විනය ගරුක, ගුණගරුක රටක් හැදීම “මිලිටරියට” භාර දීම – නීතිඥ දුලාන් දසනායක

විනය ගරුක, ගුණගරුක රටක් හැදීමට “මිලිටරියට” භාර දීම - නීතිඥ දුලාන් දසනායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජූනි 02 දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් සුවිශේෂී කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත. අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ විනය ගරුක  පරිදි එය සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩ නැගීම සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවන බවයි.

ගැසට් නිවේදනයේ දැක්වෙන පරිදි ජනාධිපතිවරයා මෙම කාර්ය සාධක බලකාය පිහිටුවා ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් එතුමාට හිමි වී ඇති බලය අනුව යැයි සදහන්. 33 ව්‍යවස්ථාවේ මෙවැනි කාර්ය සාධක බලකායක් පිහිටුවීමට අදාළ බලයක් ගැන නිශ්චිතව සඳහන් වී නොමැති අකර එමෙන්ම 33 ව්‍යවස්ථාවේ සඳහන් බලය අභ්‍යාස කිරීමේදී පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා වගකිව යුතු බවද  33 (අ) ව්‍යවස්ථාවේ සඳහන්. පාර්ලිමේන්තුව මාස තුනකටත් අධික කාලයක් නවතා දමා ඇති නැවත රැස්වන්නේ කවදාකද යැයි නිශ්චිත නොමැති වකවානුවක ජනාධිපතිවරයාගේ මේ සුවිශේෂී කාර්ය සාධක බලකාය පිහිටුවීම පිළිබඳ දේශපාලනය කුමක්ද යන්න වටහා ගැනීමට පසුගිය නොවැම්බරයේ බලයට පත් වුනු දිනයේ සිට සිදු වූ ක්‍රියා කලාපයන් දෙස පරීක්ෂාවෙන් නිරීක්ෂණය කළහොත් අපහසු නොවේ.

මෙම සුවිශේෂි කාර්ය සාධක බලකාය සමන්විත වන්නේ ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ දැනට සේවයේ නියුතු හා විශ්‍රාමික නිලධාරීන්ගෙන්ය.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාවන්හි හමුදාපතිවරුන් වන ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, එයාර් මාෂල් සුමංගල ඩයස් යන මහත්වරුන්ගෙන්ද වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස්, රාජ්‍ය බුද්ධි තොරතුරු සේවයේ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ, යුද හමුදා, නාවික හමුදා හා ගුවන් හමුදාවන්හි බුද්ධි අංශයන්හි ප්‍රධානීන්වන පිළීවෙලින් මේජර් ජනරාල් ඒ.එස් හේවාවිතාරණ, කපිතාන් එස්.ජේ කුමාර හා එයාර් කොමදෝරු එම්.ඩී.ජේ වාසගේ යන මහත්වරුන්ගෙන්ද, පොලිස් විශේෂ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ ධනපාල හා නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරුන්ගෙන්ද, ජනාධීපතිවරයා මෑතකදී ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක ජනරාල් ලෙස පත් කරන ලද විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතාද යන අයගෙන් මෙම සුවිශේෂී කාර්ය සාධක බලකාය සමන්විත වෙයි.

ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරුන් බිහි කල කාර්ය සාධක බලකා අතරින් මිලිටරි නිලධාරීන්ගෙන් පමණක් සැදුම්ලත් එකම කාර්ය සාධක බලකාය ලෙස මෙම කාර්ය සාධක බලකාය ඇතැම් විට ඉතිහාසගත වනු ඇත. රටේ ජනයාගේද විනය මිලිටරි සෙබළුන්ගේ මෙන් නියෝගයට අවනත වීම දක්වා ලඝු විය යුතු යැයි ඇතැම් විට ජනාධිපතිවරයා සිතන බව මේ බලකාය පත් කිරීමෙන් පෙනේ. සියලු ජනයා අණට කීකරු වී සිටිය යුතු යැයි විශ්වාස කරන්නන් තවමත් සිටීම පුදුමයට කරුණක් නොවේ.

මෙම කාර්යසාධක බලකායේ කාර්යභාරය ගත්කල වැඩේ කැරකෙන්නේ කොහාටද යන්න හොඳින් පැහැදිලි වෙයි.

  1. රටේ ඇතැම් ස්ථානවල වර්තමානයේ සමාජයේ නිදහස් හා සාමකාමී පැවැත්මට හානිකර ලෙස මතුවෙමින් පවතින නීතිය උල්ලංඝණය කරන සමාජ කණ්ඩායම්වල නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට අවශ්‍ය ක්ෂණික පියවර ගැනීම.
  2. මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම, වරාය හා ගුවන්තොටුපළ හරහා විදේශයන්ගෙන් මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම සහ රට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මුළුමනින්ම තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන වෙනත් සමාජීය රෝග වළක්වා ගැනීම.
  3. ශ්‍රී ලංකාවේ විදේශයන්හි සිට සිදුකරන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියාවන්ට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම.
  4. බන්ධනාගාර හා ඒ අවට සිදුවන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම හා වැළැක්වීමට කටයුතු කිරීම.

මෙහි පළමුවන කරුණෙහි වපසරිය කොතෙක්ද යන්න ප්‍රශ්නයකි. මේ නිවේදනයේ දැක්වෙන “සමාජයේ නිදහස් හා සාමකාමී පැවැත්මට හානිකර ලෙස මතුවෙමින් පවතින”  යන්න ඉතාමත් පුළුල් පරාසයකට විහිදී යන්නකි. විශේෂයෙන් මෙහිදී එක්වරම සිහියට නැගෙන්නේ ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමට පෙර ජනාධිපතිවරණ සටන නොනිල වශයෙන් ඇරඹූ  සුප්‍රසිද්ධ වියත් මග ෂැංග්‍රිලා දේශනයේදී මහජනයාට බාධාවකින් තොරව මාර්ගයේ යා හැකි පරිදි බාධාවකින් තොරව සිය කටයුතු කරගෙන යාමට හැකි පරිදි මහපාරේ විරෝධතා නොමැති වර්ජන නොමැති රටක් හැදිය යුතු බවට ඇගවීම් කල ප්‍රකාශයයි. එහි පළමු පියවර ලෙස උද්ඝෝෂණ ස්ථාන වෙන් කර විරෝධතාකරුවන් අහුමුළු වලට ගාල් කිරීම පසුගිය කාලයේ ඇරඹුනි. මේ එහි ඉදිරි පියවර විය හැක.

මිලිටරිය ඉස්සුනු කොරෝනා කාල සීමාව විශේෂයෙන් ජනාධිපතිවරයාට මේ ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගැනීම පහසු කළේය. ලෝක පරිමාණව ජාතිකවාදී නායකයන් බලයට පත් වීම එක්සත් ජනපදයෙන් ආරම්භ වී ලෝකය පුරාම ව්‍යාප්ත වී ගියේය. ඒ දේශපාලන සුළග ලංකාවටද පැමිණි එකක්. මේ ස්වෝත්තම ජාතිකවාදයට අත්‍යවශ්‍ය මිලිටරි හයිය ලබා ගැනීමට කොරෝනා කාල සීමාව පිටුවහලක් විය. අද එක්සත් ජනපදය පුරා පැතිරෙන විරෝධතා රැල්ල අපට කියන්නේ බලවත් වුනු පොලිස් හයියක ප්‍රතිඵලයි.

මේ කාර්ය සාධක බලකාය මගින් සිදු වන තවත් සුවිශේෂී කරුණක් නම් සිවිල් කටයුතු සඳහා මිලිටරියට මැදිහත් වීමට  මග එළි පෙහෙළි කර දීමයි. මෙහි ඇති සියළුම කරුණු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නීතිමය බලය ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියට මිස ත්‍රිවිධ හමුදාවට නොවේ. ඔවුන්ට පොලීසියේ ඉල්ලීම පරිදි අවශ්‍ය වැටලීම් සඳහා සහය විය හැක. මේ කාර්ය සාධක බලකාය සෑහෙන තරමේ සිවිල් කටයුතු රාශියක් සම්බන්ධයෙන් සෘජු මැදිහත්වීමේ අවස්ථාවක් ත්‍රිවිධ හමුදාවට ලබා දේ. සිවිල් කටයුතු සඳහා මිලිටරියට විශාල ලෙස මැදිහත්වීමේ අවස්ථාව මුලින්ම මිලිටරි පොලීසිය රථවාහන රාජකාරී සඳහා කැඳවීමෙන් ආරම්භ විය. එමෙන්ම මේ වන විට බොහෝ අයතනයන්හි ප්‍රධානීන් බවට මිලිටරි නිලධාරීන් පත් කර ඇත. සෞඛ්‍ය හා කෘෂිකර්ම අමාත්‍යංශයන්හි ලේකම්වරුන්ද මිලිටරි නිලධාරීන්ය. දැන් විනය ගරුක ගුණ ගරුක රට හදන්නේද මිලිටරියය.

මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටළුව අද ඊයේ ගැටළුවක් නොවේ. මත්ද්‍රව්‍ය උවදුරෙන් තරුණයන් ගලවා ගැනීම සම්බන්ධයෙන් ඕනෑ තරම් පර්යේෂණ මේ රටේ සිදු වී ඇත. එම කටයුතු වලට සම්බන්ධ ප්‍රවීණයෙක් මෙම කාර්ය සාධක බලකායට සම්බන්ධ වීම අවශ්‍ය නොවන්නේ ඇයි? බන්ධනාගාර සම්බන්ධ සමාජ ප්‍රශ්න ගැන සාකච්ඡා කල විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් මේ බලකායට අවශ්‍ය නොවන්නේ ඇයි? බන්ධනාගාරයන් තුළම සිය රාජකාරී කටයුතු සිදු කල විශ්‍රාමික බන්ධනාගාර කොමසාරිස්වරයෙකු මේ බලකායට අවශ්‍ය නොවන්නේ ඇයි? පෙනෙන ආකාරයට මිලිටරියට මේ සියළු කාරණා සම්බන්ධව පෘථුල දැනුමක් ඇති බව ජනාධිපතිවරයා විශ්වාස කරයි.

සිවිල් පරිපාලනයට මිලිටරිය මැදිහත් කරවන ක්‍රමය අසාර්ථක වුනු යල් පැන ගිය ක්‍රමයකි. දේශපාලනය නොකරන විපක්ෂයක් පවතින මේ මොහොතේ ජනාධිපතිවරයාට මේ කටයුතු සාර්ථක කර ගත හැකි වුවත්, මිලිටරි ජාතිකවාදය පැතිරීම තුළ ජනයා දේශපාලනික වීම අවි බලයකට නැවැත්විය නොහැක. ඉන් පසු ඇති වන මහජන දේශපාලන සුනාමිය මිලිටරි ජාතිකවාදය කුඩු පට්ටම් කරනු ඇත. එක්සත් ජනපදයෙන් ඇරඹෙන්නේ ඒ රැල්ල විය හැක.

-නීතිඥ දුලාන් දසනායක-

Social Sharing

Related posts