මාතර බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කෙරේ.

ඊයේ දින (22) රාත්‍රියේ මාතර බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවයක් ඇතිවුණු අතර එම තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර ඇති බව වාර්තා වූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙහි සභාපති වන සේනක පෙරේරා මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇති අතර එම නිවේදනය පහත සඳහන් වේ.

“ 2025/04/22 වන දින මාතර බන්ධනාගාරය තුළ සිදු වූ සිරකරුවන්ගේ නොසන්සුන්තාවයට හේතු වූ සැබෑ තත්වයන්ට ඉක්මනින් විසඳුම් ලබා දීම ඉදිරියේ මෙවැනි ආකාරයේ සිදුවීම් පාලනය කිරීමට ගත හැකි පළමු පියවර බව අප විශ්වාස කර සිටිමු.
බොහෝ අවස්ථාවල 1877 අංක 16 දරණ බන්ධනාගාර ආඥා පනතේ පවතින ප්‍රතිපාදන අනුව රැඳවියන්ගේ ස්ථානමාරූ සිදුනොවීම පසුගිය කාලයේ අප සංවිධනය විසින් නිරික්ෂණය කර ඇති අතර රැඳවියන් සහ රැඳවියන්ගේ ඥාතීන් විශාල ප්‍රමාණයක් විසින් නියමිත පරිදි බන්ධනාගාර මාරු වීම සඳහා අප සංවිධනයේ සහය පතා ඇති බව දන්වා සිටිමු.

ස්ථාන මාරුවීම්වලදී රැඳවියාට ලබා දෙන ස්ථාන මාරුව ඔහුට හෝ ඇයට දඬුවමක් වශයෙන් ලබා දීම නොකළ යුතු අතර එය රැඳවියන්ගේ පවුලේ ඥාතීන්ට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාවක් ඇති ස්ථානයක් වීම මෙහිදී ඉතා වැදගත් සාධකයෙකි. ශ්‍රී ලංකාවද අත්සන් තබා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිරකරුවන්ට සැලකීම පිළිබද සම්මුතියේ එය පැහැදිලිව දක්වා ඇත.

සිරකරු සමාලෝචන වැඩසටහන විධිමත් සහ කාර්යක්‍ෂමව ක්‍රියාත්මක නොවීම නිසා රැඳවියන් විශාල ප්‍රමාණයක් මානසික ආතතියකින් සිටින බව අප විසින් හඳුනාගෙන ඇති අතර මේ තත්වය මත බන්ධනාගාර මාරු කිරීමේදීද එය හරියාකාරව සිදු නොවන්නේ නම් බන්ධනාගාර පද්ධතිය තුළ අසහනකාරී පසුබිමක් ඇති වීම වැළක්විය නොහැක. එහි ප්‍රතිපලය වන්නේ වර්ෂ 2012 දී වැලිකඩ සහ 2020 දී මහරදී සිදුවූ ආකාරයේ සිරකරු නොසන්සුන්තාවයන් ඇති වී සිරකරු ජිවිත විනාශ විමයි.
එබැවින් මේ අවස්ථාවේ සිරකරු නොසන්සුන්තාවයන්ට හේතුවන සියලුම ආකාරයේ ගැටළු හඳුනාගෙන ඒවාට වහාම පිළියම් යෙදීම බන්ධනාගාර විෂභාර ඇමතිතුමා ඇතුලු සියලුදෙනාගේම වගකීම බව අප සංවිධානය අවධාරණ කර සිටිමු ”

Social Sharing
අවකාශය නවතම