පසුගිය වසරට සාපේක්ෂව මැයි මාසය තුළ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග වල යම් ඉහළ යාමක් දක්නට ලැබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පසුගියදා (19) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර එහිදී ඩෙංගු, චිකන්ගුන්‍යා හා ක්ෂය රෝගය යන රෝග බෝ වීම සම්බන්ධයෙන් සාකාච්ඡා විණි.

ඩෙංගු රෝගය කොල්ලුපිටිය, කුරුඳුවත්ත, තිඹිරිගස්යාය, කිරුළ, නාරාහේන්පිට, බම්බලපිටිය, හැව්ලොක් ටවුන් මිලාගිරිය, වැල්ලවත්ත උතුර සහ පාමංකඩ බටහිර යන ප්‍රදේශ වල ව්‍යාප්ත වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බවත්  චිකුන්ගුන්යා රෝගීන් ඔවුන්ගේ තත්වය සෞඛ්‍ය අංශ වලට අනාවරණය නොකිරීමෙන් රෝගීන් හඳුනා ගැනීමේ අපහසුවක් පවතින බවත් සඳහන් විණි.

2025 වසරේ මැයි මාසයේ පමණක් ක්ෂය රෝගීන් 405 ක් වාර්තා වී තිබෙනවා. ගොකටුව, දෙහිවල, නුගේගොඩ, රත්මලාන සහ කොළොන්නාව යන ප්‍රදේශ වල එහි ඉහළ වර්ධනයක් දක්නට ලැබෙන බවත් ලාදුරු රෝගීන් මේ වන විට 43 ක් වාර්තා වී ඇති අතර එම රෝගය එගොඩඋයන, මොරටුව, කොළොන්නාව, පිළියන්දල සහ කඩුවෙල යන ප්‍රදේශ වල බහුල වශයෙන් වාර්තා වෙනවා.

මෙම තත්ත්ව පාලනය කරගැනීම සඳහා මේ වන විටත් මහජනයා දැනුවත් කිරීමේ ව්‍යාපෘති සහ වැඩසටහන් පවත්වනවා. ඒ අනුව සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි මැයි මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර ඇති බවත් කමිටුවට දැන්වීය.

 

Social Sharing
අවකාශය පුවත්