“ජන සභා” සංකල්පය රජය විසින් අහෝසි කරයි

ජාතික ජන සභා සංකල්පය අක්‍රීය කිරීමට ගනු ලැබු තීරණය පිළිබඳවයි.

සක්‍රීය ජනතා සහභාගීත්වයක් තහවුරු කරන සහභාගීත්ව ප්‍රජාතාන්ත්‍රවාදී ආකෘතියක් ලෙස බලාත්මක කිරීමට සැකසුනු “ජන සභා” සංකල්පය පසුගිය සැප්තැම්බර් 30 දා සිට බලපවත්නා පරිදි රජය විසින් අහෝසි කර “ජන සභා” ලේකම් කාර්යාලය ද වසා දමා ඇත.
“ජන සභා” සංකල්පය රටට හඳුන්වා දෙන ලද්දේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසිනි. ඒ සඳහා උපයෝගී කරගන්නා ලද්දේ මහත්මා ගාන්ධිතුමා විසින් හඳුන්වාදුන් දැනට ඉන්දියානු ව්‍යවස්ථාගතව ඇති “පංචායත් සංකල්පයයි”. එය ශ්‍රී ලංකාවට අනුරූපව අප විසින් සකස් කර ඇත. එහි දී අප උනන්දු වූයේ ගම පිළිබඳ තීරණ ගැනීමේ ක්‍රියාවලියකට පරිධියේ සිටින ජනතාවගේ සහභාගීත්වය තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ස්වේච්ඡා ආයතන ව්‍යුහයක් නිර්මාණය කිරීමටයි. එවැනි සමාජ ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය කෙරෙහි නිදහසින් පසු අවස්ථා ගණනාවකදීම අවධානය යොමු වී තිබිණි. 1971 හා 1989 තරුණ අසහනය, 2022 අප දුටු තරුණ නැගිටීම එවැනි හැඟීම් පිළිඹිබු වූ අවස්ථා ලෙස අපි දකිමු.
ඒ අනුව ඈත අතීතයට විහිදී ගිය ගම් සභා ක්‍රමය, ඉන් පසු පළාත් පාලන ව්‍යුහය, ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල සාර්ථකව දියත් කර ඇති “ජන සභා” වැනි සංකල්ප සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් අධ්‍යයනය කර සමාජගත කරන ලදි. එම යෝජනාවට සමාජයේ ඉහළ පිළිගැනීමක් හිමි විය.
2022 එවකට පැවති රජය මෙම මූලික සංකල්පය පිළිගෙන 2023 ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට ද ඇතුළත් කර ඒ සඳහා කැබිනට් අනුමැතිය ද ලබා දී හිටපු සිවිල් සේවා නිළධාරියෙකු ලේකම්වරයා ලෙස හා අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකුගෙන් සමන්විත කාර්යාලයක් වෙන් කර දී එය ක්‍රියාත්මක විය. රජයේ ඉල්ලීම පරිදි අපගේ සහභාගීත්වය ද පූර්ණ වශයෙන් ලබා දෙනු ලැබිණි. අත්හදා බැලීමක් වශයෙන් කැබිනට් අනුමැතිය අනුව දිස්ත්‍රික්ක 24 ක ආදර්ශ “ජන සභා” 29 ක් පිහිටුවා ඇති අතර මේ සෑම ආයතනයක්ම ඉතාමත්ම සාර්ථකවඉදිරියට යමින් පැවතිණ. ආදිවාසී නායකතුමන් ද දැඩි උනන්දුවකින් මේ වෙනුවෙන් කැප වී සිටින බව ලිඛිතවම ප්‍රකාශ කර ඇත. මෙම සංකල්පය පිළිබඳව පුද්ගලයින් 114000 ක් සමඟ පැවති සංවාදයන්හිදි ඔවුන් විසින් ද මෙම වැඩපිළිවෙළ ඉහළ ඇගයීමකට ලක් කර ඇත. එමෙන් ම මේ රටේ සර්ව ආගමික නායක උතුමන්ලා මෙන් ම ප්‍රජා මූල සංවිධාන බොහෝමයක් මෙම සංකල්පයේ ඇති වැදගත්කම පෙන්වා දෙමින් සැම විටම අප දිරිමත් කළ බව ද සඳහන් කරනු කැමැත්තෙමු.
කරුණු එසේ වුවද මේ රටේ ග්‍රාමීය ජනතාව තම පක්ෂ යාන්ත්‍රණයන් තුළ සිරකරුවන් ලෙස තබාගැනීමට අපේක්ෂා කළ පසුගිය රජයේ දේශපාලකයින් කිහිපදෙනෙකු මේ සඳහා සහයෝගය නොදුන් නිසා හිටපු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවට අවශ්‍ය පාර්ලිමේන්තු නිර්දේශ ලබා දීම ප්‍රමාද විය. පාර්ලිමේන්තුවේ සිටි ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ අති බහුතරයක් සහ සමාජයේ බහුතරයක් දෙනා මෙම සංකල්පය ඉහළින් පිළිගෙන ඇතත් පසුගිය රජය තුළ කටයුතු කළ පසුගාමි සුළු පිරිසක් නිසා මෙම සංකල්පය ඉදිරියට ගෙනයාමට බාධා ඇති විය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිවිල් ව්‍යාපාරයක් වශයෙන් අප විසින් විවිධ අවස්ථාවන්වල දී ඉදිරිපත් කළ යෝජනාවන් දෙස පැවති රජයන් සිය අවධානය යොමු කිරීම අපට ධෛර්යයකි. ලංකාවේ ආණ්ඩුකරණයේ විප්ලවීය වෙනස් කිරීම් ඇති කිරීමට හැකි වූ 17 වැනි සංශෝධනය, තොරතුරු දැනගැනීමෙ පනත වැනි ඓතිහාසික පනත් බිහි කිරීමට මුල් වූ ක්‍රියාකාරීන් තවමත් අප සමඟ සක්‍රීයව කටයුතු කරමින් සිටී.

මැතිවරණ වියදම් හා අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම, අල්ලස් හෝ දූෂණ විරෝධී පනත වැනි වැදගත් පනත් ගෙන ඒමට එදා සිටි රජය හා හිටපු අධිකරණ අමාත්‍යවරයා සමඟ මේ රටේ සිවිල් සමාජය විශාල මෙහෙවරක් ඉටු කරන ලදි. එමෙන්ම පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා නැවත සක්‍රීය කරවාගැනීමට හා ශක්තිමත් කරගැනීම සඳහා ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අනෙකුත් සිවිල් සංවිධාන සමඟ පෙරමුණ ගෙන ක්‍රියා කළේය.
මෙම පැහැදිලි කිරීම රජය ගත් තීරණයක් අභියෝගයට ලක් කිරීමක් නොවේ. මෙම සංකල්පයේ තත්කාලීන අවශ්‍යතාවය හා වැදගත්කම පෙන්වා දීමක් පමණි. එමෙන් ම රජය මෙවැනි තීරණයක් ගැනීමේදී ඒ් ගැන අප වැනි සංවිධාන සමඟ සාකච්ඡා කළේ නම් එය රටේ පොදු යහපත උදෙසා පෙනී සිටින සිවිල් සමාජ සංවිධාන වෙත කල හැකිව තිබු ගෞරවයක් වන බව ද සඳහන් කරනු කැමැත්තෙමු.
එමෙන්ම සමාජ යහපත පෙරදැරිව අප අපේක්ෂා කළ ජනසභා ක්‍රමය කුමන නාමකරණයකින් හෝ වේවා යථාර්ථයක් බවට පත් කිරීමට වත්මන් රජය අපේක්ෂා කරන්නේනම්, එයට අප සංවිධානය පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව ද වැඩිදුරටත් සඳහන් කිරීමට කැමැත්තෙමු.

සුනිල් ජයසේකර
මහලේකම්
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

Social Sharing

නවතම පුවත්