අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයේ අභාවය සහ වින්දිතයන්ගේ ඉරණම!

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන පරිව්ඡේදයේ 11 වන වගන්තියට අනුව කිසිම පුද්ගලයකුට වද හිංසාවලට හෝ කෲර අමාණුෂික හෝ අවමන් සහගත සැලකිල්ලට මෙන්ම දඩුවමකට යටත් නොකළ යුතුය බවටත්, 1994 අංක 22 දරණ වද හිංසා සහ කෲර අමාණුෂික අවමන් සහගත සැළකිලි හෝ දඩුවම් වලට එරෙහි සම්මුති පණතෙහි වධ හිංසාව වධ දීම ලෙස අර්ථ දක්වා ඇත.  එසේ තිබියදී ද නීතිය නමා නීතියට පටහැනිව ශ්‍රි ලංකා පොලීසියේ සමහර පොලිස් නිලධාරීන් විසින් යම්කිසි සැකකරුවකු අත්තඩංගුවට ගැණිමේදී හා අත්තඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් ප්‍රශ්න කර පාපොව්චාරණයන් ලබා ගැණීම උදෙසා විවිධාකාර ක්‍රම භාවිතා කරමින් කෲර අමානුෂීක වධ බන්ධනයන් වලට මෙන්ම එකී වධ බන්ධනයන් තුලින් සැකකරුවන් පොලිස් අත්අඩංගුවේදී ඝාතනය කර ඇත.

2015 වර්ෂයේ දී සූරියවැව විහාරගල මංසන්දීය අසලදී එල්. ඒ. සමන්ත යන අහිංසක පුද්ගලයකු කසිප්පු පැකට් එකක් සමග සූරියවැව පොලීසියේ නිලධාරීන් කීප දෙනකු විසින් අත්තඩංගුවට රැගෙන, කසිප්පූ ජාවාරමේ මහ මොළකරු කවුද යන්න විමසමින් සමන්ත යන අයට ප්‍රසිද්ධීයේ අමානුෂික අන්ධමින් පොලු මුගුරුවලින් පහර දී අදාල පොලිස් ස්ථානය වෙතද රැගෙන ගොස් පහරදී ඇත. කෲර වධ බන්දනයට ලක්කර ඇති මොහු පිලිබදව සොයා බැලීමට පැමිණි ඔහුගේ පවුලේ ඥාතීන්ටද මොහුව හමුවීමට හා දුක සැප සොයා බැලීමට අවස්ථාව පොලීසිය විසින් ලබාදී නොමැත. එකී පොලිස් පහරදීම හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසු වූ සමන්තව පොලීසිය විසින්ම සූරියවැව රෝහලටත් ඉන් අනතුරුව හම්බන්තොට මූලික රෝහලටත් රැගෙන ගොස් ඇති අතර, එකී රෝහලේදී මෙම පුද්ගලයා මියගොස් ඇත. එම සිද්ධියට අදාලවද අප මධ්‍යස්ථානයේ මැදිහත් වීම තුලින් මූලික අයිතිවාසිකම් නඩුකරයක් අරඹා අගතියට පත්වූ පාර්ශවය වෙත සහාය පළ කරමින් පසුවේ. එම පහරදීම පිළිබදව කිසිදු පුද්ගලයකු විමතියට පත් නොවිය. ඒ මන්ද පොලීසිය විසින් සැකකරුවකු අත්තඩංගුවට ගැනිමේදී හා අත්තඩංගුවේ පසුවිමේදී  පොලීසිය පහරදීම සාමාන්‍ය සිදුවිමක් ලෙස සිතනා බැවිනි. ජනතාවට එලෙස සිතීමට සලස්වා තිබෙන්නේ ද පොලීසිය හා මාධ්‍යය විසිනි.

පොලිස් අත්තඩංගුවේදී ඝාතනය වන සැකකරුවන් ශ්‍රි ලංකාවේ බීහිසුණු අපරාධකරුවන් බවට වන ප්‍රවෘත්තිය ඔවුන් ඝාථනය විමත් සමගම ප්‍රචාරය විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද ඒ පිළිබදව පුන පුනා ප්‍රකාශ කරන අතර බොහෝ මාධ්‍ය එම ප්‍රකාශ ඒ ආකාරයෙන්ම පල කරති. අවසානයේදී පොලිස් අත්තඩංගුවේදී කුමන පුද්ගලයකු ඝාථනය වූවත් පොලීසිය ප්‍රකාශයක් සිදු කිරීමට පෙර ඝාතනය වූ එම පුද්ගලයා අපරාධකරුවකු ලෙස සාමාන්‍ය සමාජය සිතනා තත්වයට පත්විය. එමෙන්ම වධ හිංසාවෙන් තොරව අපරාධ පරික්ෂණ කල හැකිය. බැලූ බැල්මටම අපට තවමත් ඇත්තේ පැරණි පන්නයේ පොලිස් ක්‍රමයක. වධ හිංසාවෙන් තොරව පොලිස් ක්‍රමය පවත්වාගෙන යා නොහැකිය යන මතය දුර්මතයකි. එය බොහෝ විට නොතලා දරුවන් සැදීම විනාශයක. සැමියා බීරිදට පහරදීම කම්නැත යන දුර්මතවලට සමාන විය හැක. වධහිංසාවට ගොදුරු වන්නා සේම වද හිංසාව සිදු කරන්නාද පරිහානියට පත්වේ. බොහෝ පොලිස් නිළධාරින් බීමතින් යුතුව වදහිංසා සිදු කල බවට ඇතැම්  වින්දිතයන් සාක්ෂි මගින් සනාථ කර ඇත. අපරාද මැඩ පැවැත්වීමේ අරමුනෙන් දැනට අවුරුදු සිය ගණනක සිට පොලිස් නිලධාරින් විසින් මිනිසුන්ට වද හිංසා දෙන්නේය. නමුත් එන්න එන්නම අපරාධ වැඩි විමක් මිස අඩු විමක් නොමැත. වධ හිංසාව භාවිතයෙන් සිදු කරන අපරාද පරික්ෂණ ගුණාත්මක නැත. වධ දීමෙන් පුද්ගලයා ගල් ගැසි මොළයේ ඇතැම් කොටස් අකර්මාන්‍ය වේ. මෙවැනි විකෘති මානසික තත්ව මත ලබා ගන්නා තොරතුරු වලින් පරික්ෂන අවුල් සහගත විය හැක. ස්වාධින නිවරදි තොරතුරු දැන ගැනිමට ඉතා අසීරුය. මෙහි වඩාත්ම බරපතලම කාරණය වන්නේ  අපරාධවලට කිසිදු සම්බන්ධතාවයක් නොමැති අහිංසක පුද්ගලයන්ට ද වධ හිංසනයට ගොදුරු වීමයි.

අප හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙතද  2015 වර්ෂයේ සිට 2020 වර්ෂය තුල නීති විරෝධී ඝාතන 07 ක් පිළිබදව පැමිණිලි ලැබී ඇති අතර එකි පැමිණිලිවලට අනුව අගතියට පත් වූවන් වෙනුවෙන් පෙනී සිටිමින් නීතිය ක්‍රියාත්මක කරලීම උදෙසා මැදිහත් වූ අතර එකී සිද්ධින් 07න් සිද්ධින් 02ක් සදහා වින්දිතයන්ට සහාය දක්වමින් මූලික අයිතිවාසිකම් නඩුකර 02ක් පවත්වාගෙන යාමට Right to life මානව හිමිකම් මධ්‍යස්ථානයේ පූර්ණ දායකත්වය මත සිදුකරන ලදි. එමෙන්ම පොලිස් පහරදීම් සිද්ධින් විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඒ තුලින් බරපතල ගණයට වැටෙනා ලද පොලිස් වධ හිංසා සිද්ධින් 11 ක් වෙනුවෙන් වින්දිතයන්ට සහාය විම උදෙසා නෛතික ක්‍රියා මාර්ග ගැනිමට කටයුතු කළ බවත් එකී පැමිණිලි 11 න් එක් සිද්ධියක් සදහා මූලික අයිතිවාසිකම් නඩුකරයක් අරඹමින් වින්දිතයා හට සහාය වී ඇත. මිනිසෙකු විසින් තවත් මිනිසෙකුට පහරදීම මිලෙජ්ජ හා පිළිකුල් සහගතය. එමෙන්ම මනුෂ්‍ය වර්ගයාට එරෙහිව ක්‍රියාවක් බවට ශිෂ්ඨ සමාජය විසින් පිළිගෙන එවැනි ක්‍රියාවන් වැලැක්වීම සදහා නීති රීති දියුණු ලෝකය විසින් සම්පාදනය කරණු ලැබීය. එමෙන්ම එවැනි ක්‍රියාවන් සිදු කිරීම මිනිමැරීම හා ස්ත්‍රි දුෂණ ගණයට වැටෙනා අපරාධයක් බවට ද පත්කරනු ලැබීය. ශ්‍රි ලංකාවත් එම නීති පිලිගෙන අපගේ නීති පොත්වලට එකතු කරනු ලැබූවත් එවැනි ක්‍රියාවන් මිලෙජ්ච හා අපරාධ ගනයට වැටෙන්නේ මන්ද යන්න පිලිබදව සංවාදයක් හෝ සාකච්ජාවක්  අප සමාජය තුල මතු නොවීය. මෙම නීති සම්මත කරනු ලැබු රජයට ඒ සම්බන්ධව උනන්දුවක් ඇති නොවූයේ රජයත් සෑම විටම වධ හිංසාව පාලනයේ ප්‍රධාන උපකරණයක් ලෙස පාවිච්චි කරනු ලබන බැවිනි.

මේ වනවිට වධහිංසාව ඇතුළු මූලික අයිතිවාසිකම් අඛණ්ඩව උල්ලංඝනය වනවා පමණක් නොව මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයන්ගේ අකර්මණ්‍යතා සහ දුර්වලතා නිසාවෙන් වින්දිතයන් තව තවත් අසරණභාවයට පත්වීම නොවැලැක්විය හැකි ප්‍රතිඵලයක් ව පවතී. මේ සියළු අභියෝග හමුවේ තම මූලික අයිතීන් වෙනුවෙන් හඬ නගන වින්දිතයන් අතලොස්සක් තවමත් ඉතිරිව සිටීම අගය කළ යුතු කරුණකැයි අප සිතන්නේ ඔවුන්ගේ අඛණ්ඩ සටන තුල වඩාත් සාධාරණ ප්‍රතිකර්ම ලැබේයැයි අප විශ්වාශ කරන නිසා නොව මෙරට මූලික අයිතිවාසිකම් ක්ෂේත්‍රයේ අනාගත අභිවෘද්ධිය පිණිස කිසියම් ම හෝ සළකුණු තැබීමක් එමගින් සිදුවන නිසාවෙනි.

සටහන – තරංග එල් පටබැඳි

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment