2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත වතාවක් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් හිමි ආණ්ඩුවක් බලයට පත් වී තිබේ. මින් පෙර ඉතිහාසයේ මෙසේ තුනෙන් දෙකේ බලයක් ලැබුණු අවස්ථා වන්නේ 1956, 1970 සහ 1977 යි. 1970 දී තුනෙන් දෙකේ බලයක් ලබාගත් සමගි පෙරමුණු රජය 1972 දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නේ ය. එම රජය පරාජය කරමින් 1977 පාර්ලිමේන්තු මැතිවරණය ජයගත් එක්සත් ජාතික පක්ෂයට තනිව ම හයෙන් පහක බලයක් ලැබිණි. එම පක්ෂය 1978 දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදුවේ ය.
වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවට තනිව තුනෙන් දෙකේ බලයක් නැතත්, ඔවුන් ඉතා පහසුවෙන් තුනෙන් දෙකේ බලය ලබාගනු ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 128 ක් ජයගෙන ජාතික ලැයිස්තුවේ ආසන 17ක් සමග ආසන 145ක් දිනාගෙන තිබේ.
ඔවුන් සමග සමීපව ක්‍රියා කරන පක්ෂ අතරින් ඩග්ලස් දේවානන්දා නායකත්වය ඊලාම් ප්රජාතන්ත්රවාදී ජනතා පක්ෂය ( EPDP ) යාපනයෙන් හා කිලිනොච්චියෙන් ආසන දෙකක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම යාපනය දිස්ත්‍රික්කයෙන් තරග කර එක් ආසනයක් ද, අතාවුල්ලා නායකත්වය දෙන ජාතික කොංග්‍රසය දිගාමඩුල්ලෙන් එක් ආසනයක් ද, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයන් නායකත්වය දෙන දෙමළ මහජන විමුක්ති කොටි ( TMVP ) මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් ද, අතුරලියේ රතන හිමි නායකත්වය දෙන අපේ ජන බල පක්ෂය ජාතික ලැයිස්තුවෙන් එක් ආසනයක් ද දිනාගෙන තිබේ.
මේ සමග ආණ්ඩුවට ආසන 151 ක තුනෙන් දෙකේ බලයක් හිමි වන බව පෙනේ.
සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයන් 2015 ඔක්තෝබර් මාසයේ සිට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියි. ඒ 2005 දෙසැම්බර් මාසයේදී දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසනයක් හිමි වී තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයෙනි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රී අංගජන් රාමනාදන් තේරී පත් වී තිබේ. රාමනාදන්ගේ පියා බැසිල් රාජපක්ෂගේ සමීප හිතවතෙකු බව වාර්තා වේ.
එසේම, එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්වන මන්ත්‍රීවරයා මෙන් ම, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අතරින් ඇතැමෙකු ද තුනෙන් දෙකේ බලය ආණ්ඩුවට ලබා දීම සඳහා එකතු වීමට ඉඩ තිබේ.
මුස්ලිම් විරෝධීභාවය හේතුවෙන් බොහෝ විට අතාවුල්ලා හෝ වෙනත් මුස්ලිම් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් කර නොගැනීමට ඉඩ තිබේ.
තමිල් මක්කල් තේශීය කුට්ටනි පක්ෂයෙන් යාපනය දිස්ත්‍රික්කයෙන් තේරී පත් වී සිටින විග්නේශ්වරන්ගේ සහයෝගය ද ආණ්ඩුවට ලැබෙන්නට ඉඩ තිබේ.
ආණ්ඩුවේ තවත් හිතවතකු වන කරුණා අම්මාන් තරග කළේ අහිලා ඉලංකයි තමිල් මහා සභා නම් පක්ෂයකින් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට ය. එහෙත්, ඔහු තේරී පත්වන්නට අසමත් වී තිබේ. ඔහුගේ පක්ෂය ඡන්ද 29,000 කට වඩා ලබාගෙන තිබේ.
සමගි ජන බලවේගය ප්‍රධාන විපක්ෂය බවට පත් වනු ඇත. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක වනු ඇත. එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත් විය. ඔවුන්ට ලැබුණේ ජාතික ලැයිස්තුවෙන් එක් ආසනයක් පමණි. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරන ලද බහුතර කණ්ඩායම වන සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය මුළුමනින් ම යොමු වී තිබුණේ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීම සඳහා ය. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මෙමගින් පසුබැස්මක් සමග පක්ෂය පිරිසිදු කරගැනීමක් අපේක්ෂා කරන්නට ඇතිමුත්, මෙතරම් දරුණු පරාජයක් නම් අපේක්ෂා කරන්නට නැත. මෙම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ද ආරාවුල් ඇති වී එක්සත් ජාතික පක්ෂය තවත් දුර්වල වන්නට ඉඩ තිබේ. එසේම, සමගි ජන බලවේගය විසින් එක්සත් ජාතික පක්ෂයේ අයිතිය නැවත ලබාගැනීම සඳහා උත්සාහ කරන්නට ද ඉඩ තිබේ. මෙම කණ්ඩායම් දෙක වනාහි දේශපාලන ගැටුම් කළමනාකරණයෙහි මුළුමනින් ම අසමත් පිරිසකි.
ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දුන් ජාතික ජන බලවේගයට ලැබුණු ආසන සංඛ්‍යාව තුනකට සීමා විය. 2015 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ තනිව තරග කර ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා ලක්ෂයක් පමණ අඩු ඡන්ද 445,958ක් ජාතික ජන බලවේගයට ලැබී තිබේ. හම්බන්තොට හා කළුතර දිස්ත්‍රික්කවලින් ලැබී තිබුණු නියෝජනය ද ජාතික ලැයිස්තුවේ එක් මන්ත්‍රී ධුරයක් ද අහිමිව ආසන සංඛ්‍යාව හයේ සිට තුන දක්වා පහත වැටී තිබේ. ආසන්න මැතිවරණ දෙකකට ජවිපෙ තරඟ කළ සන්ධානය වූ ජාතික ජන බලවේගය දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් කෙතරම් දුරට සාර්ථක ද යන්න ජවිපෙට නැවත සලකා බලන්නට සිදු වනු ඇත. විශේෂයෙන් ම නාගරික, උගත්, මධ්‍යම පංතික ජන පදනමට සීමා නොවී ගොවි, කම්කරු වැනි පහළ පන්තික හා ග්‍රාමීය ජනයා අතර සිය පදනම් වෙත ආපසු යාමට ජවිපෙ අවධානය යොමු කරන්නට ඉඩ තිබේ.
දෙමළ ජාතිකවාදී දේශපාලනය තුළ දෙමළ ජාතික සන්ධානයේ හෙවත් ඉලංකයි තමිල් අරසු කච්චි ආධිපත්‍යය අභියෝගයට ලක් වී තිබේ. වඩා ජාතිකවාදී සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයට ආසන දෙකක් හිමි වී තිබේ. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් හා එස්. ගජේන්ද්‍රන් මනාපවලින් නැවත පාර්ලිමේන්තුවට ඒමට ඉඩ තිබේ. එසේම, දෙමළ මහජන ජාතික සන්ධානයෙන් හිටපු මහ ඇමති සී.වී. විග්නේශ්වරන් ද පාර්ලිමේන්තුවට පත් වනු ඇත. දෙමළ ජාතික සන්ධානයේ ආසන සංඛ්‍යාව හයකින් අඩු වී තිබේ. ඡන්ද සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවකින් අඩු වී තිබේ.
මුස්ලිම් දේශපාලනය තුළ දැකිය හැකි විශේෂ ලක්ෂණයක් වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් අහිමි වී ගොස් තිබුණු මුස්ලිම් නියෝජනය නැවත ලබාගැනීම සඳහා එම දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව මුස්ලිම් ජාතික සන්ධානය ලෙස වෙනම තරග කරමින් ගත් ක්‍රියාමාර්ගයේ සාර්ථකත්වයයි. අතීතයේදී මුස්ලිම් නියෝජනය වෙනුවෙන් ම බේරුවල, හාරිස්පත්තුව වැනි බහු ආසන තිබුණු කළුතර, මහනුවර වැනි දිස්ත්‍රික්කවලට ද මෙය අනාගත පූර්වාදර්ශයක් විය හැකි ය. කළුතර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාවට ද දැන් දශක ගණනාවක් තිස්සේ වාර්ගික පදනමින් පාර්ලිමේන්තු නියෝජනය අහිමි වී තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණය එතරම් විස්මය ජනක යයි මම නම් නොසිතමි. මෙම ජයග්‍රහණයේ ලක්ෂණ මීට අඩු මට්ටමින් හෝ පෙනෙන්නට තිබුණු ඒවායි. ඔවුන් ජයගත්තේ මහජන අපේක්ෂාවන් ගැන අවබෝධයක් තිබුණු නිසා ය, අනෙක් අය ද එසේ විය යුතු ය ආදී වශයෙන් ජවිපෙ වැනි පක්ෂවලට උපදෙස් දෙන පොහොට්ටුවාදීන් සමාජ මාධ්‍යවල දැන් වැහි වැස තිබේ. මේ අතර ඇතැමෙකු ජවිපෙ කරට පය තබා දේශපාලන, පෞද්ගලික හා ව්‍යාපාර සාර්ථකත්වයට ගොඩනැගුණු අයයි. මහජන අපේක්ෂාවන් යනු සංකීර්ණ විෂයකි. ඒ ගැන පුළුල් විග්රහයකට ගියහොත් එය තරමක් අප්‍රසන්න විය හැකි ය. එහෙත්, සරලව මෙසේ කිව හැකි ය. මහජනතාවට අවශ්‍ය තමන්ගේ විශාල මහන්සියකින් තොරව, තමන්ට පහසු හා ස්ථාවර ආදායම් මාර්ග සහිතව, පාරිභෝජනවාදී කාමසුඛල්ලිකානුයෝගී ජීවිතයක් ගත කරන ගමන්, තමන් විසින් පත් කරන ලද දේශපාලකයන් විසින් කුමන හෝ ආකාරයකින් රට දැවැන්ත සංවර්ධනයක් කරා ගෙන යාමයි. ඒ අතර, සිංහල – බෞද්ධ ජනතාවට ජනවාර්ගික හා ආගමික ආධිපත්‍යය තහවුරු කරගැනීම හා අතීතයේ තිබුණු බව විශ්වාස කරන ජාත්‍යන්තර පරිමාණයේ කීර්තිය නැවත අත්පත් කරගැනීමේ ආශාවක් ද තිබේ. තව දුරටත් විශ්ලේෂණය කරගෙන ගියහොත් කුල හා ලිංගික ආධිපත්‍යයන් ආදිය ගැන ද කතා කිරීමට සිදු වන බැවින් මහජන අපේක්ෂාවන් පිළිබඳ විග්රහ කිරීම මේ මොහොතේ මෙතනින් නවතමි. ජවිපෙ වැනි පක්ෂ පැරදුණේ මහජනතාවට ගරු නොකිරීම නිසා ය වැනි අදහසක් පතුරුවමින් තිබේ. එය බොරුවකි. ජවිපෙ හා ජාතික ජනතා බලවේගය විසින් සිදු කළේ මහජනතාව උගතුන් විසින් මෙහෙයවිය යුතු බවට අදහසක් සන්නිවේදනය කිරීමයි. මහජනතාවට බුද්ධිමත් නායකත්වයක් අවශ්‍ය බව බොරුවක් නොවේ. එහෙත්, ‘ඇත්ත මිනිසුන්’ වැනි ඒකාකෘතික තේමා විසින් ජාතික ජන බලවේගය සාමාන්‍ය ජනතාවගෙන් දුරස්ථ කළ බව මගේ පෞද්ගලික හැඟීමයි. කෙසේ වෙතත්, ප්රගතිශීලී දේශපාලන පක්ෂයක් ජනප්‍රිය මහජන අපේක්ෂාවලට යට විය යුතු නැත. දේශපාලන නායකත්වය යනු සියුම් ලෙස ජනතා අපේක්ෂා සාධනීය ලෙස වෙනස් කිරීමයි.
‘ජනතා අපේක්ෂා’ ඉටු කිරීමට වත්මන් ආණ්ඩුව කෙතරම් දුරට සමත් වේ ද යන්න අපැහැදිලි ය. මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඇත්තේ ඍණ අගයක බව වාර්තා වේ. ආණ්ඩුව හමුවේ අභියෝග රැසක් තිබේ. ඔවුන් විසින් ඉදිරි වසර පහ සඳහා පැහැදිලි සැලැස්මක් තවමත් ඉදිරිපත් කර නැත. මේ අතර ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව විසින් අර්ධ මිලිටරි ස්වරූපයේ පාලනයක් පිළිබඳ අදහස් ඉදිරිපත් කර තිබෙනු දැකිය හැකි විය. කෙසේ වෙතත්, පවත්නා ආර්ථික අර්බුදය හමුවේ තිබෙන ණය ආපසු ගෙවීමට පවා දැඩි ක්‍රියාමාර්ග ගන්නට ආණ්ඩුවට සිදු වනු ඇත. පසුගියදා ආණ්ඩුව ඉන්දියාවෙන් මුල්‍ය අතමාරුවක් කරගත්තේ ය. කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට එරෙහි වර්ජනය මතු වූයේ ඒ සමග ය. වර්ජනය අවසන් කරන ලද මුත්, වෘත්තීය සමිති ඉල්ලා සිටි පරිදි වරාය පෞද්ගලීකරණය කරන බවට ලිඛිත පොරොන්දුවක් ආණ්ඩුව ලබා දුන්නේ නැත.
රාජපක්ෂවාදය යනු හුදු දේශපාලනයක් නොවේ. යුද ජයග්‍රහණය සමග නිර්මාණය වූ සිංහල බෞද්ධ අධිපතිවාදී සමාජ අපේක්ෂාවන් නියෝජනය කරන රාජපක්ෂවාදය එක්තරා අන්දමකින් සමාජ ක්‍රමයක් ලෙස අර්ථ දැක්විය හැකි ය. එහෙයින් ආණ්ඩුවේ ඉදිරි මූලෝපායන් තෝරනු ඇත්තේ හුදෙක් ම රාජපක්ෂවාදයේ දෘෂ්ටිවාදීමය අක්ෂයන් විසින් යයි බලාපොරොත්තු විය නොහැකි ය. ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට විකල්ප මාර්ග රැසක් නැත. එම නිසා, ආර්ථික මූලෝපායන් පැත්තෙන් කලින් පැවති ආණ්ඩුවෙන් වත්මන් ආණ්ඩුව වෙනස් වීමට ඉඩ තිබෙන්නේ සුළු වශයෙනි. ජාතික දේපල පෞද්ගලීකරණය, එම්සීසී ගිවිසුම වැනි ගිවිසුම්, චීන ණය පමණක් නොව ජපන් ආධාර ආදී පසුගිය රජය විසින් ආරම්භ කරන ලද බොහෝ කටයුතු වත්මන් රජය විසින් ඉදිරියට ගෙන යනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. ඒවාට ජාතිකවාදී හෝ නව ලිබරල් විරෝධී දෘෂ්ටිවාදීමය ස්ථාවරයන්ගෙන් විශාල සමාජ විරෝධයක් නිර්මාණය වේ යයි බලාපොරොත්තු විය නොහැකි ය. එසේම, අධික බදු, සහනාධාර කප්පාදු කිරීම් මෙන් ම රාජ්‍ය සේවාවන් හැකිළීම් ද, පෞද්ගලික අංශයට හා විදේශ ආයෝජකයන්ට වැඩි වැඩියෙන් දිරි දීම ද සිදු වනු ඇත. ඒ වෙනුවෙන් සේවක අයිතිවාසිකම් සීමා කිරීම පමණක් නොව විරෝධතා මර්දනය ද සිදු වනු ඇත.
කෙසේ වෙතත්, රාජපක්ෂ ආණ්ඩුවකට නොව කුමන ආණ්ඩුවකටවත් වර්තමාන සංදර්භය තුළ සාර්ථක වීමට තිබෙන ඉඩකඩ අවම ය. මත්ද්‍රව්‍ය, පාතාල මර්දනය වැනි ජනප්‍රියවාදී ඇතැම් ක්‍රියාමාර්ග ගත්ත ද, වර්තමාන ආණ්ඩුවේ ම සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යයි චෝදනා ලැබ සිටින පිරිස්වලට කිසිදු හානියක් සිදු වේ යයි සිතිය නොහැකි ය. ඒ වෙනුවට කළු සල්ලිවලට තව තවත් රට විවෘත වනු ඇත. ස්වාභාවික නැඹුරුව තිබෙන්නේ දූෂණයෙන් හා භීෂණයෙන් රට ඉහවහා යන්නට ය. එසේ නොවන්නට නම්, අති දක්ෂ නායකත්වයක් අවශ්‍ය ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ සුසංයෝගය ඒ සඳහා කෙතරම් දුරට සමත් වනු ඇද්ද යන්න තවම පැහැදිලි නැත.
රාජපක්ෂවාදයේ වත්මන් තාවකාලික සාර්ථකත්වයට හේතුව වන්නේ මා ඉහත දක්වන ලද සමාජ ක්රමයක ලක්ෂණයයි. ජාතිකවාදයේ හා නවලිබරල්වාදයේ උණු කෝපි හා අයිස්ක්‍රීම් වැනි සම්මිශ්‍රණයක් වන එය ක්‍රමයක් ලෙස ම අර්බුදය නළලේ කොටා තිබෙන එකකි. 2015දී යම් අහම්බයකින් එයට එරෙහි බලවේග ජයග්‍රහණය කළේ ද එම අර්බුදයන්ගේ හේතුවෙනි. එය නැවත සිදුවිය නොහැක්කක් නොවේ. එහෙත්, ස්ථාවරව රාජපක්ෂවාදය පරාජය කිරීමට නම්, විකල්ප ක්‍රමයක් පිළිබඳ පැහැදිලි අදහසක් මහජනතාව වෙත රැගෙන යා යුතු ය. 2015 දී හඳුන්වා දෙන්නට උත්සාහ කළ ලිබරල් යහපාලනය තවදුරටත් රාජපක්ෂවාදයට විකල්පයක් නොවේ. රාජපක්ෂවාදය විසින් ඇතැම් විට එහි ලක්ෂණ ද උකහා ගන්නට ඉඩ තිබේ.
රාජපක්ෂවාදය ඔස්සේ ම ඔලුගෙඩි මාරුවක් සඳහා උත්සාහ කරනවා වෙනුවට වඩාත් ප්‍රායෝගික විකල්පයක් නිර්මාණය කරගැනීම සඳහා සංවාදයක් ආරම්භ කළ යුතු ය. දේශපාලනය නැවත මහපොළව වෙත රැගෙන යා යුතු ය. අනාගතය තිබෙන්නේ මාධ්‍ය දේශපාලනය තුළ නොවේ.
මහජනයා සංවිධානය කිරීම හා බල මුළුගැන්වීම තුළ ය. මෙය අවසානයක් හෝ ආරම්භයක් නොවේ. නැවතී හිතා බලා යළි ගමන් අරඹන්නට අවස්ථාවකි.
අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත – උපුටා ගැනීම praja.lk