M. W අමිතා කුමාරි අනුරාධපුරය දහයියාගම ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි කාන්තාවකි. ඇය පසුගිය මැයි මස කුවෙට් රාජ්‍ය බලා පිටත් වූයේ පූජනීය නම් විදේශ රැකියා ආයතනය හරහාය. මැය එරටට ගොස් නිවසක මසක් පමණ සේවයේ නිරත වී සිටිය දී ඇයට මුත්‍රා සමඟ රුධිරය පිටවීමක් සිදු වී ඇත. ඒ පිළිබඳ මැය විසින් නිවැසියන්ට දැන්වීමෙන් පසුව ඔවුන් කුවෙට් විදේශ රැකියා ආයතනයට ඇයගේ අසනීපය පිළිබඳව දන්වා ඇත. එම අවස්ථාවේ දී කුවෙට් විදේශ රැකියා ආයතනයෙන් ඇය අසනීප වූ බව පූජනීය විදේශ රැකියා ආයතනයට දන්වා ඇති අතර එවිට එම ආයතනයෙන් ඇයට දුරකථනයෙන් අමතා පරුෂ වශයෙන් අපහසාත්මකව බැණ වැදි ඇත.
පසුව ඇය සිය ස්වාමි පුරුෂයා සමඟ දුරකථනයෙන් සංවාදයේ යෙදි සිටින විට ඇයගෙන් දුරකථනය උදුරාගෙන ඇයට පහර දී, අනතුරුව ඇයට සුවඳ විලවුන් වීදුරුවක් ගුටි බැට දෙමින් පොවා ඇයව ඒජන්සියට ගෙනත් දමා ගොස් ඇත. ඉන් අනතුරුව ඇයට කිසිදු බෙහෙතක් නොදෙමින් සති දෙකක කාලයක් රඳවාගෙන ඇයට ලැබීමට තිබු ඩිනාර් 120ක මාසික වැටුප ඇයට නොදී ඇති අතර ඇයගේ ස්වාමි පුරුෂයාගෙන් ලක්ෂ 3 ½ක මුදලක් පූජනීය විදේශ රැකියා ආයතනයෙන් ලබාගෙන ඇයව නැවත ලංකාවට එවා ඇත. මේ සම්බන්ධයෙන් ඇය විදේශ සේවා නියුක්ති කාර්‍යන්ෂයට පැමිණිළි 10ක් පමණ සිදුකර ඇති නමුත් මේ වන තුරු කිසිදු සාධාරණයක් ඉටු නොවී ඇති අතර ඇයගේ පැමිණිල්ල වසා දැමීමට විදේශ සේවා නියුක්ති ආයතනයේ නිලධාරින් ඇයට නිතර කරදර කරන බවද වාර්තා වේ.