මහ බැංකුව කඩදාසි නැතුව සල්ලි අච්චු ගැහුවේ මෙහෙමයි!

ශ්‍රී ලංකා මහ බැංකුව විවෘත වෙළෙඳපොල ක්‍රමය යටතේ, කඩදාසි නැතිව සල්ලි අච්චු ගැසීම හෙවත් මුදල් පොම්ප කිරීම සිදු කර ඇත.

ඒ, සුලබ මුදල් අච්චු ගැසීමේ පැරණි ක්‍රමවේදයන්ට පිටින් එකවරම හඳුණාගත නොහැකි දෛනික මෙහෙයුම් ක්‍රියාවලියේ ප්‍රතිපාදන උපයෝගී කර ගනිමිනි.

ඔක්තෝබර් මාසයේ රුපියල් බිලියන 150 කට වැඩි අතිරික්ක මුදලක් වානිජ්‍ය බැංකු විසින් දිනපතා මහ බැංකුවේ තැම්පත් කරමින් තිබිය දී, අඩු පොලියට වාර සහ එක්රැය (overnight action) වෙන්දේසි ක්‍රමය යටතේ රු. බිලියන 25 සිට 55 දක්වා අඛණ්ඩව දිනපතා පොම්ප කළේය.

ඒ, සමස්ත සල්ලි උත්පාදන හෙවත් මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවලිය සරළව මෙසේ දැක්විය හැකිය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාවර ණය පහසුකම් පොලිය තැම්පත් සඳහා (SDFR) 8.25%  ක් සහ ණය (SLFR)  9.25% ක් විය.

2024.11.01 එක් රැය වෙන්දේසියේ (overnight action) SLF 8.25% ක පොලියට රු. බිලියන  185.53 ක් වානිජ්‍ය බැංකු විසින් මහ බැංකුවේ තැම්පත් කර ඇත.

2024 ඔක්. 30 දින රු. බිලියන 214.73, ඔක්. 29 දින රු. බිලියන  201.32, ඔක් 28 දින රු. බිලියන 205.89 ක් ද ලෙස ස්ථාවර පහසුකම් (Standing Facilities) තැම්පතු මහ බැංකුවට ලැබී ඇත.

සරළවම මහ බැංකුවේ ස්ථාවර පහසුකම් තැම්පතු  ඔක්. 08 සිට ඉදිරියට අඛණ්ඩවම රු. බිලියන 150 සීමාවේ පැවතියේය.

අන්තර් බැංකු හුවමාරුවේ මුදල් ගණුදෙනු අවසන් වූ පසුව ද, මෙරට බැංකු  පද්ධතියේ රු. බිලියන 185. සිට 214 දක්වා අතිරික්ත මුදලක් තිබූ බව එහි සරළ අදහසය.

මෙසේ තිබිය දී,  ඔක්. 15, සිට 17 දක්වා එක් දිනකට රු.බි. 25 බැගින් ද, ඔක්. 21 රු. බිලියන 55 ක් ද, ඔක්. 22 සිට 25 දක්වා දිනකට රු. බිලියන 40 බැගින් ද,  ඔක්. 28-30 දක්වා රු. බිලියන 30 බැගින් ද මහ බැංකුව විසින් අඩු පොලියට (8.5% සිට 8.6% දක්වා) මුදල් පොම්ප කර ඇත.  එහි සරළ තේරුම, ස්ථාවර පහසුකම යටතේ 9.25% ක පොලියට එක් රැය සහ වාර වෙන්දෙසියෙන් මුදල් ලබා ගැනීම වෙනුවට 0.75%ක පමණ අඩු පොලියකට මහ බැංකුවෙන් මුදල් නිකුත් කර ඇති බවය. අඩු පොලියට මුදල් නිකුත් කළ විට බැංකු පැනලා ගන්නේය.

මුදල් අච්චු ගැසීම හෙවත් Money Printing හි සරළ අර්ථයෙන් ගත් විට අවශ්‍ය මුදල් තිබිය දී අඩු පොලියට, තවත් මුදල් තොගයක් මහ බැංකුව විසින් අතහැර දමා/පොම්ප කර ඇත.

ප්‍රමාණවත් අතිරික්ක මුදල් බැංකු පද්ධතියේ තිබිය දී, අඩු පොලියට ණය ලබාදීමේ ක්‍රමයක් මහ බැංකුව පසුගිය මාසය පුරා අඛණ්ඩව නඩත්තු කරමින් සිටින්නේ ඇයි? යන ප්‍රශ්නයට කැබිනට් ප්‍රකාශක, මහ බැංකුව හෝ වෙනත් වගකිව යුතු අංශ පිළිතුරු දී නැත.

විපක්ෂය, සිවිල් සමාජය හෝ ජනමාධ්‍ය එ් ප්‍රශ්ණය මහ බැංකුවට හෝ රජයට යොමු කර නැත. රටට අවශ්‍ය එවැනි විචක්ෂණශීලි විපක්ෂයකි. සිවිල් ක්‍රියාකාරීත්වයකි.

දැනට දින 7ක් වන මේ මුදල් පොම්ප කිරීම, අවශ්‍ය නම් දින 14, 21 ආදී වශයෙන් වාර කාලය දීර්ඝ කිරීමට ද හැකිය. එවිට මේ අච්චු ගැසීමේ යාන්ත්‍රණය තවදුරටත් සංකීර්ණ වන්නේය.

ආණ්ඩුවේ ආර්ථික විශේෂඥයින් රු. බිලියන 25 -50 දක්වා මුදලක් දිනපතා, අඩු පොලියට අඛණ්ඩව පොම්ප කළේ ඇයි ද යන්න පැහැදිලි කළ යුතුව ඇත. එමගින් රටේ උද්ධමනය කොපමණ ප්‍රමාණයකින් ඉහළ නැංවීම ඔවුන් සැලසුම් කර ඇති දැයි යන්න පළමු අතුරු ප්‍රශ්නය යි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ, 2024 සැප්තෑම්බර් මස පුරාම ස්ථාවර පහසුකමේ SDF අගය රු.බිලියන 100 ක් ආසන්නයේ විචලනය විය.

ජනාධිපතිවරණයෙන් පසුව, ඔක්තෝබර් මාසය මැද භාගයේ සිට එකවරම රු. බිලියන 200 ට දක්වා ඉහළ නැග එම අගයේ අඛණ්ඩව දින ගණනාවක් පැවතීයේය.  එම තත්වය ඇතිවීමට අඩු පොලියට මුදල් පොම්ප කිරීම හේතු වූ බව අනුමාන කෙරේ.

මුදල් අච්චු ගැසීම ගැන මෑතක් වන තුරුම තිබුණේ එක් 1950 දශකයේ මුදල් පනතේ විධිවිධාන පමණී. මහ බැංකුවට මුදල් අච්චු ගැසීමේ ඒ සාම්ප්‍රදායික යාන්ත්‍රණය නව මුදල් පනත මගින් අහෝසි විය.  ‘මහ බැංකුවට දැන් මුදල් අච්චු ගසන්නට බැරි යැයි‘ ජනප්‍රිය වැකිය ව්‍යවහාරයට ආවේ ඒ නිසාය.

නමුත්, ඒ නීතියට පිටින් විවිධ තාක්ෂණික උපක්‍රම යොදාගනිමින්, කාලයෙන් කාලයට මුදල් අච්චු ගසා ඇත. මහජනතාවට විවර වුණු ක්‍රම වෙනුවට දැන් මහජනතාවට වැඩිපුර හුරු නොවූ සහ අවධානය යොමු නොවූ මුදල් සැපයුම් ක්‍රම ද මහ බැංකුවට ඇත. වාර සහ එක් රැය වෙන්දේසිය (Term & overnight action) වචන අර්ථයෙන්ම මුදල් අච්චු ගැසීමකි. පද්ධතියට මුදල් නිකුත් කිරීමකි.

මහ බැංකුව නිදහස් ස්වාධීන ආයතනයකි.  එබැවින් දේශපාලනය පසෙක තබා මෙම තත්වය ආර්ථික විද්‍යාව මුලධර්ම අනුකුලව විග්‍රහ කර ගත යුතුව ඇත.

මහ බැංකුව උත්සහ දරමින් සිටින්නේ, උද්ධමනය 4 – 5% ක ප්‍රමාණය දක්වා ඉහළ නැංවීමට බව පැහැදිලිය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සෑම විටම උත්සහ කළේ උද්ධමනය පාලනය කිරීමටය. එහි ප්‍රතිඑලය එනම් අවධමන තත්වයක් මේ වන විට රටේ තිබේ. මහ බැංකුව සතු අභියෝගය නම්, මේ අවධමන තත්වය, නැවත උද්ධමන තත්වයක් බවට ප්‍රස්ථාරය වෙනස් කිරීමය.

සංකල්පීයව, මුදල් අච්චු ගැසීම තුලින් බලපෑම් දෙකක් සිදුවන්නේය. පළමුවැන්න, පොලී අනුපාත පහත වැටීමයි. දෙවැන්න, උද්ධමනය වැඩිවීමයි. (එය ජනතාවට දරාගත හැකිවන ප්‍රමාණයකින් පාලනය කිරීමට මහ බැංකුවට හැකි වෙතැයි අපි ප්‍රාර්ථනා කරමු.)

රනිල් වික්‍රමසිංහ පාලනය හා අනුර කුමාර පාලනය අතර වෙනස නම්, රනිල් දෛනිකව ආර්ථිකයේ සෑම අංශයක්ම සිය ආර්ථික උපදේශකයින් සමඟ, සමීපව අධ්‍යයනය කරමින් නිසි කලමනාකරණයකට ලක්කර පාලනයෙන් ගිලිහී නොයන ලෙස කලමණාකරණය කිරීමය.

දේශපාලනඥයින් හා ඉහළ කවයේ දේශපාලන පත්වීම් ලැබූ නිලධාරීන්/උපදේශකයින් කිසිවෙකුත් ආර්ථිකයේ හැසිරීමත්, මුල්‍ය වෙළඳපොල පිළිබඳ ගැඹුරු අවබෝධයක් තිබුණේ ද යන්න සැක සහිතය. හිටපු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න සල්ලි අච්චු ගැසීමේ කාල බෝම්බය පුපුරවා හරින විට එයට නිසි පිළිතුරක් දීමට හෝ රජටට නොහැකි වූවේ ඒ නිසාමය.

රජිත් කීර්ති තෙන්නකෝන්
රජිත් කීර්ති තෙන්නකෝන්

theleader.lk

 

Social Sharing
අවකාශය නවතම