කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ ‘මීනගයා’ දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් 2025 පෙබරවාරි 19 වන දා රාත්‍රියේ අලින් සහ කෙනෙරන් ඇතුළු 6කට මරු කැඳවීමට සමත් වූ අතර, 2025 පෙබරවාරි 19 වන දින තෙක් මේ වසරේ ගතවූ දින 50ක කාලය තුළ අලි මරණ 65ක් වාර්තා වී ඇති බවත්, මරණ 9ක් දුම්රියේ ගැටීමෙන් සිදු වූ ඒවා බවත් ය. ඒ අනුව, එම කාලය තුළදී දිනකදී එක් අලියෙකුට වඩා මරණයට පත්වී ඇතැයි පෙනී යයි.
ඉහත සිදුවීම දෙස් විදෙස් ජනතාව ඉමහත් කම්පනයට පත්කළ සිදුවීමකි. BBC සිංහල සේවයේ සඳහන්වූ පරිදි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මුලශ්‍රයන්ට අනුව 2020 සිට 2025 පෙබරවාරි 20 දක්වා සිදුවූ මුළු අලි මරණ සංඛ්‍යාව 2,083 කි. ඉන් අලි මරණ 67 ක්ම සිදුවී ඇත්තේ දුම්රියේ ගැටීමෙනි.
මෙම ගැටලුව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි විසින් 2025 පෙබරවාරි 6 වැනිදා පාර්ලිමේන්තු අමතමින් සඳහන් කළේ, ගෙවී ගිය දශකය තුළ මෙරට අලි මරණ 3,477ක් සිදුවී ඇති බව යි.
“2015 -2019 කාලයේ අලි මරණ ගත්තොත් 1,466ක් සිද්ධ වෙලා තියෙනවා, 2020 -24 කාලයේදී අලි මරණ 2,011ක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා පසුගිය 2015 -2019 කාලයට සාපේක්ෂව 2020 – 24 අවුරුදු පහේදී අලි මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා,” ඔහු පාර්ලිමේන්තුවේදී පැවසුවේ ය.
(මුලාශ්‍රය : BBC සිංහල සේවය)
අලි – දුම්රිය ගැටුමට අදාළව විසඳුම් සෙවීම සඳහා විවිධ පාර්ශවයන් අතර සාකච්චා පැවැත්වුණු අතර එවැනි එක් සාකච්චාවකට සම්බන්ධ වූ රංග කලංසූරිය විසින් සිය ෆේස්බුක් ගිණුමෙහි තැබූ එක් සටහනකට අනුව ඇතැම් දුම්රිය රියදුරන්ගේ ක්‍රියාකලාපය නිසා මෙම අලි – දුම්රිය ගැටලුවට සාර්ථක විසඳුම් ලබා දීම ඇනහිට තිබෙන බව පැහැදිලි වේ.
“ගිය අවුරුද්දෙ (ගිය ආණ්ඩුව කාලෙ) ජාතික නවෝත්පාදක ඒජන්සියෙන් (NIA) සංවිධානය කළ රැස්වීමකට මමත් සහභාගි වුණා. ඒක තිබුණේ ජනාධිපති කාර්යාලයේ. ජනාධිපති අතිරේක ලේකම්වරුන්වන චාන්දනී විජේවර්ධන සහ රෝෂිණී පීරිස් මහත්මින්ගෙ ප්‍රධානත්වයෙන්. රැස්වීමේ අරමුණු වුණේ, දුම්රිය පමාවට, අනාරක්ෂිත රේල් ගේට්ටුවලට සහ දුම්රියේ අලි ගැටීමට විද්‍යාත්මක විසඳුම් සෙවීම. අදාල අමාත්‍යාංශ ලේකම්වරු, පේරාදෙණිය මොරටුව කොළඹ විශ්ව විද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු, වනජීවී නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ (ඉංජිනේරු අංශවල) නිලධාරීන් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් ද හිටියා. මට මතක විදියට හැම ප්‍රශ්නයකටම ඉතා අඩු වියදම් නමුත් ඉහළ තාක්ෂණය සහිත විද්‍යාත්මක යෝජනා තිබුණා. හැබැයි හැම විසඳුමකටම දුම්රිය එන්ජිමේ GPS තාක්ෂණය ඕනෙ.
පැය දෙකක විතර සාකච්ඡාවෙන් පස්සෙ ඕන්න ප්‍රශ්නෙට ආවා. සභාවෙ හිටිය විද්වතෙක් දුම්රිය ලොක්කෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා.
“දුම්රිය එන්ජින්වල GPS තියෙනවා නේද?”
“ඔව් තියෙනවා”
“එන්ජින් කීයක තියෙනවද?”
“හැම එකකම තියෙනවා”
“ඉතින් මොකක්ද ප්‍රශ්නෙ”
“ඒවා වැඩ කරන්නෙ නැහැ”
“ඒ කියන්නෙ ඒවා කැඩිලද?”
“නැහැ – කැඩිලා නැහැ”
“එහෙනං….?”
දුම්රිය ලොක්කා ඇඹරෙයි….
ඒ අස්සේ සභාවේ තවත් විශේෂඤයෙක් හඩ අවදි කළා.
“කැඩිලා නෙමෙයි – රියදුරෝ ඕක ඔන් කරන්නෙ නැහැ. ඒ අය GPS වලට විරුද්ධයි. ඒ නිසා සවි කරපු දා ඉඳන් ඒවා එහෙමමයි. ඒ අය ඔය සිස්ටම් එක ඔන් කරනකං ඔය කිසිම තාක්ෂණයක් පාවිච්චි කරන්න බැහැ.”
දුම්රිය ලොක්කාට උත්තර නැත. රටේ ඉහළම ආයතනයක ඉහළම නිලධාරින් පනහක් විතර පිරිසක් පැය දෙකක් විතර කළ සාකච්ඡාව අවසන් උනේ දුම්රිය රියදුරන්ගෙ මේ ප්‍රශ්නයෙනි. කෝටි ගණන් මහජන මුදල් වියදම් කරලා තාක්ෂණය සවිකරත් කීප දෙනෙක් ගෙ උවමනාවට ඒවා ක්‍රියාත්මකවෙන්නෙ නැහැ.
බිමල් ඇමතිවරයාම කියන විදියට මේවා රොකට් සයන්ස් නෙමෙයි. රටේ විශේෂඤයො අඩු වියදම් විසඳුම් හොයලා තියෙන්නෙ. හැබැයි වෘත්තීය සමිතිවල ඒකාධිකාරය නිසා ඒවා ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ නිසා හැමදාම අලි හැප්පෙයි. අනාරක්ෂිත ගේට්ටු ගාව මිනිස්සු මැරෙයි. අලි රොතු බුරුතු පිටින් කෝච්චියට හැප්පෙයි.”
රංග කලංසූරියගේ ෆේස්බුක් සටහන: https://shorturl.at/watUI
රංග කලංසූරිය සිය ෆේස්බුක් ගිණුමෙහි තැබූ ඉහත සටහනට ඌණ පුර්ණයක් එක් කරමින් ජාතික නවෝත්පාදන නියෝජිතායතනයේ අතිරේක ප්‍රධාන නවෝත්පාදන නිලධාරී සචී පනාවල ද සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණි.
“ආචාර්ය Ranga Kalansooriya ගේ මේ post එක https://web.facebook.com/
ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ National Innovation Agency – Sri Lanka පනතට අනුව (2019 අංක 22 දරන පාර්ලිමේන්තු පනත) රටේ විවිධ ක්ෂේත්‍රවල නව්‍යකරණයන්ට අදාළ ව රජයට නිර්දේශ හා උපදෙස් දීම අප කළ යුතුයි. රජය යම් යම් දේ සඳහා ජාතික ධනය වැය කරද්දී එම තීරණ විද්‍යාත්මක හා අර්ථවත් ද විමසා බලා ඒ ගැන රජය දැනුම්වත් කිරීමත් මීට ඇතුළත්. මේ සඳහා අපේ ක්‍රමවේදය වන්නේ, ජනාධිපති ලේකම් සභාපතිත්වය දරන සහ නව්‍යකරණයට අදාළ, මුදල් අමාත්‍යංශය ආදී අමාත්‍යංශ ගණනාවක ලේකම්, අතිරේක ලේකම් හෝ අධ්‍යක්ෂ ජනරාල් තනතුරු දරන අය සාමාජිකයන් වශයෙන් කටයුතු කරන අපගේ පාලක මණ්ඩලයේ රැස්වීම් ආරම්භයේ දී, රටට බලපාන ජාතික ගැටළුවක් අදාළ විසඳුම් තිබියදීත් නොවිසඳී ඇති අවස්ථා ගැනත් එසේ වීමට හේතුත් ප්‍රධාන නව්‍යකරණ නිලධාරි විසින් පාලක මණ්ඩලයට ඉදිරිපත් කිරීමයි. ඒ අනුව, එළඹෙන මාර්තු මාසයේ රැස්වීමේදී කතා කරන ගැටළුව වශයෙන් අලි- දුම්රිය ගැටුම ඉදිරිපත් කරන්න මහාචාර්ය අල්විස් තීරණය කළා. එවර රැස්වීම පවත්වන්න යොදාගෙන තිබුණු දිනය වූයේ 2024 මාර්තු 01. හරියටම එදාටම අර යෝජිත උමඟට මුල්ගල තියන්න යොදාගෙන තිබුණා. (පහත ඡායාරූපයේ තියෙන්නේ ඒ අදාළ පුවත්පත් කොටස සහිත PPT slide එක). එදා පාලක මණ්ඩල රැස්වීමේදී මේක ගැඹුරින් සාකච්ඡා වුණා. ඒ අනුව තීරණය කෙරුණේ, දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ, අඩු වියදම් විසඳුම් තිබියදීත් ක්‍රියාත්මක නොවන තවත් මෙවැනි ගැටළු දෙකක් වන ‘දුම්රිය live location detection පද්ධතිය’ සහ ‘ස්වයංක්‍රීය දුම්රිය ගේට්ටු’ සමග ‘අලි- දුම්රිය ගැටුම’ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සියල්ල කැඳවා ජනාධිපති ලේකම් කාර්යාලයයේදී සාකච්ඡාවක් නුදුරේදීම පැවැත්වීමටයි. අදාළ රැස්වීම 2024 ජූනි මස පැවැත්වුණා. එහිදී අදාළ ගැටළු විසඳී නැත්තේ ඇයි සහ එයට ගතයුතු හා ගත හැකි කඩිනම් පිළියම් සාකච්ඡා කෙරුණා. ආචාර්ය කලංසූරිය කියා තිබෙන්නේ ඒ රැස්වීම ගැනයි. අලි-දුම්රිය ගැටුම සම්බන්ධයෙන් දුම්රිය මාර්ගයේ වැදගත් සහ තීරණාත්මක ස්ථානවලදී සම්පූර්ණ පද්ධතිය ක්‍රියාත්මක කර අවශ්‍ය සියුම් සකස් කිරීම් සිදු කිරීමට පහසුකම් සැලසීම අවශ්‍යව තිබූ හෙයින් NIA එම අවශ්‍ය පහසුකම් උදෙසා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට අමාත්‍යංශයේ අනුමැතිය පරිදි එකඟ වුණා. ඒ අනුව සිය කටයුතු නැවත ආරම්භ කළ මහාචාර්ය ලිලන්ත සිය පද්ධතියේ දෙවන trial එක කර බලන්නට සූදානම් බවත් තව සතියකින් පමණ එය ක්‍රියාත්මක කළ හැකි බවත් පසුගිය බ්‍රහස්පතින්දා උදෑසනම මහාචාර්ය අජිත් වෙත එවූ පණිවිඩයකින් දන්වා තිබුණා.”
සචී පනාවලගේ ෆේස්බුක් සටහන : https://shorturl.at/j8oU0
ඉහත සටහන් විමර්ෂණයේදී පෙනී යන කරුණක් වනුයේ, GPS පද්ධතියක් සියලුම දුම්රිය එන්ජින් තුළ සවිකර තිබුණද ඒවා ක්‍රියාත්මක කිරීම ඇතැම් දුම්රිය රියදුරන් විසින් ප්‍රතික්ෂේප කර තිබීමයි. එමෙන්ම අලි මංකඩවල් හරහා උමං මාර්ග ඉදිකිරිම වැනි ඇතැම් යෝජනා ගෙන ඒමේදී ඊට අදාළ ශක්‍යතා අධ්‍යනයන් සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි දැනුමක් තිබෙන පාර්ශවයන් සමබන්ධ කරගෙන තිබේද යන ගැටලුවද මතු වේ.
ඉහත සටහන්වලට අනුව දුම්රිය රියදුරන්ගේ හැසිරීමත්, ව්‍යාපෘති යෝජනා ගෙන ඒමේදී අදාළ පාර්ශවයන්ගේ අදහස් ගරු නොකිරීමත් යන කරුණු හරහා රාජ්‍ය අකාර්ශක්ෂමතාවය ඉස්මතු වන බව පෙනේ.
කෙසේ නමුත් අලි – මිනිස් ගැටුම නිසා වසරකට ලෝකයේ වැඩිම අලි සංඛ්‍යාවක් මිය යන රට බවට ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව තිබේ. මිනිසුන්ට මෙන්ම වන ජිවීන්ටද නිදහසේ සිය ජීවිතය පවත්වාගෙන යාමට අයිතිය තිබේ. සතුන්ට ඇති එම අයිතිය තහවුරු කර දීම රජයක වගකීම වේ.