දේශීය වෙසක් පහනක් මිලදීගෙන ජීවනෝපායකට උදව් කරමු!

ශ්‍රී ලංකාවේ බෞද්ධ බැතිමතුන් විසින් සමරන එක් විශේෂ දිනයක් වන්නේ වෙසක් උත්සවයයි. මෙම වෙසක් උත්සවය සැමරීම ඈත ඉතිහාසයේ සිටම සිදුකරන්නක් වන අතර බුදුන්ගේ තෙමඟුල සිහිපත් කරමින් සිදු කරන ආමිස සහ ප්‍රතිපත්ති පූජා අතර කුඩා වැඩිහිටි ඕනෑම අයෙකුට සිහියට නැගෙන්නේ වෙසක් පහන් කූඩූ, බකට් හා මැටි පහන්‍ ආදී වෙසක් සැරිසිලි ය.

මෙම වෙසක් පහන් කූඩූ, බකට් සහ මැටි පහන් නිර්මාණය කිරීම සාම්ප්‍රදායික ශීල්පීය කලාවක් වන අතර මෙය සිය ජීවිකාව කරගත් බොහෝ පිරිසක් අප රටේ ජීවත් වෙති. මෙම සාම්ප්‍රදායික වෙසක් කුඩූ නිර්මාණකරුවන් වෙසක් කූඩූ නිර්මාණයට බට පතුරු, සව් කඩදාසි භාවිතා කළ අතර පෙරදී මෙම පහන් කූඩූ දැල්වීමට භාවිතා කළේ ඉටිපන්දම් ය. මේ සමඟම කුඹල්කරුවන් ද මැටි පහන් නිර්මාණය කළ අතර වෙසක් උත්සවය සමඟ බොහෝමයක් ජන කොටස් හට සිය ආදායම් මාර්ග සපුරා ගැනීමට පිටුවහළක් විය. එහෙත් මෑත වසරවල දී මෙම සාම්ප්‍රදායික ශිල්පය අභියෝගයන් රැසකට මුහුණ දී ඇත.

මීට ප්‍රධානම හේතුව වී ඇත්තේ මෑත වසරවලදී, චීනයෙන් ආනයනය කරනු ලබන වෙසක් උත්සව සැරසිලිය. චීනය අද වන විට උත්සව සැරසිලිවල දැවැත්තම නිෂ්පාදකයා වන අතර චීනයේ ෂේජියැං පළාතේ යිවූ නගරය එවැනි උත්සව සැරසිලි නිර්මාණය කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් වී ඇත. එමගින් පෙනී යන්නේ මෙම සැරසිලි නිර්මාණ ඔවුන්ගේ දැවැන්ත අපනයන ආදායම් මාර්ගයක් වන බවයි.

මෙම වෙසක් ලාම්පු, පහන් කූඩු සහ LED බල්බ් වැල් ඇතුළු විවිධ සැරසිලි ශ්‍රී ලංකා වෙළඳපොළ තුළ ඉතා වේගයෙන් ග්‍රහනයට ලක් වී ඇති අතර මෙම නිර්මාණ සාම්ප්‍රදායික වෙසක් කූඩූ වලට වඩා දැඩි ජනප්‍රියතාවයක් උසුළයි. පාර අයිනේ කුඩා කඩයක සිට සුපිරි වෙළඳසැල්වල තෙක් මෙම ආනයනික වෙසක් පහන් කූඩූ දැකිය හැක. විශේෂයෙන් මෙම වෙසක් කාලයේ පිටකොටුව පුරාවටම මෙම චීන වෙසක් කුඩූ දැක ගැනීමට හැක. බොහෝ විට මෙම ආනයනික නිෂ්පාදන අලංකාරයි, දීප්තිමත්, කල්පැවැත්මයි හා ලාභදායිකයි. එමෙන්ම මෙම වෙසක් සැරසිලි සෑම වසරකම වෙනස් වන අතර අලුත් අලංකාර මෝස්තරයන් ඉතා ඉක්මනින් දේශීය වෙළඳපළට පැමිණේ. මේ නිසාවෙන්ම මෙරට බොහෝමයක් කාර්යබහුල පිරිස් මෙම චීනයෙන් ආනයනය කරන වෙසක් පහන් කූඩූ මිලට ගැනීමට වැඩි රුචියක් දක්වයි. එපමණක්ම නොව සාම්ප්‍රදායික වෙසක් කූඩූවලට වඩා මෙම චීනයෙන් ආනායනය කරනු ලබන ප්ලාස්ටික් වෙසක් කූඩූවල පවතින්නා වූ කල්පැවැත්ම මත ද මෙම කූඩූ මිලට ගැනීමට වැඩී පෙළඹවීමක් ඇත. එහෙත් මෙම අලංකාර මහා පරිමාණ ආනයන වෙසක් කුඩූ පිටුපස පවතින්නේ නිහඬ ඛේදවාචකයකි. මන්ද ඒ හරහා අප රටේ බොහෝ පිරිසකගේ ආදායම් සහ හැකියාවන් අහිමි වීමක් මේ හරහා සිදුවේ.

සව් කොළ යොදා නිෂ්පාදනය කරන ලද වෙසක් කූඩූ වෙනුවට කල්පවතින අමුද්‍රව්‍ය මඟින් සාදන ලද වෙසක් කූඩූ පමනක්ම නොව මැටි පහන් වෙනුවට ප්ලාස්ටික් LED පහන් වර්තමානයේ දැක ගැනීමට හැක. මේ ආදේශක තුළින්ම කොපමණ ජන කොටස් හට ආදායම් අහිමි වන්නේ ද යන්න තේරුම් ගත හැක.


අම්බලන්ගොඩ ඇතැම් ගම්මානවල පිරිස් මෙම සාම්ප්‍රදායික ශීල්පීය කලාව සමඟ සිය ජීවනෝපාය කර ගත් අතර ඔවුන්ගේ නිර්මාණ සඳහා දැඩි ප්‍රචලිතතාවයක් අතීතයේ තිබුණි. එහෙත් වර්තමාන චීන නිර්මාණයන් හමුවේ සාම්ප්‍රදායික ශිල්පීය කලාව හා ඒ මත රැඳුණු අපේම මිනිසුන්ගේ ආදායම් මාර්ග අහිමි වී ගොස් ඇත. බොහෝ විට පහන්තිර සැකසීමේ සිට විශාල වෙසක් කූඩූ නිර්මාණ කලාව තුළින් සිය නිවසේ ජීවීකාවට සහය වූ කාන්තාවන්, තරුණයන්හට වර්තමානයේ ආදායම් අහිමි වී ගොස් ඇත.
ආනයනය කරන ලද LED වෙසක් කූඩූ, බකට් හා පහන් මිලදී ගැනීම ඉතා පහසුය. ඒවා දැල්වීම තුළින් විශිෂ්ට දීප්තියක් ලබා දුන්නත් එම ආලෝකය මෙන්ම, අපගේම ශිල්පියන්ගේ ජීවිත ද දැල්විය යුතුය. LED පහනක් මගින් චීනයේ කර්මාන්ත ශාලාවක් වැඩි ලාභ උපයනවා පමණක්ම නොව මෙලෙසින් ආනායන කූඩූ සඳහා වසරකට විශාල විදේශ මුදල් ප්‍රමාණයක් වැය කිරීමට ද සිදුවේ. එහෙත් දේශීයව නිපදවන ලද පහන් කූඩුවක් මගින් අපේම පවුල්වලට ආලෝකයක්, ආදායමක්, සහ ගෞරවයක් අත් වේ.
ඔබ අප මිලදී ගන්නා එක් සාම්ප්‍රදායික වෙසක් කූඩූවක් සමඟ දුප්පත් පවුලකට ආදායම් මාර්ගයක් වනවා පමණක්ම නොව එය කුඩා දරුවකුගේ කුස ගින්න නිවීමක් හෝ අධ්‍යාපනය ලබන සිසුවෙකුට අත්වැලැක් වනවා විය හැක. එබැවින් දේශීය සකසන ලද වෙසක් පහන් කූඩූ, වෙසක් සැරසිලි මිලට ගෙන රටේ සම්ප්‍රදායික කලාවන් දිරිගන්වන අපේම මිනිසුන්ගේ ජීවිතයට අත්වැලක් වීම අප සැමගේ යුතුකමකි.

Social Sharing
අවකාශය විශේෂාංග