අනුර කුමාර ජනපති වීමට පෙර සහ පසු ලෙස චරිත දෙකක් බිහි වී තිබේ. ජනපති වීමට පෙර කියූ ආකාරයට සපුරා වෙනස්ව ජනපති වීමෙන් පසුව ඔහු හැසිරේ. එසේ වන්නේ ඇයි?
එයට හේතුව තනතුරේ ස්වභාවයයි. තනතුර දරන්නා කවුරු වුවත්, එම පුද්ගලයාට ඒ තනතුරට අනුගත වීමට සිදු වේ. මෙය තේරුම් ගැනීම එතරම් අපහසු නැත. ඔබ සේවය කරන ආයතනයේ ඔබේ තනතුර නිර්මාණය කරන්නේ ආයතන ප්‍රධානීන් විසින් ඔවුන්ට උවමනා ආකාරයටය. ඒ තනතුරේ වගවීම්, වගකීම්, කාර්යභාරයන් ආදිය පළමුව තීරණය කෙරේ. එම තනතුර සඳහා පුද්ගලයෙකු තෝරා ගන්නේ ඉන් අනතුරුවය.
ඒ සඳහා ඔබව තෝරා ගත්තාට ඔවුන් ඔබගෙන් අපේක්ෂා කරන්නේ අර තනතුරට අනුව කටයුතු කිරීමටය. ඔබට ඕනා විදිහට තනතුර වෙනස් කළ නොහැකිය. අනුරට පමණක් නොව, ගෝඨාභයට පවා සිදු වූයේ එයයි. ඇතැමුන් ඒ දවස්වල ඉල්ලුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභයයි. නමුත් ජනපති වූ පසු ගෝඨාභයට තව දුරටත් ආරක්ෂක ලේකම් ලෙස වැඩ කළ නොහැකිය. සිස්ටම් එක යනු එයයි.
උදාහරණයක් ලෙස දැන් අනුරට පෙර මෙන් ඉන්දියාවට ප්‍රසිද්ධියේ දොස් කියන්නට බැරිය. ඉස්සර දෙරට අතර බලශක්ති සම්බන්ධය හදනවාට විරුද්ධ වුණාට ජනපති වූ පසු එසේ කිරීමට නොහැකිය. ඉස්සර ETCA එකට විරුද්ධ වුණාට දැන් එහෙම කරන්නට බැරිය. ඒ තනතුරේ ස්වභාවයයි. තනතුරට කවුරු පත් වුණත් තනතුර වෙනස් නොවේ. පුද්ගලයා වෙනස් වේ.
කල් යන්න යන්න අනුර තව තවත් හීලෑ වේ. ධුරයේ බර දැනෙන්න දැනෙන්න ඔහු තව තවත් ප්‍රවේශම් වේ. තව ටික කාලයක් යන විට ඔහුට ඔය ජනාධිපති ධුරය අහෝසි කිරීම පවා අපහසු වේ. ලංකාවේ අන්‍යාගමිකයන් ඉදිරියේ මොන බයිලා කිව්වත් අනුර ඉන්දියාවට ගිය විට බුද්ධගයාවට ගොස් වැඳ පුදා ගනී. එබැවින් අප කළ යුත්තේ අනුරට ඔය තනතුරේ ඉන්නට දීමයි. අප කළ යුත්තේ අප විසින් නිර්මාණය කළ තනතුරට අනුරව වෙනස් කර ගැනීමයි.