ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන අතරින් බණ්ඩාරවෙලට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. ඒ දේශගුණික පරිසරය නිසාත් අවට පරිසරයේ ඇති අසීමිත සුන්දරත්වයත් හේතුකොට ගෙනය.
විදේශිකයින් මෙන්ම මෙරට සංචාරකයින්ගේද සංචාරය සඳහා දැඩි කැමැත්තක් ඇති බණ්ඩාරවෙල නගරයට ගිය විට අප මතුපිටින් දක්නා සුන්දරත්වය එහි වෙසෙන වැසියන්ගේ ජිවිත වල නොමැත. ඔවුන්ගේ ජිවිත කථා අසුන්දර වුයේ මීට වසර හත අටකට ඉහතදීය. ඊට පෙර ඉතා හොඳින් ඔවුන් ජිවත් විය.
බණ්ඩාරවෙල ඇතුලු අවට ප්‍රදේශ රැසක වැසියන්ගේ ජිවිත උඩුයටිකුරු වුයේ සංවර්ධන ව්‍යාපෘතියක් හේතුකොටගෙනය. ඒ උමා ඔය බහුකාර්ය සාධන ව්‍යාපෘතියයි. මෙය මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරටට ගෙන ආ විශාලතම බහුකාර්යය ව්‍යාපෘතිය වේ. විදුලිය නිපදවීම, වාරි ජලය, පානීය ජලය, ගංවතුර පාලනය වැනි අංග කිහිපයක් මෙම ව්‍යාපෘතියට අයත් බැවින් මෙය බහුකාර්ය ව්‍යාපෘතියක් ලෙස හඳුන්වනු ලැබීය.
ඉතිහාසයේ සිටම මෙරට විවිධ රජයන් පත්වන විට ඒ ඒ ආණ්ඩු විවිධ ව්‍යාපෘති ගෙන ආවේය. මෙයද එසේ ගෙන ආ ව්‍යාපෘතියකි. 2008 වසරේදීය. උමා ඔයේ ජලාශයක් ඉදි කිරීම පිලිබඳ 1987 දී පළමුව යෝජනා පැමිණියද ඒවා ක්‍රියාත්මක වුයේ නැත. නමුත් 2008 වසරේදී රුපියල් මිලියන 26 ක් වැනි විශාල මුදලක් උත්සව වලට පමණක් වියදම් කරමින් අප්‍රේල් මාසයේ 29 වෙනි දින උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට වැල්ලවාය, අලිකොටආරේදි මුල්ගල් තැබුනේ එවකට අග්‍රාමාත්‍යව සිටි රත්නසිරි වික්‍රමනායක හා ඉරාන ඉස්ලාමීය ජනරජයේ වාණිජ අමාත්‍ය මීර් රසාමිගේ ප්‍රධානත්වයෙනි.
මෙම ව්‍යාපෘතිය මඟින් හම්බන්තොට දෙවන අන්තර්ජාතික ගුවන්තොටුපල, හම්බන්තොට කර්මාන්තපුරය, හම්බන්තොට වරාය, හම්බන්තොට තෙල් පිරිපහදුව සඳහා ජලය ගෙන යාම මෙම ව්‍යාපෘතියේ ප්‍රධානම අරමුණු වී තිබුණි. මෙය ක්‍රියාත්මක කිරිමට මෙකී බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා කිසිදු ශාක්‍යතා අධ්‍යනයක් හෝ පාරිසරික අධ්‍යනයක් නොමැතිව දේශපාලන උවමනා මත මුල් ගල තැබීම එවකට සිදු විය. සිදු වු ශාක්‍යතා අධ්‍යනය වුවේද මුල්ගල තැබීමෙන් පසු ජුලි මාසයේදීය.
මෙම ව්‍යාපෘතියේ භූගත කැණිම් හා වේලි ඉදි කිරීම ඇතුලු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක දෙකකට අයත් බණ්ඩාරවෙල, හාලි ඇල, වැලිමඩ, ඌවපරණගම, ඇල්ල හා වැල්ලවාය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල පවුල් 7550 කට පමණ බලපෑම් එල්ලවන්නට විය. ඒ භූගත උමං කැණිමෙන් ඇති වි තිබෙන මහා ජල කාන්දුවීම් නිසාය.
රටේ පරිසරවේදීන්ගේ, එහි ජනතාවගේ විරෝධතා මැද උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති කටයුතු නැවතුනේ නැත. එය දිගටම කරගෙන යාමට පවත්නා රජයන් කටයුතු කලේය.
මේ නිසා එහි ජිවත් වන ජනතාව අද ගැටලු රැසකට ගොදුරුව ඇත. ඔවුන්ගේ නිවාස ඉරි තලා ගොස් ඇත. ඒවා කොයි මොහොතේ හිස මතට කඩා වැටේදැයි කිව නොහැකිය. සියලු ළිං ඇතුලු ජල මුලාශ්‍ර සිදී ගොස් ඇත. බීමට ජලය නැත. වගා කීරිමට ජලය නැත. ඉඩම් අහිමි වුවන්ට තවමත් ඉඩම් ලැබී නැත්තේය. තවත් පිරිසකට වන්දි ලැබී නැත. වන්දි ලබා දීමට ජාතික ගොඩනැඟිලි හා පර්යේෂණායතනයෙන් කළ තක්සේරු වාර්තා එකිනෙකට පරස්පර වීමෙන් තවත් පිරිසක් අසරණ වී ඇත්තේය.
දැන් උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය සියයට අසුවක් පමණ අවසන් වෙමින් පැවතියද ව්‍යාපෘතිය නිසා අවතැන් වු ජනතාවගේ ගැටලු තවමත් එකතැනය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු බණ්ඩාරවෙල, උඩුවගෙදර පදිංචි ආර්.එම් ධම්මික බණ්ඩාර (44)
මේ මගේ උපන් ගම. මට ගෙවල් තුනක් තියෙනවා. අපි එදා ඉඳලම වී වගා කරගෙන තුන්වේලම හොඳට කාපු මිනිස්සු. ඒත් දැන් 2014 ඉඳලා අපි ලොකු ගැටලුවකට මුහුණ දීලා තියෙන්නේ. මේ උමා ඔයේ භූගත උමං මාර්ගය යන්නේ අපේ පහල වෙල හරහා. මට ස්ථාන තුනක ගෙවල් තුනක් තියෙනවා. මහ ගේ හොඳටම කඩා වැටිලා. අනෙක් ගෙවල් පුපුරලා ගිහින් තියෙන්නේ. මම පදිංචි වෙලා ඉන්න ගෙදරට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් තක්සේරු කලේ රුපියල් 63,000 යි. ඒත් වත්ත පහළ තියෙන පොඩි කාමර කෑල්ලට රුපියල් එක් ලක්ෂ හැත්තෑ පහක් තක්සේරු වුණා. මහ ගෙදරට රුපියල් එක් ලක්ෂ විසිදහසක් තක්සේරු කළා. මෙයාලා මේ තක්සේරු කරපු විදිහ මොකද්ද කියන්න අපි අදටත් දන්නේ නැහැ. ඒ වගේම තක්සේරු වාර්තා අපට ලැබිලත් නැහැ. ඒ නිසා අපි දැන් තොරතුරු දැන ගැනීම පනත යටතේ ඉල්ලා තියෙනවා මේ වන්දි ලබා දෙන්න තක්සේරු කළ ආකාරය ගැන.
සමහර ගෙවල් වලට ලක්ෂ හය හත තක්සේරු කරලා තියෙනවා. සමහර අයට පුර්ණ තක්සේරු වන්දි ලැබුණා. අපිට තාම නැහැ. අද අපිට ගොවිතැන් කරන්න වතුර නැහැ. වෙනදා වී වගා කරපු කුඹුරු අද තැනින් තැන ගිලා බැහැලා.
අපිට බොන්න වතුර එන්නේ දවස් 14 කට වරක්. ඒකත් ප්‍රමාණවත් නැහැ. අපිට වතුර පුරවගන්න දීලා තියෙන්නේ ලීටර් 500 පොඩි ටැංකි. ඒවා මේ වතුර පුරව ගන්න ප්‍රමාණවත් නැහැ.
මෙහිදි ඩබ්.ඒ සමරනායක මහතා කියා සිටියේ වෙනදා වී බුසල් 80 ක් ගත් පර්චස් 80 ක ඉඩම තක්සේරු වුයේ ලක්ෂ පහයි දහ අටට බවය. ඔවුන් මහ කන්නයේ වී ද යල කන්නයේ එලවලු වගා කිරීම සිදු කර ඇති අතර දැන් ඒ සියල්ල අහිමිව ගොස් ඇත.
මෙහිදී අදහස් දැක් වු පි.එම් ප්‍රේමතිලක මහතා කියා සිටියේ තමන්ගේ නිවසට ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයෙන් තමන්ට පරස්පර ප්‍රකාශ ලබා දී ඇති බවයි.
උමා ඔය ව්‍යාපෘතිය නිසා මොහුගේ නිවස සහිත ඉඩම පදිංචියට නුසුදුසු බව ප්‍රකාශ කර පළමුව 2017-01-06 දින ලිපියකින් ප්‍රකාශ කර ඇත. ඉන් කියා ඇත්තේ තාවකාලික නිවාස වෙත යන ලෙසය. මාස හයකට ගෙවල් කුලී ලබා දීමටද එහිදී එකඟත්වය පළ කර ඇත. නමුත් 2019-05-13 ලිපියකින් නැවත ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය ප්‍රේමතිලක මහතාට දන්වා ඇත්තේ එම ඉඩම පදිංචියට ස්ථාවර බවට සහතික කරමිනි.
මේ නිසා ප්‍රේමතිලක මහතා උභතෝකෝටික ගැටලුවකට මුහුණ දී ඇත. තමන්ගේ කඩා වැටීමට ආසන්න නිවස පදිංචියට සුදුසු වන්නේ කෙසේද යන්නය.
උඩපේරුවේ පිහිටා ඇති ජුම්මා පල්ලියද එසේ අවදානම් තත්ත්වයට පත් ගොඩනැගිල්ලකි. සෑම සිකුරාදා දිනකම මෙහි පුජාවන් පැවැත්වෙන අතර ඊට 150 කු පමණ සහභාගි වන බව ප්‍රදේශවාසින් පවසයි. එම ගොඩනැගිල්ල මේ වන විට පවතින්නේ හිස මතට කොයි මොහොතේ කඩා වැටේදැයි කිව නොහැකි තත්ත්වයකය.
එමෙන්ම මේ වන විට කොලතැන්නේ, රිප්ටන් වත්තේ ජනතාවද පසුවන්නේ මර බියෙනි. ඒ ඔවුන්ගේ ඉඩම් නාය යෑමට පටන් ගෙන ඇති නිසාය. ඔවුන් පොඩි වැස්සටත් සරණ පතා දුව යන්නේ පල්ලේපේරුවේ ප්‍රජා ශාලාව වෙතය.
දැනටම ගෙවල් 22 ක් ආපදාවට ලක් වීම නිසා ඉවත් කිරීමට තීරණය කර ඇත. ඇල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් පවසා ඇත්තේ ඔවුන්ට ලක්ෂ 16 ක මුදලකට පර්චස් 10 ක ඉඩමක පිහිටි නිවසක් සොයා ගන්නා ලෙසය. එසේ සොයා ගන්නා නිවස මහා මාර්ගය අයිනට විය යුතු අතර පාසල්, ආගමික ස්ථානද සමීපව පිහිටිය යුතු බවටද කොන්දේසි පනවා ඇතැයි ඔවුන් කියා සිටියි. එවැනි ඉඩමක් ඔවුන්ට සොයා ගැනීම අපහසු බව රිප්ටන් වතුයායේ වැසියන් පවසයි.
මේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිසා තවමත් මේ ජනතාවගේ ජිවිත ඇත්තේ උඩියටිකුරුවය. දේශපාලන හිතවත්කම් මත ඇතමුන්ට සහන සැලසුනද සහන නොලැබුණු බොහෝ පිරිසක් තවමත් මේ ප්‍රදේශ වල සිටින බව එහි කළ සංචාරයේදි අපට නිරීක්ෂණය විය.
මැතිවරණ සමයේ දේශපාලඥයින් ලබා දුන් පොරොන්දු ඔවුන්ට සිහිනයකි. නුදුරු දිනකදී උමාඔය ව්‍යාපෘතිය අවසන් වී උත්සවාකාරයෙන් විවෘත කෙරුණු ඇත. ඉන් ගලා යන ජලය තුල ගැබ්ව ඇත්තේ ව්‍යාපෘතියෙන් අවතැන් වු ජනතාවගේ සෝ සුසුම් බව කිසිවකු නොසිතනු ඇත.
-ශානිකා මාධවී-