අපි මෙම නව සංශෝධනය ගැන වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැක්කා. දැන් මේ සංශෝධනය පිළිබඳව විවාද අවස්ථාවේ තමයි අපි ඉන්නේ. ඒ අනුව නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයකින් (150 ) අනුමත කර ගැනීම් සඳහා මේ වෙනකොට ආණ්ඩුව ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මම විශ්වාස කරනවා මේ කටයුත්ත අවශ්‍ය ඡන්දවල අඩුපාඩුකම් තියෙනවා නම් සහ තමන්ගේ කඳවුර තුළින් මෙයට නැඟෙන විරෝධතාව ට පිළිතුරක් හැටියට විපක්ෂයෙන් කීපදෙනෙක් බාගැනීමේ ක්‍රියාවලියක ආණ්ඩුවේ නායකයින් මේ වෙනකොට සාකච්ඡා පවත්වමින් ඉන්නවා. අපි දන්නවා 2011 අවුරුද්දේ 18 වැනි සංශෝධනය ගෙන එන වෙලාවෙත් මේකම තමයි සිද්ධ වුණේ. ඒ වෙලාවේ ආණ්ඩුවට 144 යි තිබුණේ. ඒ වෙලාවේ මුස්ලිම් කොන්ග්‍රසයේ 7 දෙනෙක් මේ පැත්තට ගත්තා. එජාපයේ අයත් ආවා. එහෙම අරගෙන තමයි 160 ක බහුතරයක් හදාගෙන 18 වැනි සංශෝධනය සම්මත කරගත්තේ. ඒ වෙලාවේ ඔය අද වගේම නොයේකුත් පොරොන්දු දුන්නා. විධායක ජනාධිපති ධුරය කප්පාදු කරනවා කිව්වා. අපිව සනසන්න පළාත් සභා ක්‍රමයට සංශෝධන ගේනවා කිව්වා. මේ වගේ බොරු පොරොන්දු ගනනාවක් දීලා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 18 වැනි සංශෝධනය සම්මත කරගත්තේ. ඊට පස්සේ එතුමා ඒවා ගැන කතා කළේ වත් නැහැ. මෙවරත් එහෙම්මමයි. අලුත් ව්‍යවස්ථාවක් සෑදීම සඳහා යැයි කියමින් රොමේෂ් ද සිල්වාගේ නායකත්වයෙන් හදලා තියෙනවා කණ්ඩායමක්. පසුගිය දා අමරපුර සහ රාමාඤ්ඤ කියන නිකායන්වල නායකයින් සහ මේ ආණ්ඩුව බලයට ගේන්න වැඩකරපු ජාතිකවාදී නායකයින් අලුත් ව්‍යවස්ථාවක් ඉල්ලලා තිබෙනවා. ඔවුන්ට මේ නායකයෝ කියන්නේ එම ව්‍යවස්ථාව ගේනවා කියලා. නමුත් රාජපක්ෂවරු ගැන හොඳට දන්න අපිට විශ්වාසයි ඒ ව්‍යවස්ථාව ගේන්නේ නෑ කියලා.
ඒ වෙනුවට 20 සංශෝධනය මගින් විධායකයේ බලය, විවස්ථාදායකයේ බලය සහ අධිකරණයේ බලය තනි පුද්ගලයෙක් අතට ගැනීම තමයි මෙහි යට තිබෙන සරළම කාරණය. ඇත්තටම මේක ජේ ආර් ජයවර්ධනගේ ව්‍යවස්ථාවටත් එහාට ගිය අවස්ථාවක්. මොකද ජේ ආර් ගෙනාපු ව්‍යවස්ථාවේ නැති දේවලුත් මෙහි තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයා ව්‍යවස්ථාව රැකිය යුතුයි කියන වගන්තිය ඇතුලුව වගන්ති හතරක් ඉවත් කරලා තිබෙනවා. එයින් එක වගන්තියකට ( මැතිවරණ ක්‍රියාවලියට අදාළ වගන්තියට ) ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් යෝජනා කරලා තිබෙනවා. නමුත් අනෙකුත් වගන්ති තුන ඉවත් කරලා තිබෙනවා. වැඩිමනත් වශයෙන් ජනමත විචාරණය, නැතිනම් කෙළින්ම ජනතාවගේ මතයෙන් නීති හදන්න පුලුවන් කියන කාරණය ගෙනත් තිබෙනවා. ඇත්තටම මේ නියෝජිත ප්රජාතන්ත්රවාදය ගෙනල්ලා තිබෙන්නේ හැවෝටම නීති හදන්න බැරි නිසා නෙවෙයි, සාමාන්‍ය වශයෙන් ජනතාව මානසිකව ලබන අල්ලස් මාර්ගයෙන් ඒ වෙලාවේ ලැබෙන හැඟීම්වලට වහල් වෙලා ඡන්දය දෙන නිසා එය වැළක්වීම සඳහා තමයි නියෝජිත ප්රජාතන්ත්රවාදය ලබාදීලා තිබෙන්නේ. මේ සියල්ල එක්ක තමයි 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය එන්නේ.
මෙහි අරමුණ කුමක් ද? රටට වැඩ කරන්න ඕනෑ කියන එක තමයි කියවෙන්නේ. රටට වැඩ කිරීම සඳහා කිසිඳු ගැටලුවක් අපිටනම් පේන්නේ නැහැ. ජනාධිපතිතුමා මල්ලී, අයියා අගමැති, ආර්ථිකය මෙහෙයවන්නේ මල්ලී, ආරක්ෂාව භාරව කටයුතු කරන්නේ පවුලේ ලොකු අයියා, එනිසා මේ පවත්නා ව්‍යවස්ථාව යටතේ වැඩකරන්න බැහැ කියනවනම් ඒක ලොකු බොරුවක්. එනිසා මේ පවුලෙන් පිට රටේ ආර්ථිකයෝ හෝ සමාජය හෝ මෙහෙයවීමේ බලයක් කාටවත් නෑ. ඉතිං ඇයි වැඩ කරන්න බැරි. ඊළඟට මෙමගින් විදේශ ආක්රමනවලින් රට බේරාගන්න පුලුවන් කියන මතයකුත් රට තුළ නිර්මානය කරලා තිබෙනවා. ඉදිරියේදී මයික් පම්පියෝ පැමිණියාම සෝෆා , එම් සී සී ගිවිසුම අත්සන් කළාම, අපිට පෙනෙයි මේ කතාවේ ඇත්ත නැත්ත. මේ ජනාධිපතිවරයාම තමයි කැබිනට් මණ්ඩලයටවත් නොකියා ආරක්ෂක ලේකම් විදිහට ඉන්න කාලේ අක්සා කියන ගිවිසුම ඇමරිකා එක්සත් ජනපදය සමග අත්සන් කළේ. ඒ වේලාවේ ඔහුට තමන්ගේ අයියා වුණ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය සහාය දුන්නා. ඊළඟට අපි දන්නවා ජේ ආර් ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ පාර්ලිමේන්තුවට දැනුන් දීලා නෙවෙයි. ඒ අනුව ව්‍යවස්ථාවේ 157 වගන්තියේ මොනවා සඳහන් වුණත්, විධායක ජනාධිපතිවරු තමන්ගේ බලය භාවිතා කරලා තමයි මේ කටයුතු කරලා තිබෙන්නේ. එල් ටී ටී ඊ සංවිධානය සමග සටන් විරාම වලට එකඟවුණේම විධායකයේ බලය භාවිතා කරලා. එනිසා රට පාවා නොදී පවත්වාගෙන යන්න මෙහෙම අසීමිත බලයක් ඕනෑ කියන එකත් මිත්‍යාවක්.
ඒ වගේම සිංහල බෞද්ධ අනන්‍යතාවය ආරක්ෂා කරන්නට කැපවෙනවා කිව්වට, අපි එදා ජාතික හෙළ උරුමයට ලැබුණ ජනවරම අනුව බලහත්කාරයෙන් අන්‍යාගම්වලට බෞද්ධයින් සහ හින්දූන් හැරවීමට විරුද්ධව ඕමල්පේ සෝභිත හිමියන් ගෙනාපු පනත යට ගැහුවේ මහින්ද රාජපක්ෂ. ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති එක්ක කතා කරලා තනි බලයට. මම මේ කිව්වේ සමහරු මවාපාන කතා තිබෙනවා නේ, මේ සංශෝධනය නිසා සිංහලකම රැකෙනවා, බෞද්ධකම රැකෙනවා කියලා. රට විදේශ ආක්රමනවලින් රැකෙනවා කිව්වට ඉතිහාසය පෙන්නලා දීලා තියෙන්නේ ඊට සම්පූර්ණයෙන්ම පටහැනි දෙයක්. මේ ජනාධිපතිවරයා එහෙම නොකරනවා කියන්න කිසිම සහතිකයක් නැති බව ඔහු ඔහුගේ මේ මාස 11ක පාලනය අස්සේ පෙන්නලා ඉවරයි. ළඟම උදාහරණය තමයි රිසාඩ් බදූර්දීන් මහත්තයාගේ සිද්ධිය. ඔහු පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්නවාය ඉන්නවාය කියලා ජනතාව අවුස්සලා බලය ගත්තා, දැන් ඔහු සම්බන්ධ සියලුම ක්‍රියාදාමයන් නතර කරලා තියෙනවා. ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන් රටේ මහ බැංකුව කොල්ලකෑවා ඔහු කනෙක් අල්ලලා ගේනවා කිව්වා. දැන් බැංකු මංකොල්කාරයෝ සියල්ල නිදැල්ලේ ඉන්නවා. මම හිතන්නේ මේ කරුණු දෙකම ප්‍රමානවත් මේ ජනාධිපතිවරයාගේ තීරණ ගැනීමේ හැකියාව සහ චරිත ශුද්ධිය ගැන අපිට හිතන්න. එනිසා මෙමගින් රැකෙන කිසිවක් නැහැ.
බලය තනි පුද්ගලයෙක් වටේ සංකේන්ද්‍රනය වුණාම රට සංවර්ධනය කරන්න ලේසියි කියලා ජේ ආර් ජයවර්ධන මහත්තයාත් හිතුවා, ඒත් එතුමාගේ පාලනය නිමාවුණේ දැවැන්ත ලේ වැගිරීමකින්. ඉතිං මේ රට නැවත ප්රජාතන්ත්රවාදය හැකිලෙමින් තනි ඒකාධිපති මතයකට යෑමෙන්, එවැනි ලේ වැගිරීමකට පාර කැපෙන, අධිකරණයේ ස්වාධිනත්වය අහෝසි වෙලා නීතිය පිළිබඳ ජනතා විශ්වාසය අහෝසි වෙලා, නීදහස පිළිබඳ අදහස අහෝසි වෙලා, මැතිවරණ ක්‍රමය පිළිබඳ විශ්වාසය අහෝසි වෙලා, ගියොත් නැවත මේ රට සන්නද්ධ බලවේග වලට නතුවෙන රටක් බවට පත්වීමේ අනතුර තිබෙනවා. ඒක ඉතාම පැහැදිලිව කියන්න ඕනෑ. මොකද මේවගේ තත්ත්වයක් මීට සියවස් ගානකට කළින් ප්‍රංසයේ ඇතිවුණා. ප්‍රංසයේ රජ පවුල රාජ්‍යත්වයෙන් එළවලා දාලා ප්රංස විප්ලවයක් ඇතිවුණා. එහිදී ජනරජයක් බිහි වුණා. එහි අරමුණ වුණේ රජවරුන් නැතුව ජනතාවගේ හැකියාවට කුසලතාවයට, මුල් තැන දීලා රට පාලනය කරන එක. එහි නායකත්වය ගියේ නැපෝලියන්ට. නැපෝලියන් තමයි යුරෝපයට කුසලතාවාදය කියන දේ හඳුන්වා දුන්නේ. නමුත් ටික කාලයක් ගියාම නැපෝලියන් අධිරාජ්‍යා වුණා. ඊළඟට ඔහු රට ලෝකය අල්ලගෙන පැරීසියට දැවැන්ත ධනයක් අරගෙන එන වෙලාවේ ඔහුගේ අමාත්‍යවරයෙක් උන ටෙලිරාන් ඓතිහාසික ප්‍රකාශයක් කළා. ඒ මොකද්ද? ඔහු කිව්වා බයින්නෙත්තුවලට බොහෝ දේවල් ලබාගන්න පුලුවන්, හැබැයි ඒවා මත හිඳ සිටීම එතරම් සැහැල්ලු සරළ දෙයක් නෙවෙයි, ඒක විනාශකාරී දෙයක් කියලා. මේ රටටත් මේ ඇතිවෙමින් යන බැරැක්ක කරණය හමුවේ, එය ලැබෙන්නට නියමිත බව කිව යුතුයි.
-කේ. සංජීව