ත්‍රස්ත නායකයන්ට පවා පාවිච්චි නොකළ නීතියක් නඳුන් චින්තක වෙනුවෙන් පාවිච්චි කරලා! – නීතීඥවරු කියති

Nadun Chinthaka PTA

“හරක් කටා” ලෙස පොලිසිය විසින් හඳුන්වනු ලබන නඳුන් චින්තක වික්‍රමරත්න, මේ වනවිට මාස 26 තිස්සේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන තිබුණද මෙතෙක් ඔහුට විරුද්ධව ගොනු කර තිබෙන්නේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයෙන් පළා යාමට තැත් කිරීම පිළිබඳ නඩුවක් පමණි. එය ද විභාග වන්නේ නැත.

ඔහු 2023 මාර්තු 7 වනදා අත්අඩංගුවට ගෙන ඇති අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15(1)(අ) ව්‍යවස්ථාව යටතේ නඩු පැවරීමකින් තොරව දිගුකාලීන රඳවා තබාගෙන ඇත.

මෙම වගන්තිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හඳුන්වා දුන් දින සිට මෙ දක්වා කිසිදු පුද්ගලයෙකුට එරෙහිව භාවිතා කර නැත.

එම වගන්තිය අනුව, ජාතික ආරක්ෂාව හෝ මහජන සාමය පිළිබඳ ප්‍රශ්නයක් වේ නම් නඩු විභාගය අවසන් වනතුරු  පුද්ගලයකු රඳවා තබාගත හැකිය.

නදුන් චින්තක මෙලෙස රඳවා තබා ගන්නේ ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාෂයේ පාලනයේ පවතින තංගල්ල පැරණි බන්ධනාගාරයේය- එම මුළු බන්ධනාගාරයටම සිටින්නේ ඔහු පමණි- STF නිලධාරීන් 24ක් පොලිස් නිලධාරීන් 63ක් ඔහුගේ ආරක්ෂාවට යොදා ඇත.

මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය විශාල වශයෙන් මෙරටට එවූ බව, මනුෂ්‍ය ඝාතන විශාල ප්‍රමාණයක් සිදු කළ බව සහ ඔහුට අයත් ගිනි අවි සම්බන්ධයෙන් මාධ්‍ය මගින් නිතර ප්‍රචාරය වුව ද මෙතෙක් ඒ සම්බන්ධ කිසිදු චෝදනාවක් ගොනු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වී තිබේ.

තමන් මෙසේ අත්අඩංගුවේ තබාගෙන සිටින්නේ හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටින ලද අල්ලසක් නොදුන් නිසා බව පසුගියදා පැන යාම සම්බන්ධ නඩුව වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කර ආපසු රැගෙන යමින් සිටියදී නඳුන් චින්තක මාධ්‍යවලට පැවසීය.

කපිල වෛද්‍යරත්න, උදුල් ප්‍රේමරත්න, සංජය ආරියදාස සහ අකිල ජයසුන්දර යන නීතීඥවරු නඳුන් චින්තක වෙනුවෙන් පෙනී සිටියහ.

Social Sharing
අවකාශය නවතම