වදහිංසාවට එරෙහිව පොලිසියට දී ඇති අධිකරණ තීන්දු ක්‍රියාත්මක කරන්න!

Court rulings against torture by police

සැකකරුවන්ට එරෙහිව වධ හිංසනය ගැන පොලිසියට එරෙහිව අධිකරණය ලබා දී ඇති තීන්දු ක්‍රියාත්මක කරන ලෙස මාධ්‍ය සංවිධානයක් ඉල්ලයි.

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න වෙත ලිපියක් යොමු කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ පොලිසිය මගින්  නීති විරෝධී අත් අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් හා වධ හිංසාවන්ට ලක් කිරීම් වලට එරෙහිව වසර ගණනාවකට සිට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ මානව හිමිකම් කොමිෂන් සභාවේ තීන්දු ලබා දී ඇතත්, ඒවා ක්‍රියාත්මක නොකර දිගින් දිගටම පොලිස් හිංසනය දියත් කරන බවයි.

ඉකුත් වසර කිහිපය තුල මානව හිමිකම් කොමිසම මගින් පොලිස් හිංසනයට එරෙහිව තීන්දු 51 සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නඩු විභාග 14 කදී සැකකරුවන් ට වධ බන්ධනයට ලක් කිරීම ගැන පොලිස් නිලධාරින් 25 කට වැඩි පිරිසකට එරෙහිව තීන්දු ලබා දී තිබේ.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයා පත් වීමට පෙර, අගෝස්තු 22 වැනිදා විභාග කළ මුලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ “එක් තීන්දුවක් ලියා පෑනේ තීන්ත වේලිමට ප්‍රථම තවත් එවැනිම සිදුවීමක් වාර්තාවන බවයි”.

හම්බන්තොට, සුරියවැව ප්‍රදේශයේ ජාතුන් ගමගේ  ප්‍රියන්ත නම් තරුණයකු විසින් පොලීසියට එරෙහිව සිය මුලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් මෙම පෙත්සම ගොනුකර තිබුණි.

එහිදී ලබා දුන් නිදේශයන් අතර පොලිස් වධ හිංසා ගැන තීන්දු ක්‍රියාත්මක කිරීමට  මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට ද බරපතල වගකීමක් ඇති බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අවධාරණය කර ඇත.

“පොලිසියේ නායකත්වය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මෙම තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුය. නායකත්වයට පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පමණක් නොව පොලිසිය පවරා ඇති අමාත්‍යවරයා සහ විෂය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ද ඇතුළත් වනු ඇත. ජාතික පොලිස් කොමිසම ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍ය වේ.”

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් ප්‍රශ්න කරන ලද අවස්ථාවේ පොලිසිය භාර අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ පොලිස් නිලධාරීන්ට එරෙහි අධිකරණ තීන්දු ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවයි.

“පවතින තත්ත්වයට ඵලදායී ලෙස අවධානය යොමු නොකළහොත්, වධහිංසා සහ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඬුවම් නතර නොකළහොත්, මෙම අධිකරණයේ ඉදිරි තීන්දු තීරණ නායකත්වයට සහ පොලිසියේ ඉහළ කළමනාකාරීත්වයට එරෙහිව සම්බාධක අඩංගු විය හැකිය. එය ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ අපරාධ විමර්ශන ක්‍රියාවලියේ වධහිංසා පැමිණවීමේ, කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඬුවම් තුරන් කිරීමට ඔවුන් අසමත් වීම මත පදනම් වනු ඇත,” යි තරුණ ජනමාධ්‍යවේදියෝ අනතුරු අඟවා තිබේ.

www.theleader.lk

Social Sharing
අවකාශය නවතම