2019 වසරේ අප්‍රේල් 21 වන දා පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරත් සමඟ නැවත වරක් මෙරට ජාතිවාදයේ, ආගමික අන්තවාදයේ හා ප්‍රචණ්ඩත්වයේ ගිනි දැල් ඇවිලිණි.
එම කළු පාස්කුව අවසන් වී සති කිහිපයකට පසු එනම් 2019 මැයි 23 වන දින දිවයින පුවත්පත තවත් ජාතිවාදය අවුලනසුලු වාර්තාවක් ප්‍රකාශයට පත් කළේය. එහි සඳහන් වූයේ කුරුණෑගල රෝහලේ මුස්ලිම් ශෛල්‍ය වෛද්‍යවරයකු වන වෛද්‍ය ශාෆි සිංහල බෞද්ධ කාන්තාවන් දහස් ගණනක් රහසිගතව වන්ධ්‍යාකරණය කර ඇති බවයි. මේ පිළිබඳව සමාජයේ මෙන්ම දේශපාලන වේදිකාවේ ද කතිකාවන් ඇති වූ අතර විශේෂයෙන් දේශපාලනය සමග සම්බන්ධ වෛද්‍ය වෘත්තිකයෝ හා විද්‍යාර්ථීහු ඒ පිළිබඳ ප්‍රකෝපකාරී අදහස් දැක්වූහ.
ඒ අනුව මව්වරුන් 4,000කට පමණ වඳ සැත්කම් සිදුකළැයි චෝදනාව එල්ල වූ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් ශාෆි මහතාව 2019 මැයි මස 24 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කාලයක් තිස්සේ රඳවා තබාගන්නා ලද ඔහුව අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසීය දැනුම් දී ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වෛද්‍ය ශාෆි රඳවා තබාගෙන සිටිය ද වෛද්‍යවරයා එම පනත යටතේ වරදක් සිදුකර ඇතැයි අනාවරණය නොවන බවයි.
තමුන් වෛද්‍යවරයා අතින් වන්ධ්‍යභාවයට ලක් වුණා යැයි කියූ මව්වරුන්ගේ පැමිණිලි හා සාක්ෂි රැසක් ඉදිරිපත් වූවද දීර්ඝ පරීක්ෂණ සමඟ එම සාක්ෂි පරස්පර විය.
ඒ අනුව වසර පහමාරක් වැනි දීර්ඝ කාලයට පසු, ඔහුට එරෙහිව එල්ල වී තිබු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටත්, ඔහුට එරෙහි නඩුව නිෂ්ප්‍රභා කිරීමටත් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා 2024 ඔක්තෝම්බර් 06 වැනිදා නියෝග කළේය.
ඔහු වසර පහකට අධික කාලයකට පසු සියලු චෝදනාවලින් නිදහස් වුවද ඔහුට වෛද්‍යවරයකු වශයෙන් ඔහුගේ වෘත්තීය ජීවිතයට ඇති වූ කැලැළ් පමණක් නොව ඔහුගේ පවුලට එම කාලවකවානුවේ මුහුණ දීමට සිදු වූ හිරිහැර, තර්ජනයන් හා විවිධ කොන් කිරීම් අතිමහත් ය.
ඉකුත් අප්‍රේල් මස 04 වැනිදා මාධ්‍යවේදී නිමල් අබේසිංහයන් විසින් මෙම වෛද්‍යවරයා මුහුණ දුන් අමිහිරී අත්දැකීම පාදක කොටගෙන ‘ජාතිවාදය ඇවිස්සූ ගර්භාෂ යුද්ධය’ නැමැති කෘතිය දොරට වැඩූ අතර එම අවස්ථාවට එක් වූ වෛද්‍යවරයා ඔහු ඇතුළු සිය බිරිඳ හා දූ දරුවන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම් බෙදා ගත්තේය.
ඔහු වරෙක පවසා සිටියේ ‘වඳ දොස්තරගේ දුව කියා මගේ දුවව කොන් කළා’ යනුවෙනි. මෙවැනි වදනක් පියෙකු හා නිර්දෝෂි වෛද්‍යවරයකු ලෙස ඇසීමට සිදුවීම කොතරම් අභාග්‍ය සම්පන්න සිදු වීමක් ද? එම කුඩා දරුවන් මුහුණ දුන් මානසික පීඩාවන් සුළුපටු නොවේ.
අද වන විට සත්‍ය එළි වී ඇත එහෙත් එය වෛද්‍ය ශාෆි මත එල්ල වූ අසත්‍ය චෝදනාව සමාජයේ මුල් බැසගත් ආකාරයටම ඔහුගේ නිර්දෝෂිභාවය සමාජගත වූවාද යන්න සැකයකි. වෛද්‍ය ශාෆි අපරාධකරුවෙකු නොවේ. ඔහු වෛරී දේශපාලන ව්‍යාපෘතියක බිල්ලක් විය. ජාතිවාදය, ආගමික වෛරය සහ දේශපාලන උපාමාරුවල ගොදුරක් විය.
ශාෆිගේ කතාව අයුක්තිය ගැන පමණක් නොවේ. එය මාධ්‍යයේ බලය, වාර්ගික භීෂණයේ පිරිවැය සහ බිඳුණු ලෝකයක සත්‍යය ආරක්ෂා කිරීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳ අනතුරු ඇඟවීමකි.
“යුක්තිය පමා වීම යුක්තිය අහිමි කිරීමකැයි කියමනක් ඇත. එපමණක් නොව, අයුක්තිය නිසා ඇතැමෙකුට සිදුවන හානියේ කැළැල් සදාතනිකය.”