මනෝ සමුගෙන වසර තුනක්……!
කෙසෙල්ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න නුවරඑළිය දිස්ත්‍රික්කයේ දෙහිපේ ගම්මානයේ ඉපැදී, එහිම හැදී වැඩී, දෙහිපේ ප්‍රාථමික පාසල සහ පොරමඬුල්ල මැදි විදුහලෙන් මූලික අධ්‍යාපනයත්, පේරාදෙණි සරසවියෙන් ප්‍රථම උපාධියත්, ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි/ඩිප්ලෝමා සහ ආචාර්ය උපාධියත් ලබමින්, රජයේ සේවයෙහි යෙදෙන අතරතුරදීම කලා සහ සාහිත්‍ය නිර්මාන කටයුතුවල යෙදුණු, විශේෂයෙන් ප්‍රශස්ථ මට්ටමේ නාට්‍ය කලාවක් වෙනුවෙන් දැනුම, නිර්මාණ ශ්‍රමය සහ ජීවිතය ද කැපකළ, සාධාරණ සමාජයක් ප්‍රාර්ථනා කළ මිනිසෙකි.
වේදිකාව, සිනමාව හා රූපවාහිනිය යන මාධ්‍ය සියල්ලම ජයගත් විශිෂ්ට රංගධරයකු වූ ඔහු තම ජීවන චාරිකාව 2020 වසරේ ජනවාරි 12 දින අලුයම් යාමයේ අවසන් කළේය. 1948 ජූනි 12 දා උපත ලද ඔහු මිය යන විට හැත්තෑ එක්වැනි වියේ පසු වූ අතර කලක සිට රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියේය. මනෝගේ රංගන දිවිය ආරම්භ වූයේ පොරමඬුල්ල මහා විද්‍යාලයේ සිසුවකුව සිටි සමයේය. 1966දී පාසල් වේදිකාවේ ‘අස්පගුඩුං’ නාට්‍යයේ රඟපාමින් රංගනයේ අත්පොත් තැබූ මනෝරත්න අවසානයේ වේදිකාව, ටෙලිනාටකය හා සිනමාව යන කලාංග ත්‍රිත්වයම ජයගනිමින් දශක පහක් පුරා රසික හදවත් තුළ ජීවත් විය.
තම කලා ජීවිතයට ළමා වියේ සිට බලපෑ සාධක පිළිබඳව මනෝ තබන සටහනක මෙලෙස සඳහන් කරයි. කෘෂි ආර්ථික රටාවකට යොමුවුනු, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක, හෘදයංගම සහ ළෙන්ගතු දෙහිපේ ගැමියන් මෙන්ම, වරින් වර කුඹුරේ, කමතේ, ලියද්දේ රඟ දැක්වුණු සොකරි, කිඳුරු ගැමි නාටක ද, බලියාග, කෙම්බර, පිංකම, හඟුරන්කෙත පෙරහැර ආදිය ද, මගේ පසුකාලීන සංස්කෘතික ක්‍රියාකාරකම් වලට අතිශය ශක්තිමත් පාදමක් විය.
දෙහිපේ ප්‍රාථමිකයේ ළපැටි වියත්, පහේ ශිෂ්‍යත්වයෙන් ජය ලබා පොරමඬුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ළමා වියත් ගෙවී ගියේ එකම වසරකදී හෝ අසමත්වීම නැමැති අත්දැකීම නොලබමිනි. බාලක නේවාසික පරිසරයේ දෛනික සැලසුම් සහගත ජීවිතයත්, ඉගෙනුම් මඟෙහි මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වල සමතුලිතව කාලය කළමනාකරණය කර ගැනීමත්, විශේෂයෙන් අවසන් වසර දෙක තුළ ක්‍රීඩාව සහ වේදිකා නාට්‍ය විෂයන් හී උපරිම ඵල නෙලාගැනීමත් නිසාම පොරමඬුල්ල ජීවිතය ඉදිරි ගමන් මඟට ශක්තිමත් අත්තිවාරමක් විය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවදියේ ඔහුට මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබිණි. තම විශ්වවිද්‍යාල ජීවිතය පිළිබඳව මනෝ මෙලෙස සඳහන් කරයි.
‘සිරිලක පමණක් නොව අග්නිදිග ආසියාකරයේම අති සුන්දර සහ අති විශිෂ්ට සරසවියක් වුණු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්වීම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. උසස් අධ්‍යාපනයෙහි ප්‍රශස්ථ ක්‍රමික පාඨමාලා සැකැස්ම මෙන්ම එවකට රටෙහි සිටි ශ්‍රේෂ්ඨතම ගුරැ දෙවිවරුන් ගේ සෙවන ද අනාගත දිවිය තීරණය කිරීමේ සාධනීය සාධකයක් විය..’
විශ්වවිද්‍යාලයේදී ඔහු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය ගනනාථ ඔබේසේකර, මහාචාර්ය සිරිගුණසිංහ, මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන, මහාචාර්ය තම්බයියාපිල්ලේ, මහාචාර්ය ආනන්ද කුලසූරිය, මහාචාර්ය හේමපාල විජේවර්ධන, මහාචාර්ය කාල් ගුණවර්ධන, මහාචාර්ය පී.ඊ.ඊ. ප්‍රනාන්දු, ආචාර්ය සිරිමා කිරිබමුණ, ආචාර්ය ජේ.බී දිසානායක, මහාචාර්ය ම.ව. සුගතපාල ද සිල්වා, මහාචාර්ය ආරිය රාජකරුණා, මහාචාර්ය රම්මන්ඩල, මහාචාර්ය කේ.එන් ජයතිලක, මයිකල් ප්‍රනාන්දු, කේ.එන්.ඕ.ධර්මදාස, ඒ.කේ.ගුණසේන, කුසුමා ජයසූරිය, ආචාර්ය බර්ටි ගංගාධාර ආදීන්ගෙන් සුසැදි ආචාර්ය මණ්ඩලයක් යටතේ අධ්‍යාපනය ලැබීය. විශ්වවිද්‍යාලයේදී ඔහු නාට්‍ය කලාවට යොමු වූයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මඟ පෙන්වීමෙනි.
සිංහල නාටකයේ නව වංශ කතාව ආරම්භ කල මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මෙම කාල වකවානුවේදී සිංහල පිළිබඳ අපගේ ආචාර්යවරයා බවට පත් වීමත්, එතුමාගේ නවතම නාට්‍යය වූ ‘ප්‍රේමතෝ ජායතී සෝකෝ’ හී ප්‍රධාන භූමිකාව සඳහා තේරීමත් කලාභාවිත දිවි ගමනේ ශක්තිමත් පදනම විය.
ජයලත් මනෝරත්න සමඟ දසක පහකට අධික කාලයක් සහෝදරත්වයන් ජීවත්වූ සමීප මිතුරකු වන බුද්ධදාස ගලප්පත්තිට මනෝ හමුවන්නේ මේ කාලයේය. බුද්ධි තම අත්දැකීම් මෙලෙස හෙළි කළේය.
‘මනෝගෙයි මගෙයි මිත්‍රකම පටන් ගන්නේ 1970 වගේ කාලේ. එතැන ඉඳලා ඔහුගේ මරණය සිදුවූ දවස වෙනතෙක් ඒ මිත්‍රකම පැවතුණා.. 1969 සිට මම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ, සිංහබාහු, පේමතෝ ජායතී සෝකෝ’ වැනි නාට්‍යවල දෙවැනි නිෂ්පාදනවල අංග රචනා ශිල්පියා ලෙස කටයුතු කළා. 1970 වර්ෂයේ මනෝ ‘සිංහබාහු’ නාට්‍යයේ ගම් වැසියකු ලෙස සුළු චරිතයක් රඟපෑවා. ‘සිංහබාහු’ නාට්‍යයේ ප්‍රධාන අංග රචනා ශිල්පියා වූයේ පද්මකුමාර එදිරිවීර. මම ඔහුගේ සහය අංග රචනා ශිල්පියා වුණා. අපේ මිතුදම ඇරඹෙන්නේ ඒ කාලයේ පටන්. පසුව මහාචාර්ය සරච්චන්ද්‍ර පේරාදෙණියේ සිසුන් හා විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සිසුසිසුවියන් සම්බන්ධකරගෙන නාට්‍ය කළා. ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍ය යේ දෙවැනි නිෂ්පාදනයේදී ප්‍රධාන නළුවා වූ ඔහුත් අංග රචනා ශිල්පියා වූ මාත් අතර සමීප මිතුදමක් ඇති වුණා.
1971 මමත් මනෝත් සුනිල් ආරියරත්නත් එක්ව කවි පොතක් එළි දැක්වූවා ‘දොලොස් මහේ පහන’ නමින් ඒ කාලයේ සුනිල් විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙක්. ඔහුගේ අවසන් විභාගය පැවැති නිසා පොත සම්බන්ධයෙන් වෙහෙසෙන්න සිදු වුණේ මටයි මනෝටයි. අපි මහගම සේකර හොයගෙන ගොස් පොතට පිට කවරයක් ඇඳ ගත්තා. මහාචාර්ය විමල් දිසානායක සොයා ගොස් පෙරවදනක් ලියා ගත්තා. මේ හැම වැඩකදිම අපි දෙන්නා එක්ව කටයුතු කළා. ඒ වන විට මනෝ කෙටි කතා පොතක් පලකර තිබුණා ‘වැහි එනතුරු’ නමින්. අපේ කවි පොත පල කිරීමේ අදහස ආවේ මනෝට. සුනිල් එක්කත් අපේ දැඩි මිත්‍රකමක් තිබූ නිසා ඔහුවත් කවි පොතට සම්බන්ධ කර ගත්තා.
ඒ කාලයේ මනෝ විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා කොළඹ පදිංචිව සිටියා. නිශ්ශංක දිද්දෙනියත් හිටියේ ඔහු එක්කයි. අපි පදිංචි වෙලා හිටියේ නුගේගොඩ ප්‍රදේශයේ. මනෝ සහ දිගා නිතර අප නිවසට ආව ගිය මිත්‍රයන්. ඇත්තටම මිත්‍රකමකට වඩා අප අතර ලොකු සහෝදර බැම්මක් තිබුණා. මගේ පවුලේ අය විශේෂයෙන් මගේ මව ඔවුන්ට සැලකුවේ තමාගේම දරුවන්ට වගේ. මනෝට අසනීප වුණු අවස්ථාවල මගේ මව ඔහුට කොත්තමල්ලි පවා හදලා දීලා තියෙනවා. ඒ තරම් සමීප බැඳීමක් ඔහුත් අප පවුලත් අතර තිබුණා. අප විවාහ වීමෙන් පසුවත් ඔහු මිය යන තෙක්ම ඒ පවුල් බැඳීම් එලෙසම පැවතුණා’
විශ්වවිද්‍යාලයෙන් පිටවී යළි ගමට ගිය මනෝ හා හා පුරා රැකියාවකට ගියේ හඟුරන්කෙත තිස්සපැල පිරිවෙනටය. ඒ භූගෝල විද්‍යාව උගන්වන ගුරුවරයකු ලෙසිනි. ‘මගේ මාසික වැටුප රුපියල් හැට පහයි. මුල්ම වැටුපෙන් රිකිල්ලගස්කඩ හන්දියෙන් බැස අම්මාට රුපියල් 32කට වොයිල් සාරියක් සහ ගෙදරට බඩුමුට්ටු ටිකක් ද ගෙන නිවසට ඇතුළු වුණේ රටක් රාජ්‍යයක් ලද මහා රාජයකු වගේ කියලයි මට මතක’. ඔහු තම අතීතය පිරිමදින්නේ එලෙසය.
දෙවනුව නුවරඑළිය මැතිවරණ කාර්යාලයට අනුබද්ධ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අනියම් ලිපිකරුවකු ලෙස සේවය කළ මනෝ. පරිපාලන විභාගයෙන් සමත් වූයේ එහි සේවය කරන අතරය. නිශ්ශංක දිද්දෙනිය මනෝ කොළඹට කැඳවාගෙන ගියේ නාට්‍ය ලෝකයට එක් කිරීමේ අරමුණිනි. එහෙත් ඔහුගේ අලුත් රැකියාව යළිත් කොළඹින් බැහැරට ඔහු ගෙන ගියේය. අලුත් රැකියාව මහවැලි සංවර්ධන අධිකාරියේ සංවර්ධන නිලධාරි තනතුරකි. ඈත හද්දා වන්නියේ කලා වැව පරිශ්‍රයටය. එච් කලාපයේ මහවැලි ව්‍යාපෘතියට යටවුනු ගෙවල් හිමියන්ට අලුතින් ඉඩම් බෙදාදීමේ රාජකාරිය ඔහුට පැවරිණි. සතියේ දිනවල මහවැලියේ රාජකාරි කළ ඔහු සති අන්තයේ කොළඹ පැමිණ නාට්‍ය දර්ශනවලට සහභාගි විය. ඔහු රැකියාවක් රංගනයත් සමබරව කරගෙන ගියේය. තම පළමු නවකතාව ‘දවස තවමත් තරුණයි’ ඔහු ලිව්වේ මේ කාලයේය.
‘මගේ මුද්‍රිත පළමු පොත වුණේ ‘වැහි එනතුරු’ නැමැති කෙටිකතා පොත. ඒ පේරාදෙණි සරසවියේ දෙවැනි වසරේ දී. මිළ රුපියලයි. දෙවැනි පොත කවි පොතක්. ‘දොලොස් මහේ පහන’. ඒක කලේ සුනිල් ආරියරත්න සහ බුද්ධදාස ගලප්පත්ති එක්කයි. කවි ලියලා මුද්‍රණය කලේ අයි.පී.බී මුද්‍රණාලයේ. ඊළඟට කෙටි කතා පොතක් කළා බුද්ධි එක්කම. ‘පියසේන සහ කුමාරිකාව’ කියලා. ‘දවස තවමත් තරුණයි’ නවකතාව. ‘මිනිහට නින්ද යන්ට ඇති’ කෙටි කතා පොත. ‘සිංදුයි බිංදුයි’ සහ ‘ගල්වඩුරාල’ ළමා රංගන පොත. මාගේ වේදිකා රචනා සියල්ලම වගේ මුද්‍රණය කලා. අන්දරේලා, කනෙරු මල්, ගුරු තරුව ඉන් කීපයක්. පොත් හතරකට රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණා“ ඒ මනෝගේ මතකයන්ය.
වේදිකා නාට්‍ය නිෂ්පාදනයට පිවිසි මනෝ නිෂ්පාදනය කළ පළමු නාට්‍යය ‘පුත්‍ර සමාගම’ වූ අතර ඔහු විසින් රචනාකොට නිෂ්පාදනය කළ පළමු නාට්‍යය මහගිරිදඹය. ඉන්පසු ‘තලමල පිපිලා කනේරු මල්, අන්දරේලා, ගුරුතරුව, සුදු රෙදි හොරු, ලෝකය තනි යායක්, හඬ නිහඬ, බූරුවා මහත්තයා, සෙල්ලම් නිරිඳු’ වැනි නාට්‍ය ලියා නිෂ්පාදනය කළේය.
‘මනෝ රාජ්‍ය නාට්‍ය උළෙල පහක හොඳම නළුවා සම්මානය දිනා ගත්තා – ඒ රතුහැට්ටකාරි, පුත්‍ර සමාගම, ද්විත්ව, තලමල පිපිලා, සොක්‍රටීස් යන නාට්‍යවලට. ඉන් තුනක අංග රචනා කෙළ් මම’. බුද්ධදාස ගලප්පත්ති සිහිපත් කරයි. මනෝ ජාත්‍යන්තර සම්මාන උලෙළකදී ද හොඳම නළුවා ලෙසටද සම්මාන ලැබීය. ඒ ග්ලෝබල් බයස්කෝප් ඉන්ටර්නැෂනල් චිත්‍රපට උළෙලේදී ඔහු රඟපෑ සූවිසි විවරණ සිනමාපටය සඳහාය. රාජ්‍ය නාට්‍ය සම්මානවලට අමතරව ඔහු ජනාධිපති, සිග්නිස්, සරසවි, සුමති වැනි සිනමා හා රූපවාහිනී සම්මාන උලෙළයන්හි සම්මානයට පාත්‍ර විය.
මනෝ මුලින්ම සිනමා කැමරාවකට මුහුණ දුන්නේ 1974 දීය. ඒ ධර්මසේන පතිරාජ නිපදවූ වාර්තා චිත්‍රපටයකටය. ඉන්පසු ‘හඳයා, සිරිබෝ අයියා, මංගල තෑග්ග, සිසිල ගිනිගනී, ස්ත්‍රී, පුංචි සුරංගනාවි, සූරිය අරණ, භේරුණ්ඩ පක්ෂියා. හෝ ගාන පොකුණ’ වැනි සිනමාපට රැසකට තම රංගන දායකත්වය ලබා දුන්නේය.
මනෝ ආචාර්ය උපාධි දෙකක් දිනූ මිනිසෙකි. පළමුවැන්න පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පිරිනැමුණු සාහිත්‍ය සූරි ගෞරව ආචාර්ය උපාධියයි. ඔහු ලබාගත් අනෙක් ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කළ නිබන්ධය වූයේ ‘සිංහල නාටකයේ ප්‍රාසාංගික කලාත්මක වර්ධනය‘ යන්නයි.
මනෝ ඉතාම සුන්දර මිනිසෙකි. ඔහුගේ ජීවිතය ගෙවුණේ සැහැල්ලුවෙනි. උදාර මානව හිතවාදියෙකි. ඔහු සැම විටම අපේක්ෂා කළේ යහපත් සමාජයකි. ඔහු මෙරට සිටි අති දක්ෂ රංගන ශිල්පීන් ටික දෙනා අතුරින් ඉදිරියෙන්ම සිටියේය. ඔහු පක්ෂ දේශපාලනයේ නොයෙදුණෙකි. හැම විටම ප්‍රගතිශීලී කඳවුර නියෝජනය කළේය. ඔහු තාන්න මාන්න හඹා ගියේ නැත.. දේශපාලකයන් පසුපස ගියේ නැත. ඔහු ගෞරව පූර්ව මිනිසෙකි.
‘ඔහු මගේ ජීවිතයේ හමුවුණු ඉතාමත් සුන්දර මිනිසෙක්. නාට්‍යවල සම්බන්ධයටත් වඩා ඔහු අප පවුලේම සාමාජිකයකු බඳු වුණා. අපේ ගෙවල්වල මොනයම් හෝ උත්සවයක් තිබුණොත් මනෝ අනිවාර්යයෙන්ම එතැන. ඒ වගේම ඒ හැම අවස්ථාවකම පොඩ්ඩක් පදම් වෙනකොට අනිවාර්යයෙන්ම ජසයා හා ලෙන්චිනා නාට්‍යය රඟපාන්නේ උත්සවයට පැමිණි සියල්ලන් සිනා සයුරේ ගිල්වමින්. නාට්‍ය කණ්ඩායම දුර බැහැර ප්‍රෙද්ශවල රඟ දක්වන්න යනකොට මුළු බස් රථයම සිනා සයුරේ ගිල්වන්නේ මනෝ. මේ ගමන්වලදී නාට්‍ය ගීත වගේම පැරුණි චිත්‍රපට ගීත කියන්නත් මනෝ හරි කැමතියි. මිල්ටන් පෙරේරාගේ ගීත ඔහුගේ ප්‍රියතම ගීත. නාට්‍ය දර්ශන අවසන් වෙලා ආපසු එන විට ඔහු අනිවාර්යයෙන්ම ගයන ගීතයක් තිබුණා. ඒ නාරද දිසාසේකරගේ පුෂ්ප මකරන්දය මාගේ කියන ගීතය. එම ගීතයේ පද පේළිය මේ වගේ – පුෂ්ප මකරන්දය මාගේ – භෘංග මදිරා රස ඕගේ – බොන්න තව මන්ද ප්‍රමාදේ කියන තැනදි මනෝගේ ගායනය එක තැන නවතිනවා. ඔහු දිගටම ගයන්නෙ – බොන්න තව මන්ද ප්‍රමාදේ, බොන්න තව මන්ද ප්‍රමාදේ, බොන්න තව මන්ද ප්‍රමාදේ කියලා..
තැටිය ප්‍රතිවාදනය වෙන්නේ මොකද කියලා අපි කවුරුත් දන්නවා. ඉතින් කට්ටිය මොනව හරි සප්පායම් වෙනවා එතකොට. ඔහුගේ එවැනි හාස්‍ය මුසු සිදුවීම් රැසක් තියෙනවා. ඔහු හා ගෙවුණු සුන්දර සැඳෑවල් අපමණයි. දසක පහක් පුරා මම ඔහු සමීපවම ඇසුරු කළා. අවසාන කාලයේ ඔහු කතාබහ නොකරන තත්ත්වයට පත්වන තෙක් අපි ළඟින්ම හිටියා. ඔහු රෝහලේ සිට නිවසට පැමිණ මාස කිහිපයකට පසු සංඥා නැති වුණා. මම ඔහු බලන්න ගියාම අතින් අල්ලගෙන වචනයක් දෙකක් කතාකරනවා. අවසන් මාස දෙකේ ඔහුගේ කිසිම සංඥාවක් තිබුණේ නැහැ. ඒත් ගිය අවුරුද්දේ කපිල කුමාර කාලිංගට ස්වර්ණ පුස්තක සම්මානය හිමි වූ අවස්ථාවේ මම මනෝ බලන්න ගියාම ඒ ගැන ඔහුට කිව්වා. ඔහු ඉතා අසීරුවෙන් යමක් සිහියට නඟාගෙන මට මෙහෙම කිව්වා. කොච්චර කාලේකට පස්සෙද කියලා කිව්වා. ඔහු ඉන් අදහස් කළේ කපිලට එවැනි සම්මානයක් හිමිවිය යුතුව තිබුණේ ඊට බොහෝ කලකට පෙර බවයි. ඉන් පසුව ඔහු කතාබහ කළේ නැහැ. ඔහු බලන්න ගිහින් ටික වෙලාවක් ඔහු දිහා බලන් ඉඳලා මම ආපහු හැරී එනවා. ඔහු සයනයේ නිහඬව වැතිර සිටින අයුරු මට තදබල වේදනාවක් ගෙන දුන්නා. ඔහු කලින් ගෙවූ ජීවිතයත් පසුව සිටි නිශ්චල තත්ත්වයක් මට දරාගත නොහැකි වුණා. මට හිටිය සමීපතම මිතුරකු දැන් අහිමි වෙලා’ ඒ බුද්ධදාස ගලප්පත්ති වියෝ වූ තම මිතුරාගේ අවසන් දින කිහිපය පිළිබඳ පැවසූ වදන්ය.
මනෝ සමග වැඩකිරීමේ මතක සටහන් මටද තිබේ. අපි කපිල කුමාර කාලිංගගේ ‘රයිනෝසිරස්’ නාට්‍යයේ හා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ ‘සොක්‍රටීස්’ යන නාට්‍යවල එක්ව වැඩ කළෙමු. මනෝ එහි ප්‍රධාන නළුවා වූ අතර මම වේදිකා පරිපාලකවරයා වීමි. ඔහු පිළිබඳ මතකය බෙහෙවින් සුන්දර වන්නේ අදටත් ඒවා ආවර්ජනය කරමින් සිත සැහැල්ලු කරගත හැකි බැවිනි.
ලෝකය ඔසවා සිටින ඇට්ලස් යෝධයා යනු ආදරයයි. ලෝකයේ විශිෂ්ටතම වචනය අපි. ලෝකයේ ශ්‍රේෂ්ඨතම වචනය ආදරය. ඒ මනෝගේ ආදරණීය සිතුවිලිය. ආදරණීය මනෝ ඔබ ලොව හැර ගියද ඔබ ජීවත් වූ සුවඳ දසත පැතිර තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
උපුටාගැනීමකි