2010 ජනවාරි 25දා ප්‍රගීත් අතුරුදහන් විය. ඔහු අතුරුදහන් වන්නේ කිසියම් පුද්ගලයකු හමු වීමට යාමෙන් පසුවය. එම වකවානුවේදී ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ ප්‍රධාන පුද්ගලයකු වූ නන්දන වීරරත්න විමර්ශනයේ සාක්ෂිකරුවෙකු ද වේ.
“අතුරුදහන් වීමට දින කීපයකට කලිනුත් සුදු වෑන් එකකින් ප්‍රගීත්ව පැහැරගෙන ගිහින් කඩුවෙල පැත්තේ ගල් වලක අතහැර ගිහින් තිබුණා. වැරදීමකින් අරගත් බව තමයි කියලා තිබුණෙ,” යි නන්දන පවසයි.
ප්‍රගීත් අවසාන වරට හමුවන්නට යන්නේ කලින් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයත් සමග ක්‍රියා කර පසුව හමුදා බුද්ධි අංශ සමග එක්ව කටයුතු කළ පුද්ගලයෙකි. එම පුද්ගලයා ද ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධ නඩුවේ එක් විත්තිකරුවෙකි.
2010 වසරේ ජනවාරි මස 24-27 අතර දිනයකදී ගිරිතලේ, කොස්වත්ත, බත්තරමුල්ල, අඩ්ඩාලච්චේන හා අක්කරපත්තුව යන ප්‍රදේශවලදී නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එක්නැලිගොඩ පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම ඇතුළු චෝදනා 17ක් මත නීතිපතිවරයා විසින් විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ. ඔවුන් වන්නේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරීව සිටි ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න, ආර්.එම්.පී.කේ. රාජපක්ෂ හෙවත් නාදන්, විනී ප්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, එස්.එම්. රවීන්ද්‍ර රූපසේන හෙවත් රංජි, වයි.එම්. චමින්ද කුමාර අබේරත්න, එස්.එම්. කණිෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ්‍රමනියම්, ඩී.ජී. තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් නමැති යුද හමුදා නිලධාරීන්ය. කොළඹ මහාධිකරණයේ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ නඩුව විභාග වෙමින් තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ක්‍රියාකාරිකයකු වූ ප්‍රගීත්ට ඔහුගේ බිරිඳ සන්ධ්‍යා හමුවන්නේ 1989දීය. ඇය ඔහු පළමු වරට දකින මොහොතේදී ඔහු එවකට පළ වූ සිනමා සඟරාවක් වූ ‘සිනෙසිත්’ සඟරාවට සත්‍යජිත් රායිගේ චිත්‍රයක් අඳිමින් සිටි බව ඇය පවසයි. එවකට වෘත්තීය සමිතියක කාන්තා අංශයේ කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු ඇය හා ප්‍රගීත් අතර පසු කලෙක ප්‍රේම සම්බන්ධයක් ඇති වූ අතර, 1992දී ඔවුහු විවාපත් වූහ. ඔවුන්ට පුතුන් දෙදෙනෙක් සිටිති.
1988දී ජනතා විමුක්ති පෙරමුණ විසින් කෲර ලෙස ඝාතනය කරන ලද වාමාංශික ක‍්‍රියාධරයකු වූ නන්දසේන සිල්වාගේ අළු තැන්පත් කළ බඳුන වසර දහයක් තිස්සේ සිය නිවසේ තබා රැකගත්තේ ප‍්‍රගීත් බව සන්ධ්‍යා සනත් බාලසූරිය සමග පැවැත්වූ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවාය. ‘‘නන්දෙගෙ මරණය ගැන එයා පුදුම කම්පාවකින් හිටියේ. අළු බඳුන කවදා හරි පවුලේ අයට බාරදෙන්න කියලා අපේ ගෙදර තියාගෙන හිටියා. ඒත් ඒක බාරදෙන්න කෙනෙක් හිටියේ නෑ. අන්තිමේ එයා 1998දී නන්දෙගේ අළු කළුගඟේ පා කළා.’’
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධානියෙකු වූ රාජා උස්වැටකෙයියාව ද ප්‍රගීත් සමීපව ඇසුරු කළ කෙනෙකි. සනත් බාලසූරිය සමග සම්මුඛ සාකච්ඡාවේදී රාජා ඔහු ගැන මෙසේ පවසයි: ‘‘ප‍්‍රගීත් කියන්නේ එඩිතර, සූක්ෂ්ම, හෙමින් වැඩකරන කෙනෙක්. හෙමින් වුණාට අඛණ්ඩව වැඩකළා. විවේක ගත්තේ නෑ. හතිවැටුණේ නෑ. ඔහුගේ කතාබහේ බලවත් උපහාසයක් තිබුණා. දේශපාලන උපහාසයක්. හරිම විවේචනාත්මකයි. හැමෝම දකින මතුපිට දේට වඩා හැමදේකම ගැඹුරක් ඔහු දැක්කා. ඒ වගේම කිසි දේකට සැලෙන්නේ නැති මිනිහෙක්. විද්‍යාව ගැන තදබල උනන්දුවක් තිබුණු දැඩි හේතුවාදියෙක්. ඒ වගේම ඔහුතුළ හොඳ වගාකරුවෙකුත් හිටියා.
‘‘ඔහු තරමක් ගුප්ත චරිතයක්. ඒ ඔහුගේ හැටි. කැපී පෙනෙන්න, මතුපිටට එන්න උත්සාහ නොකළ චරිතයක්. රහසිගත දේශපාලනය කරන්න ඉතාම ගැලපෙන මිනිහෙක්. ඔහු බයත් නෑ. භීෂණ සමයේ වුණත් බය නැතිව හැමතැනම ඇවිද්දා. හැබැයි ප‍්‍රවේසමෙන්, කල්පනාවෙන්. ඔහු හරිම සූක්ෂ්මයි. රට වටේම මිතුරන් හිටියා. මිතුරන් වෙනුවෙන් දේශපාලනික මැදිහත්වීම් කරද්දී එහි භයානක පලවිපාක ගැන තැකුවේ නෑ.’’
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් සත්‍යය හා යුක්තිය පතා ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ එඩිතර අරගලයක නියැලී සිටියි.
නන්දන වීරරත්න සමග පැවැත්වූ මෙම ලිපිය හා සම්බන්ධ සම්මුඛ සාකච්ඡාව පහතින්..