සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි කනස්සල්ල පළ කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් ‘1994 අංක 22 දරන වධහිංසා සහ අනෙකුත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි හෝ දඬුවම්වලට එරෙහි සම්මුති පනතේ’ විධිවිධාන සහ දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ විධිවිධානවල අදාළත්වය පිළිබඳව ද අවධානය යොමු කරයි. සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ:
අමානුෂික හා ම්ලේච්ඡ නවක වධ ක්‍රියාවකට සම්බන්ධ බවට වාර්තා වන, සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි කනස්සල්ල පළ කර සිටියි.
ඕනෑම අධ්‍යාපන ආයතනයක ඕනෑම සිසුවෙකුට එරෙහිව සිදු කරන ඕනෑම ආකාරයක නවක වධය, හිරිහැර කිරීම හෝ ප්‍රචණ්ඩත්වය ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස හෙළා දකින අතර එය නීතිය පමණක් නොව මූලික මානව වටිනාකම් සහ චර්යාවන් ද උල්ලංඝනය කිරීමකි.
මෑත කාලීනව ඇති වූ නවක වධ සිදුවීම් කිහිපයක් අදාළ ආයතනයේ රාජකාරි වගකීම් පැහැර හැරීම නිසා සිදුවී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශ්වාසය වන අතර, අදාළ බලධාරීන් ඒ සඳහා වගකිව යුතුය.
මෙම ආයතනවල නවක වධයේ සහ ප්‍රචණ්ඩත්වයේ වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් විසින් ‘1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වධය සහ අනෙකුත් ආකාරයේ ප්‍රචණ්ඩත්වය තහනම් කිරීමේ පනතේ’ විධිවිධාන ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටී. මේ සම්බන්ධයෙන් ‘1994 අංක 22 දරන වධහිංසා සහ අනෙකුත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකිලි හෝ දඬුවම්වලට එරෙහි සම්මුති පනතේ’ විධිවිධාන සහ දණ්ඩ නීති සංග්‍රහයේ අදාළ විධිවිධානවල අදාළත්වය පිළිබඳව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධානය යොමු වී තිබේ.
නීති විරෝධී නවක වධය වැළැක්වීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, නවක වධය කිසි සේත් නොඉවසීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලෙසත්, විශ්වවිද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල සියලුම වගකිවයුතු බලධාරීන්ගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටී.
සමනලවැව පොලිසිය විසින් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමීපව නිරීක්ෂණය කරනු ලබන අතර නීතියේ ආධිපත්‍යය සහ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා අවශ්‍ය සියලු නීතිමය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. අදාළ නීතිය වඩා හොඳින් බලාත්මක කිරීම සහ ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා අධිකරණයේ මැදිහත්වීමක් ඉල්ලා සිටීමට ද නීතිඥ සංගමය සලකා බලමින් සිටියි.