කවුරුත් දන්නා පරිදි අද අප ඉදිරියේ පවතින්නේ බරපතළ අභියෝගාත්මක තත්ත්වයකි. ඇමෙරිකාව පනවා ඇති තීරුබදු මගින් ලෝකය විශාල ආර්ථික අවිනිශ්චිත තත්ත්වයකට සහ අර්බුදයකට පත්කොට තිබේ. එහි ප්‍රතිඵල තවමත් සිතාගැනීමට පවා නොහැකි ය. ඒ අතර ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඒ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ද විශාල අවිනිශ්චිත බවක් පවතියි. ආර්ථිකයේ ප්‍රගතිය ඇනහිට ඇති බවක් පෙනෙන්නට තිබේ. අපට සිදුවී තිබෙන්නේ අභ්‍යන්තරයේ දුර්වල තත්ත්වයක් දැනටමත් පවතින අතර ඉදිරියේ ලෝක පරිමාණයෙන් එන ආර්ථික අර්බුදයකට සුදානම් වීමට ය. එසේ වුවත් මෙම තත්ත්වය පිළිබඳව ආණ්ඩුවට පැහැදිලි අවබෝධයක් හෝ සුදානමක් ඇති බවක් ද පෙනෙන්නට නැත.
මේ මොහොතේ අපට යම් අස්වැසිල්ලක් වී තිබෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වූ වැඩ සටහන නොකඩවා ක්‍රියාත්මක වෙමින් පැවතීම යි. එහි හතරවන වාරිකය ලබාදීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟත්වයක් ඇතිකර ගත් බව පසුගියදා වාර්තා වී ය. එය යහපත් තත්ත්වයකි.
එහි ප්‍රධාන කොන්දේසියක් වන්නේ පිරිවැය පියවා ගත හැකි ආකාරයෙන් විදුලි ගාස්තු පවත්වා ගැනීම යි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අවසන් කිරීම සහ වෙනත් ආර්ථික ප්රතිසන්කරණ ගැන ද එහි සඳහන් ය.
විදුලි ගාස්තු
මුල්‍ය අරමුදල කියන පරිදි අපගේ විදුලි ගාස්තු පිරිවැය පියවා ගත හැකි ලෙස ගලපා නොමැති නම් එයින් පෙන්නුම් කරන්නේ ඒ සඳහා අප ගොඩනගා ඇති යාන්ත්‍රණයේ වරදකි. කලින් පැවති ලෙස විදුලි ගාස්තු තීරණය කිරීම විදුලිබල මණ්ඩලයට හෝ ආණ්ඩුවේ දේශපාලඥයින්ට හෝ නොදී ස්වාධින කොමිසමකට භාරදුන්නේ වෘත්තියමය ලෙස එම කටයුත්ත කරන්නට ය. නමුත් දැන් පෙනෙන්නේ එය එලෙස සිදු වී නොමැති බව යි. එයට දේශපාලන හෝ වෙනත් බලපෑම් හේතු වුවා විය හැකි ය. නැතහොත් කොමිසම තම වගකීම හරියාකාරව තේරුම් ගෙන නැත. ඔවුන්ගේ වගකීම පාරිභෝගිකයින්ට අඩු මිලට විදුලිය ලබාදීම පමණක් නොවේ. විදුලි බල මණ්ඩලය ඇතුළු විදුලි සැපයුමට සම්බන්ධ ආයතනවල මුල්‍ය ස්ථාවරබව පවත්වාගැනීමේ වගකීම ද පනත මගින් ම ඔවුනට පවරා ඇත. මුල්‍ය අරමුදල කියන දේ සත්‍ය නම් එහි තේරුම මහජන උපයෝගිතා කොමිසම තම වගකීම තේරුම්ගෙන හා/හෝ ඉටුකොට නැති බව යි. එය නිවැරදි කළ යුතුව ඇත.
එමෙන් ම ආර්ථික ප්රතිසන්කරණ ඉදිරියට ගෙන යා යුතු බව ද මුල්‍ය අරමුදල අවධාරණය කොට තිබේ. එහි දී ආණ්ඩුව තවමත් මන්දගාමී බව පෙනෙන්නට තිබේ.
ලෝක අර්බුදය
එම කරුණු එසේ තිබිය දී මුල්‍ය අරමුදල අවධාරණය කොට ඇති කාරණයක් වන්නේ ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ තීරුබදු නියම කිරීමත් සමග ලෝකයේ ඇතිවී තිබෙන අවිනිශ්චිත තත්ත්වය අප රටට ද අහිතකර ලෙස බල පෑමට ඉඩ තිබෙන බව යි. දැන් ලෝකයේ ම ආර්ථික පසුබැස්මක් ඇතිවීමේ අවදානම පවතියි. මේ නිසා සියලු රටවල ආර්ථික වර්ධනය අඩාල වන බව පිළිගෙන ඇතත් ඒ පිළිබඳව නිවැරදි තක්සේරු කිරීමක් පවා කළ නොහැකි තත්ත්වයක් පවතියි.
මෙම අර්බුදයේ බරපතළකම ආණ්ඩුව තේරුම් ගෙන හෝ එයට සුදානම් වන බවක් හෝ දැනට පෙනෙන්නට නැත. ඇමෙරිකාව සමග සම්මුතියකට ගොස් තීරුබදු අඩුකර ගැනීම ගැන පමණක් ආණ්ඩුව අවදානය යොමුකර ඇති බව පෙනෙන්නට තිබෙන තත්ත්වය යි.
නමුත් තත්ත්වය ඊට වඩා බරපතළ ය. ලෝක ආර්ථිකයේ පරිහානියක් ඇති වුවහොත් ජනයාගේ මිල දී ගැනීමේ ශක්තිය අඩු වීමත් සමග භාණ්ඩ සඳහා ඉල්ලුම අඩු වනු ඇත. එවිට කර්මාන්ත කඩා වැටී ඇතිවන ආර්ථික අර්බුදය තුළ රැකියා අහිමි වීම ද බරපතළ ප්‍රශ්නයක් වනු ඇත. එවිට ආර්ථිකය විෂම චක්‍රයකට හසුවෙමින් කඩා වැටීම පවා සිදුවිය හැකි ය. අප අද සිටින්නේ එබඳු අතිශය අවදානම් තත්ත්වයක ය.
ඇමෙරිකානු තීරුබදු අඩුකර ගැනීම සාපේක්ෂ වශයෙන් පහසු ඉලක්කයකි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ඉහළ තීරුබදු පැනවුයේ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ම ද, නැතහොත් එය උපයෝගී කොටගෙන විවිධ රටවල් සමග තමන්ට වාසිදායක ගිවිසුම්වලට එළඹෙන්නට ද යන්න මේ වනවිට සාකච්ඡාවට ලක්ව ඇත. එමෙන් ම ලෝකයේ බලවත් රටවල් එයට දැඩි ප්‍රතිචාර දක්වා තිබේ. ඇමෙරිකාවේ ආර්ථිකයට ද එයින් ලැබී ඇත්තේ බරපතළ ලෙස හානිකර ප්රතිවිපාකයන් ය. එබැවින් එයට රට තුලින් ම විරෝධතා මතු වී තිබේ. එබැවින් මෙම තීරුබදු යම් ප්‍රමාණයකට අඩුකිරීමට ට්‍රම්ප් ආණ්ඩුවට සිදුවනු ඇත. නමුත් පැරණි තත්ත්වයට නැවත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි ය.
සුදානම ප්‍රමාණවත් නැත
අප ඉදිරියේ ඇති බරපතළ ප්රශ්නය වන්නේ වර්ධනය වන ලෝක ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා සුදානම් වීම යි. එහි දී මාලිමා ආණ්ඩුව දැනට ක්‍රියාත්මක කරන වැඩ කටයුතු ප්‍රමාණවත් ද යන්න විමසා බැලිය යුතු වෙයි. අපගේ ආර්ථික උපායමාර්ග සකස් විය යුතු වන්නේ හුදෙක් තීරුබදු වැඩිවීම ගැන සලකා නොව ලෝක පරිමාණයෙන් ඇතිවීමට යන ආර්ථික අවපාතයට මුහුණ දීම සඳහා ය.
මෙහි දී රට ස්ථාවර කිරීම සඳහා පසුගිය ආණ්ඩුවෙන් ආරම්භ කළ උපාය මාර්ග සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම ඉදිරියට ගෙනයාමට මාලිමා ආණ්ඩුව පියවර ගැනීම අගය කළ යුතු කාරණයකි. බොහෝ දෙනා කල්පනා කළේ මෙහි දී මාලිමා ආණ්ඩුව වෙනස් මගක යන්නට උත්සාහ දැරීමෙන් රට යලිත් අස්ථාවර වීමට ඉඩ තිබු බවට ය. නමුත් එවැන්නක් සිදුවුයේ නැත. එබැවින් මේ මොහොතේ රට අස්ථාවර වීම වළකා ගැනීමට හැකි වී තිබේ.
මුල්‍ය අරමුදල සමග එකඟ වී සිටි ආදායම් ඉලක්ක, ජංගම ගිණුමේ ධන ශේෂයක් පවත්වාගැනීම, රජයේ ආදායම් වර්ධනය කර ගැනීම සහ වෙනත් ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට මාලිමා ආණ්ඩුව එකඟ වී ඇත.
මෙහි දී ඇතැම් පිරිස් මෙයට විරෝධය ප්‍රකාශ කරන්නේ ජනාධිපති අනුර ක්‍රියාත්මක කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ප්‍රතිපත්ති ම බව කියමින් ය. නමුත් මෙය වැරදි ප්රවේශයකි. රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලනයට ඇති විරෝධයක් නිසා ඔහු කළ සියලු දේ අත්හැර වෙන මාර්ග සෙවිය යුතු යැයි කිසිවකු කල්පනා කරන්නේ නම් එය විනාශකාරී ආකල්පයකි. එමෙන් ම, මාලිමා ආණ්ඩුවට අකමැති නිසා ඔවුන් කරන නිවැරදි දේට විරුද්ධ වීම ද එමෙන් ම විනාශකාරී වෙයි.
ප්‍රමාණවත් නැත
මුල්‍ය අරමුදලේ වැඩ සටහන ඉදිරියට ගෙනයාම මෙරට ආර්ථික වර්ධනය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි . නමුත් එය ප්‍රමාණවත් කොන්දේසියක් වන්නේ නැත. එහි තේරුම නම් ආර්ථික අර්බුදයෙන් ගොඩයාමට සහ ඉදිරියේ එන අර්බුදයට මුහුණ දීමට අප තවත් සංවර්ධන ව්‍යාපෘති සහ වැඩ සටහන් ක්‍රියාත්මක කළ යුතු බව යි. එහි දී ප්‍රමාණවත් ප්‍රගතියක් අත්කරගෙන ඇත්ද යන්න අප සොයා බැලිය යුතු ය.
රනිල්ගේ ආණ්ඩුවෙන් ආරම්භ කළ ඇතැම් ආර්ථික ව්‍යාපෘති ඉදිරියට ගෙනයාමට මාලිමා ආණ්ඩුව කටයුතු කොට ඇත. හම්බන්තොට චීන තෙල් පිරිපහදුව, ඉන්දීය ආයෝජන ලෙස ත්‍රිකුණාමලයේ තෙල් පිරිපහදුව, සුර්යබල විදුලි බලාගාරය, තෙල් නළ සම්බන්ධතාවය, විදුලි පද්ධති සම්බන්ධතාවය ආදී ව්‍යාපෘති ක්‍රියාත්මක කොට ඇත. එය යහපත් වර්ධනයකි.
දුෂණය පිටුදැකීම ද ආර්ථික සංවර්ධනයට අවශ්‍ය ප්‍රධාන සාධකයකි. එය මාලිමා ආණ්ඩුව ප්‍රමුඛතාව දෙන බව ප්‍රකාශ කළ කාරණයක් වුවත්, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙනා අනපනත් ක්‍රියාවට නැංවීම හැරුණු විට විශාල ප්‍රගතියක් අත්කර ගැනීමට තවමත් හැකි වී නැත. දුෂණ විරෝධී පනත, අල්ලස් හෝ දුෂණ විරෝධී කොමිසන් සභා පනත ආදී නීති පසුගිය ආණ්ඩුවෙන් සම්මත කොට තිබිණි. සඟවා ඇති ධනය සොයා ගැනීමට අවශ්‍ය වන අපරාධ මගින් උපයාගත් ධනය සෙවීම සඳහා වූ පනත සකස් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරන ලද කමිටුවක් මගිනි. එහි නායකත්වය දැරුවේ ශ්‍රේෂ්ධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ය. මාලිමා ආණ්ඩුව එම පනත සම්මත කළේය. පසුගිය ආණ්ඩු සමයේ සකස් කළ දුෂණ විරෝධී ජාතික වැඩ සැලැස්ම ද ආණ්ඩුව පසුගිය දා ප්‍රකාශයට පත් කළේය.
ඇතැම් දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩු සමයේ පැවරු නඩුවල තීන්දු දැන් ලැබෙමින් පවතියි. ඇතැම් පරීක්ෂණ අවසන්ව නඩු පැවරීම ආරම්භ කොට ඇත. ඒවා යහපත් වර්ධනයන් වන නමුත් මාලිමා ආණ්ඩුව ප්‍රකාශ කළ කැපවීමට සරිලන ප්‍රගතියක් තවමත් අත්කරගෙන නොමැති වීම කණගාටුදායක ය.
ව්‍යාපෘති අත්හැරීම
මාලිමා ආණ්ඩුව සම්බන්ධයෙන් වන අනෙක් ප්රශ්නය නම් පසුගිය කාලයේ සැලසුම් කළ ඇතැම් ව්‍යාපෘති අත්හැර දැමීම යි. අදානි සුළං බල ව්‍යාපෘතිය, අමුල් කිරි ගොවිතැන් සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති රැසක් එලෙස නවතා ඇත.
රාජ්‍ය ආයතන ප්රතිසන්කරණ ව්‍යාපෘති ද මේ ආකාරයෙන් ම ප්‍රමාද කරමින් හෝ අත්හැර දමා හෝ තිබේ. ශ්‍රී ලන්කන් එයාර්, ටෙලිකොම්, රක්ෂණ, ලිට්රෝ ගෑස් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණ වැඩ කටයුතු එලෙස අත්හැර දමා තිබේ. එය ආර්ථික වර්ධනයට යහපත් තත්ත්වයක් නොවේ.
බරපතළ ම ප්රශ්නය වන්නේ ආණ්ඩුවෙන් අලුත් ව්‍යාපෘති, වැඩ සටහන් ඉදිරිපත් නොවීම යි. පසුගිය රජයේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමෙන් ඉදිරියට ගොස් නව ව්‍යාපෘති සහ වැඩ සටහන් ඉදිරිපත් කොට ක්‍රියාවට නැගීමට ආණ්ඩුව ක්‍රියා කළ යුතුව ඇත. නමුත් එබඳු කිසිදු විශාල ව්‍යාපෘතියක් ආණ්ඩුවෙන් මෙතෙක් යෝජනා වී හෝ නැත. එය බරපතළ දුර්වලතාවයකි.
වෙළෙඳ ගිවිසුම් කෝ
ඉදිරියේ එන ලෝක ආරථික අර්බුදයට මුහුණ දීම සඳහා අපගේ ජාත්‍යන්තර වෙළෙඳපොළ පුළුල් කරගැනීම අවශ්‍ය වෙයි. ඒ සඳහා විවිධ රටවල් සහ රාජ්‍ය කණ්ඩායම් සමග වෙළෙඳ සම්බන්ධතා වර්ධනය කරගත යුතු ය. ඉන්දියාව සමග එට්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡා අවසන් කොට ජනවාරියේ එය අත්සන් කිරීමට සැලසුම් කොට තිබු බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට තිබිණි. එසේ නම් එය ඉක්මනින් අත්සන් කොට ක්‍රියාත්මක කළ යුතුව ඇත. සිංගප්පුරුව සහ තායිලන්තය සමග අත්සන් කළ වෙළෙඳ ගිවිසුම් ක්‍රියාවට නැගිය යුතු ය. චීනය සමග ගිවිසුම ඉක්මන් කළ යුතු ය. කලාපයේ අනෙක් රටවල් සමග සහ ආසියාන්, ආර් සේප් වැනි ගිවිසුම්වලට ඇතුළත්වීමට ඉක්මන් පියවර ගැනීම ද අවශ්‍ය වෙයි.
ඒ අතර යුරෝපා සංගමය සමග සම්බන්ධතා තහවුරු කර ගනිමින් ඔවුන්ගේ සහන දිගටම ලබා ගැනීමට ද ක්‍රියාත්මක වීමා අත්‍යවශ්‍ය ය.
ඉදිරියට එන ලෝක ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා මෙබඳු පුළුල් උපායමාර්ගයක් සහ වැඩ පිළිවෙළක් අවශ්‍ය වෙයි.
මෙහි දී මෙතෙක් කරගෙන ආ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාම ගැන පමණක් සතුටු විය හැකිය. නවතා දමා ඇති ව්‍යාපෘති ගැන නැවත සලකා බැලීම අවශ්‍ය ය. එමෙන් ම ආණ්ඩුවෙන් නව වැඩසටහන් සහ ව්‍යාපෘති ද ඉදිරිපත් විය යුතුව තිබේ. ඒ සමග වෙළෙඳපොළ සංවර්ධනය සඳහා අවශ්‍ය වෙළෙඳ ගිවිසුම් ආදිය ගැන කඩිනම් පියවර ගත යුතුව තිබේ.
මෙම අංශවල දැනට සිදුවන ප්‍රගතිය ඉදිරි ආර්ථික අර්බුදයට මුහුණදීමට කිසිසේත් ප්‍රමාණවත් නැත. කුඩා රටක් වීම නිසාත්, මේ වනවිට අප වෙළෙඳ ගිවිසුම්වලට එළඹී වෙළෙඳපොළ දිනාගෙන සහ අලුත් වෙළෙඳපොළවලට පිවිසී නැති නිසාත් අපරට සිටින්නේ ඉතාම අනාරක්ෂිත අවදානම් සහගත තත්ත්වයක ය.
ආණ්ඩුවට එහි බරපතළකම පිළිබඳ අවබෝධයක් ඇති බවක් පෙනෙන්නට නැත.
yukthiya.lk