වීණාවක් නොවී ගැහැණියක් වූ ඇය “වීණා ජයකොඩි”

වීණාවක් නොවී ගැහැණියක් වූ ඇය “වීණා ජයකොඩි”

වීණා ජයකොඩි නම් අති දක්ෂ චරිතාංග නිළිය සම්බන්ධයෙන් පසුගිය දින වල සමාජ මාධ්‍ය තුළදි ඇති වූ සාකච්ඡාවක් ඇති විය. ඒ ඇය විවාද සම්පන්නව සම්මාන කිහිපයකට උරුමකම් කීම නිසාය. ඇය වෙනස්ම නිළියක්.

වීණා ජයකොඩිගේ මුල් නම වන්නේ වර්ජිනියා සන්ධ්‍යා පීරිස් ය. ඇයගේ මව වන්නේ ජනප්‍රිය නිළියක්ව සිටි රෝහිණී ජයකොඩි යි. 1954 දී ඇයගේ මව රංගනයේ යෙදුනු ඒ.බී. රාජ් අධ්‍යක්ෂණය කරන ලද “අහංකාර ස්ත්‍රීය” චිත්‍රපටයේ දැරියක ලෙස රංගනයේ යෙදෙන්නීය. වයස අවුරුදු 12 දී ඇයගේ මව විසින්ම අධ්‍යක්ෂණය කිරීමට යෙදුනු “හැංගි හොරා” චිත්‍රපටයේ රඟපානවා නාට්‍යාංගනාවක් වශයෙන් රංගනයේ යෙදුනු ඇයට ප්‍රධාන චරිතයක් නිරූපනය කිරීමට මුලින්ම අවස්ථාවක් ලැබෙන්නේ 1978 දී “අප්සරා” චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා සමග. චිත්‍රපටය අධ්‍යක්ෂණ කළේ ජේ. සෙල්වරත්නම්.

“මගෙ ජීවිතේ දෙවැනි සිනමා ගමන ආරම්භ වෙන්නේ අප්සරා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හරහා. මට ඒ අවස්ථාව ලැබෙන්නෙත් මගේ අම්මා නිසා. මොකද මම අම්මා එක්ක සරසවි සම්මාන උළෙලකට සහභාගි වුණා. එතැන දී අම්මා මාව ගාමිණී ෆොන්සේකා මහතාට හඳුන්වා දුන්නා. එහි ප්‍රථිඵලයක් හැටියට තමා මට අප්පරා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලැබුණේ. ඉන්පසු ගාමිණී මහතා අධ්‍යක්ෂණය කළ සහ ඔහු රගපෑ චිත්‍රපට බොහෝමයක රංගනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා.”

ඉන් පසුව ඇය සිනමාවේ දිගු ගමනක් යයි. සරුංගලය, මයුරිගේ කතාව, තවලම, සාගරයක් මැද, බාඳුරා මල්, රෑ මනමාලි, කෙළිමඩල, සුරභිදෙනක්, සිසිල ගිනිගනී, කුළගෙය, පවන රළු සහ මාරුතය චිත්‍රපට වල කරන ලද රංගනයන් විශිෂ්ඨ, මතකයේ සිටින, විචාරක අවධානය යොමු වූ චරිතයන්ය. 1982 දී ඈ රෑ මනමාලි චිත්‍රපටය සඳහා හොඳම නිළිය ලෙස ජනාධිපති සම්මාන දිනාගන්නීය. එය විශාල ලෙස කතා බහට ලක්වූ, විවාද සම්පන්න තීරණයක් විය. 1981 දී මයුරිගේ කතාව සහ 1982 දී බාඳුරාමල් සඳහා විශේෂ කුසලතා සම්මානයක් ද ජනාධිපති සම්මාන උළෙලේ දී දිනාගන්නීය. 1982 දී සාගරයක් මැද චිත්‍රපටය සඳහා හොඳම සහය නිළිය වශයෙන් ඕ.සී.අයි.සී සම්මානයත්, 1992 දී කෙළිමඩල සඳහා සරසවි හා ස්වර්ණ සංඛ සම්මාන සම්මානත්, 1993 දී සුරඹිදෙන සඳහා ඕ.සී.අයි.සී හා කුලගෙය සඳහා සරසවි සම්මානයත් හොඳම නිළිය සම්මානත්, 1994 දී ස්වර්ණ සංඛ සිනමා සම්මාන උළෙලේ දී සුරඹිදෙන සඳහා හොඳම සහය නිළි සම්මානයත්, 1996 දී මාරුතය චිත්‍රපටය සඳහා ඕ.සී.අයි.සී සම්මානයත්, ස්වර්ණ සංඛ සම්මානයත් දිනා ගන්නීය.

මේ සම්මාන ගැන සලකා ලැබීමේ දී පෙනෙන විශේෂ කරුණක් වන්නේ ඒවා එකිනෙකට වෙනස්, පරස්සර අත්දැකීම් ඇති චරිත සඳහා රංගනයෙන් දායකවීමෙන් වීම නිසා ලැබී තිබීමයි. භාෂා කිහිපයක් හැසිරවීමට තිබුණු හැකියාවත්, ඉමක් නොපෙනෙන ජීවිත අත්දැකීම් හා සිනමාවේ සිටිමින්ම ලද අත්දැකීම් නිසා ඇයට විශාල පරාසයක රගපෑමට හැකියාවක් ලැබී තිබුණා. ඇයම කියා ඇති පරිදි ගාමිණී ෆොන්සේකාගෙන් ඇයට රගපෑම සම්බන්ධයෙන් ලැබුණු උපදෙස් හා මගපෙන්වීම් විශාලයි. ඇයට මුල් කාලයේ දී වැඩි අවධානයක් යොමු වන්නේ ද ඔහු හා සම්බන්ධ චිත්‍රපට වලදීය. ඇය පුවත්පතකට කියා ඇති පරිදි ඇය කුඩා කාලයේ සිට මව සමග දර්ශන තලයන් වෙත ගමන් කර තිබුණි. ඒ නිසාම ලංකාවේ බිහිවූ විශිෂ්ඨ රංගනයන් ඇය ඇයගේ දෙනෙත් වලින්ම දකින්නත් ඇති.

එමෙන්ම ඇය වේදිකාවෙන් සිනමාවට නොපැමිණියත්, වේදිකා නාට්‍ය කිහිපයකම රගපෑම කර තිබිණි. ටවර් හෝල් රගහල විසින් නිෂ්පාදිත “සිවම්මා ධනපාල” නාට්‍යය ඇතුළු නාට්‍ය කිහිපයකත් ප්‍රසන්න විතානගේ ගේ ද්විත්ව ඇතුළු වේදිකා නාට්‍ය කිහිපයකත් චරිත නිරූපනය කළා. ද්විත්ව නාට්‍ය තුළ ඇය ජයලත් මනෝරත්න ඇතුළු වේදිකාවේ හුරුපුරුදු රංගන ශිල්පීන් සමග කරට කර රංගනයක් ඉදිරිපත් කලා.

මාරුතයේ ගීතා නම් කටුක අත්දැකම් රැසකට මුහුණ දුන් මවකගේ චරිත නිරූපනය විශිෂ්ඨ වන්නේ ඇයගේ රංගන විසින්ම එහි විශිෂ්ඨත්වයට සමීප කළ නිසයි. මාරුතය චිත්‍රපට තිරනාටක ලියද්දි මූලික අවධානය යොමු වුණේ කුමාරි (සංගීතා) සහ රේණුකා (යශෝධා) දෙබස් තිබුණේ ඒ දෙදෙනාට යි. නමුත් රූපගත කරණ ලද පළමු දර්ශනයේ දීම එය වෙනස් කිරීමට වීණා (ගීතා) සමත් වුණා. මුල්ම දර්ශනය ලෙස රූපගත කළේ ගරා වැටුණු නිවස බැලීමට ගීතා එන දර්ශනයයි. වසන්ත ඔබේසේකර ඇයට උපදෙස් දුන්නේ ගරා වැටුණු නිවස තුළට ගමන්. කරන අයුරුයි. නුමුත් නිවස බල බල ඇවිදිමින් සෙමෙන් සිහින් ඉකිබිඳුම හරහා හඩන්නට වුනා. පුදුමයට පත්වුනු අධ්‍යක්ෂවරයා, කැමර ශිල්පියා කැමරා එලෙසම තබාගෙන සිටියා. දර්ශනයේ අවසානයේ සියල්ලන් අත්පොලසන් දුන්නා. වසන්ත ඔබේසේකර ඇයව වැළදගෙන සුබපැතුවා.

ඇය විශිෂ්ට නිළියක්. බොරු පාණ්ඩිත්වයක් ඇයට නැහැ. දර්ශන තලයේ ඉතා සැහැල්ලුවෙන් ඉන්නෙ. ශිල්පීන් සමග විහිළු තහළු කරමින් සිට පැමිණ සංවේදී අවස්ථාවන් නිරූපනය කිරීමටත් ඇයට හැකියාවක් තිබුණා. මාරුතය තිරනාටකයේ ඇයගේ චරිතය ඉදිරියෙන් තිබුණේ කෙටි සටහන්. ඇයගේ පරිනත ජීවිත අත්දැකීම් තුළින් ප්‍රබල චරිතයක් ගොඩනැගුවා. ඒ හැකියාව ඇය තවත් චිත්‍රපට කිහිප වතාවකම දක්වා තිබෙනවා. ඊට හොඳම උදාහරණ වන්නේ ඇයට විශාල ප්‍රමාණයක් සහය නිළිය සඳහා සම්මාන ලැබීමයි. ඇය මා දන්නා තරමින් පිටපත කියවා, ඉරි ගසා, සටහන් තබාගෙන රංගනයේ නොයෙදුනත් ඉවකින් රංගනයේ යෙදෙන්න ඇයට හැකියාවක් තිබුණා.

නිළියක් ලෙස ඇයගේ රංගනය නවීන බවත් තිබෙනවා. අධිරංගනයට වඩා චරිතයේ සියුම් අවස්ථාවන් ඉතා සරළ රංගන කාර්යයකින් ප්‍රේක්ෂක මනසේ තැන්පත් කිරීමේ දියුණු හැකියාවක් ඇයට ලැබී තිබෙනවා. අපේ රටේ බොහෝ නළු නිළියන් සිනමා රංගනයට පිවිසෙන්නේ වේදිකා නාට්‍ය ඇසුරින්. වීණා ජයකොඩි එලෙස වේදිකාවෙන් නොපැමිණ සෘජුව සිනමා රංගනයට පිවිසීම නිසා මේ සියුම් බව වර්ධනය කිරීමට අවශ්‍ය නිදහසත්, හැකියාවත් ඇයට ලැබී තිබෙනවා. ඇයව රංගනය සඳහා යොදවා ගන්නා  ඇති අධ්‍යක්ෂවරුන් බොහෝ දෙනෙක් ඇයට නැවතත් රංගනයට යොදා ගැනීමක් ද පේනවා. එවැනි අවස්ථාවක් නිළියකට ලැබෙන්නේ මෙහෙයවීමට හැකි පහසුවත්, චරිතයන් ග්‍රහණය කර ගැනීමේ පහසුවත් නිසයි. ඇයට මුල් කාලයේදී ලැබී ඇති චරිත කිහිපයක් හැරෙන්නට ඇයට රූපය නිසා චරිත ලැබුණා යයි කිව නොහැකියි.

ඇය ටෙලි නාට්‍යවල ද විශේෂ දක්ෂතාවයක් ප්‍රකට කරයි. තරුණ පරපුර ඇයව දන්නේ දක්ෂ ටෙලි නාට්‍ය නිළියක් ලෙසයි. බොහෝ තරුණ නිර්මාණකරුවන් ද ඇයව රංගනයට දායක කරගැනීමට මැලිවන්නේ නෑ. විශිෂ්ඨ ගනයේ ටෙලි නාට්‍ය කිහිපයකම කොටස්කාරියක වූ ඇයට සිනමා ක්ෂේත්‍රය තුළ අර්බුදකාරී ස්වභාවය නිසා එහි වැඩි වැඩියෙන් නිරත වුවද ඇය සියුම් ප්‍රතිභාවන් ඇති සිනමා නිළියක් වශයෙන් තබා ඇති කීර්තිනාමය එයින් අවකත්සේරු නොවනු ඇත.

ඇය දේශීය සිනමාවේ බිඳ වැටීම සම්බන්ධයෙන් දක්වන්නේ මෙවැනි අදහසක්.

“දේශීය සිනමාව කඩා වැටුණා නම් කඩා වැටුණේ 1983 කරපු අපරාදෙන් පස්සේ. අපේම මිනිස්සු අපේම දෙමළ සහෝදරයන්ට අයිති සිනමාශාලා කීයක් ගිනි තිබ්බා ද? ඒ මිනිස්සුන්ගේ ඉඩකඩන් වටිනා බහුබාහිරාදිය මොන තරම් කොල්ල කෑවාද? ඒ මිනිසුන්ගේ ජීවිත මොන තරම් නිරපරාදේ විනාශ කළාද? මනුස්සයෝ හැටියට මනුස්සයන්ට ගෞරව කරන්න අපි ඉගෙන නොගන්නා තාක් අපේ රටට නැගිටින්න ලැබෙන්නේ නැහැ. මං ප්‍රධාන නිළිය ලෙස රගපෑ පළමු චිත්‍රපටය වන්නේ අප්සරා. එම චිත්‍රපටයේ මංගල දර්ශනය පෙන්නුවේ සැෆයාර් සිනමා ශාලාවේ. එතැනින් එතැනින් යන වාරයක් වාරයක් පාසා මට මතක් වෙනවා සැපායර් සිනමා ශාලාවේ මංගල දර්ශනය දවසේ ඒ දෙමළ මිතුරන් මොන තරම් විචිත්‍රවත් උත්සවයක් සංවිධානය කළා ද කියලා.”

“1983 කළු ජූලිය නිසා සිනමා කර්මාන්තය විතරක් නෙමෙයි, රටක් හැටියටත්, අපේ ජාතිය ආපස්සට ගියා නේද? ලෝකයේ අපේ රටට තිබුණු වටිනාකම සම්පූර්ණයෙන්ම මේ සිදුවීම් නිසා නැති වුණා නේද? මං දන්න විදියට කවදාවත් සිංහල මිනිස්සුන්ට දෙමළ සහෝදරයන් ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි පටු දේශපාලන වාසි ලබන්න බලාගෙන ඉන්න දේශපාලඥයන් රටේ ජනතාව නොමඟ යැව්වා. මනුස්සකම නැති මිනිස්සු තමයි ජාතිවාදයට උඩගෙඩි දෙන්නේ. කවුරු කළත් ජාතිවාදී වැඩ මම නම් අනුමත කරන්නේ නැහැ. ජාතිවාදයට එරෙහිව විරෝධය දක්වන්න මං බයත් නැහැ.”

ඇයගේ චිත්‍රපටයේ මතකයන් අතරේ සරුංගලය චිත්‍රපටය ගැනත් තියෙන්නේ ඉතා ගැඹුරු මතකයක්.

“මාව අදටත් ප්‍රේක්ෂකයන්ට මතක තියෙන්නේ සරුංගලය චිත්‍රපටය තුළින් එය සිංහල තරුණියකගේ චරිතයක්. හැබැයි ගොඩක් අය කියන්නේ ඒ චිත්‍රපටයේ දෙමළ චරිතය නිරූපනය කළේ මම කියලා. එහෙම වෙලා තියෙන්නේ “ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි” සිංදුව නිසා වෙන්න ඇති. නඩරාජා, ගාමිණී ෆොන්සේකාගේ චරිතය සමග මං රඟපාන චරිතය ප්‍රේක්ෂයකයන්ගේ සිත් සතන්වල ජීවමාන වෙලා තියෙනවා. අදටත් ඒ සිංදුව අහද්දි පුදුම විදියේ හැගීමක් සිතට දැනෙනවා. ඒ හැඟීම වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒ චිත්‍රපටය කරන කාලේ අපි යාපනයේ ඉඳලා දමිළ සහෝදර සහෝදරියන් එක්ක වැඩ කළා. ඔවුන්ගෙන් අපට ලැබුණු සහයෝගය පුදුමාකරයි.”

ඉතාම සරළ තිරයේ ඉතා සුළු කාලයක් තිබෙන චරිත ඇය විසින් සංකීර්ණ චරිත නිරූපණයක් තුලින් ඉහළ තලයකට ගෙන ආවා. ඇයගේත් අපගේත් අවාසනාවට ඇයට හොඳ චරිත ලැබුණේ ඉතා සීමිතව. ලංකාවේ සිනමාවේ එවැනි ඛේදවාචකයන් අපි දැක තිබෙනවා. වීණා ඒ අතින් තරමක් වාසනාවන්ත වන්නේ පවතින යුගය නිසයි. නමුත් සමහර අවස්ථා වලදී ඇයටත් ලැබෙන චරිත ඕනෑම දෙයක් තෝරාගැනීමට සිදුව තිබෙනවා. ඇයට ඇති ප්‍රධානතම වාසනාව වන්නේ ඇය අධිතක්සේරුවකට ලක්වූ නිළියක් නොවීමත්, ඇය තමන් ඉහල ඝනයේ නිළියක් යැයි නොසිතීමත් යැයි සිතේ.

වීණා ජයකොඩි ලබාගත් ජාතික සම්මාන

  1. කුසලතා සම්මාන, මයුරිගේ කතාව 1981 – ජනාධිපති සම්මාන
  2. හොඳම නිළිය (2) සාගරයක් මැද 1982 – ඕ.සී.අයි.සී සම්මාන,
  3. කුසලතා සම්මාන, බාඳුරා මල් 1982, ජනාධිපති සම්මාන
  4. හොඳම නිළිය, රෑ මනමාලි 1983, ජනාධිපති සම්මාන
  5. හොඳම සහය නිළිය, කෙළිමඩල 1992, සරසවි සම්මාන
  6. හොඳම රංගනය, කෙළිමඩල 1992, ඕ.සී.අයි.සී සම්මාන
  7. හොඳම සහය නිළිය, කෙළිමඩල 1992, ස්වර්ණ සංඛ සම්මාන
  8. හොඳම සහය නිළිය, කුලගෙය 1993, සරසවි සම්මාන
  9. හොඳම රංගනය, සිසිල ගිනි ගනී 1993, ඕ.සී.අයි.සී සම්මාන
  10. හොඳම සහය නිළිය, සිසිල ගිනි ගනී, 1993 ස්වර්ණ සංඛ සම්මාන
  11. හොඳම නිළිය, සුරබිදෙන 1994, ඕ.සී.අයි.සී සම්මාන
  12. හොඳම සහය නිළිය, සුරබිදෙන 1994, ඕ.සී.අයි.සී සම්මාන
  13. හොඳම නිළිය, මාරුතය 1996, ඕ.සී.අයි.සී සම්මාන
  14. හොඳම නිළිය, මාරුතය 1996-2, ස්වර්ණ සංඛ සම්මාන උළෙල
  15. හොඳම සහය නිළිය, කුසපබා 2013, දෙරණ සිනමා සම්මාන උළෙල

 

වීණාවක් නොවී ගැහැණියක් වූ ඇය “වීණා ජයකොඩි”

සුදේශ් ද සිල්වා

( වීණා ජයකොඩිගේ ප්‍රකාශනයන් අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි. )

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment