𝐂𝐥𝐞𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 වැඩසටහන පටන් ගත් දිනම මාළු අපද්‍රව්‍ය නිසි අයුරින් බැහැර නොකළ පුද්ගලයකු පොලිසියට රැගෙන යාමේදී සිරුරෙන් මාළු දුර්ගන්ධයක් වහනය වනවා යැයි පවසමින් පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව පැමිණි මෝටර් රථයේ ඩිකියට සේවකයෙක් රැගෙන යාමට උත්සහ දරා ද ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් 𝐂𝐥𝐞𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 වැඩසටහන ඊයේ දිනයේ එනම් නව වසරත් සමඟම ආරම්භ විය. මෙවැනි පසුබිමක ගම්පොළ අම්බුලුවාව ප්‍රදේශයේ මාළු වෙළඳසැලක සේවකයන් දෙදෙනෙක් ඉවතලන මාළු අපද්‍රව්‍ය එම ප්‍රදේශයේ ජල මාර්ගයකට බැහැර කර ඇති අතර, එම සිදුවීම ප්‍රදේශවාසින් කිහිපදෙනෙක් දැක ඇත.
මෙම සිද්ධිය දුටු ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක් ඔවුන් සමඟ බහින්බස් වීමක් හටගෙන ඇති අතර පසුව එම ස්ථානයට තවත් එම මාළු වෙළඳසැලෙහිම සේවකයෙක් පැමිණිමෙන් අනතුරුව ගැටුම්කාරී තත්වයක් උද්ගත වූ බවට වාර්තා වේ. මොවුන් විසින් එම සේවකයින් ලවාම ඔවුන් බැහැර කළ මාළු අපද්‍රව්‍ය ඉවත් කර එම ප්‍රදේශය සුද්ධ පවිත්‍ර කරගෙන ඇති අතර එම අවස්ථාවේ දී මෙම ප්‍රදේශවාසින් විසින් සේවකයින් පිරිසට වධහිංසා කර ඇති බවට ද හිරු ප්‍රවෘත්ති තුළින් දැකගත හැක. එමෙන්ම එම සිදුවීම සමතයකට පත්කිරීමට එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් මෙම සේවකයින්ව අත්අඩංගුවට ගෙන ඔවුන්ව පොලීසියට රැගෙන යාමේදී මෙම සේවකයින්ගේ සිරුරෙන් මාළු දුර්ගන්ධයක් වහනය වනවා යැයි පවසමින් පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව පැමිණි මෝටර් රථයේ ඩිකියට සේවකයෙක් රැගෙන යාමට උත්සහ දරා ද ඇත.
කෙසේ හෝ මෙම පිරිස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ගැටුම්කාරී තත්වය සමතයකට පත් වී ඇති අතර අද උදෑසන එම වෙළඳසැලෙහි තවත් සේවකයන් පිරිසක් ලවා එම ප්‍රදේශය පිරිසිදු කරගෙන ඇති බවට වාර්තා වේ.