ලිංගිකත්වය සමාජ නිර්මිතයක් ද?

ලිංගිකත්වය සමාජ නිර්මිතයක් ද?

මානව ලිංගිකත්වය ජීව විද්‍යාත්මක පසුබිමකින් හෙබියේ වූ ව ද ඒ කෙරෙහි වන ලඝු නොවූ සමාජ සංස්කෘතික සබඳතාවන් පවති. හුදෙක් ප්‍රජනනයට සීමා නොවූ ඇතැම් විට සම්මුතික ස්වභාවයෙන් බැහැර වූ මානව ලිංගිකත්වයෙහි භාවිතාවන් සමාජීය නිර්මිතයකි. සන්තෘෂ්ටිය සෙනෙහස ප්‍රචණ්ඩකාරී චර්යාව ආර්ථික අත්පත් කර ගැනීම් ආදී අනු ආංගිකයන් ගණනාවක් මානව ලිංගිකත්වය හා සැබැදෙන අතර ඒවා ජෛව විද්‍යාත්මක නොවූ සමාජ නිර්මිතයන් වනුයේ මානව ලිංගිකත්වයටම අනන්‍ය බැවිනි.

ලිංගිකත්වය යනු සමාජ නිර්මිත යථාර්ථයක් වන අතර අපගේ ක්‍රියාවන්, ප්‍රතික්‍රියාවන්, අන්තර් ක්‍රියාවන් ඇසුරෙහි නිර්මාණය කරමින් සහ ප්‍රතිනිර්මාණය කරමින් පවතියි. ලිංගික යථාර්ථය අස්ථාවරය. හේතුව සංස්කෘතිය තුළ සියල්ල ප්‍රතිනිර්මාණය වීමේ ස්වභාවය මත ස්ථාවරයන් නොවන හෙයිනි. හුදෙක් ලිංගික යථාර්ථයන් අර්ථ ගැන්වෙනුයේ තත්කාලීනව සමාජය එය අර්ථ නිරූපණය කරන ආකාරයන් මගිනි.

මිචෙල් ෆුකෝට අනුව ලිංගිකත්වය වනාහි දෘඩතර හෝ ස්වභාවික සැකැස්මක් නොවේග එය ඓතිහාසික සමාජ සන්දර්භයන් මත නිර්මාණය වූ අතර ඊට යථාර්ථයන් ආරෝපණය කිරීමෙහි ලා සමාජ දූරාවලියක බලපෑමක් ද වේ. එනම් සමාජ සම්මුතික අර්ථකථන ජනනය වනුයේ ධූරාවලියේ උපරි පාර්ශවයන් වෙතිනි. ෆුකෝ ගේ මෙකී විග්‍රහය තුළ විද්‍යාමාන තවත් තර්කයක් වනුයේ ලිංගිකත්වය ස්වභාවික නිර්මිතයක් නම් සමාජ දූරාවලියේ උපරි ව්‍යුහය සමාජගත කරන අර්ථකථනයන්ට ප්‍රතිරෝධයන් තිබිය නොහැකිය යන්නයි. අර්ථකථන සමාජගත කිරීමෙහිලා හෙජොමනික ස්වභාවය තුළ පවා පොදු සම්මුතීන්ට එකඟ නොවන අර්ථකථන ලෝකය තුළ භාවිත වන්නේ ලිංගිකත්වය හුදෙක් සමාජ සංස්කෘතික නිර්මිතයක් ද වන බැවිනි. මධ්‍යකාලීන චීනයෙහි කෘතීම ලෙස දෙපා කුඩා කල ස්ත්‍රීන් ලිංගික ආශයන් වඩාත් කුළු ගැන් වූ බව පිළිගැණුන ද අද්‍යතන වීන සමාජයෙහි එවැනි අදහසක් දක්නට නොවීම නිදසුනකි.

ලිංගිකත්වය සමාජ නිර්මිතයක් ද?

Foot binding

ලිංගිකත්වයට අදාල සමාජ සම්මුතීන් අතර වන ලිංගික චර්යාවට අනුගත වයස, සහකරු තීරණය කිරීම ආදී සමාජ නිර්මිත වනුයේ මානවයා ලිංගිකව සක්‍රිය වන අවධියේ සිටම ලිංගික චර්යාවෙහි නියැලීමට හැකි වුවත් එය වාරණය කෙරී වයස් සීමාවන් යනාදිය තීරණයව ඇති හෙයිනි. මානවයාගේ මැඩිය නොහැකි ජෛවීය ලිංගික ආශයන් පාලනය කිරීමට සමාජය උත්සාහ ගැනීම තුළින් ද ලිංගිකත්වය සමාජ නිර්මිතයක් පැහැදිලි වේ. මේ අනුව ලිංගිකත්වය පාලනය කිරීම සඳහා සදාචාරවත් සම්මුතීන් නිර්මාණය කෙරේ. නොඑසේනම් යම්කිසි වාරණ පැනවේ. ඒ අතර ලිංගික සහකරුවෙකු තෝරා ගැනීමේ වයස නිර්ණය, සංස්කෘතිය අනුව වෙනස්වන සම්මුතික ලිංගික චර්යාවන් ඒක පුද්ගල, ඒක ස්ත්‍රී විවාහයන් හා නෛතික විවාහ ක්‍රම සමාජ ගත කිරීම ආදිය වේ. මෙවැනි සම්මුතීන් හා වාරණයන්ගෙන් පාලනය කළ නොහැකි ලිංගිකත්වය සමාජ අපගමනයන් ලෙස අර්ථකථනය කෙරේ.

ජීව විද්‍යාත්මක ලිංගික ආශයන් පාලනය කරනු වස් පුද්ගලයා ලිංගික උත්තේජනය ලබන්නේ කවරෙකුගෙන් ද එහි ස්වභාවය කෙබඳුද යනන් පිළිබඳව සමාජමය අර්ථකථන ගොඩනැගී පවතී. ගැග්මන් සහ සිමොන් ට අනුව ලිංගික හමුවීම සහ ලිංගික චර්යාවේ ස්වභාවය නිර්නය කෙරෙන මාර්ගෝපදේශයන් සංස්කෘතිය විසින් සැපයේ. මෙබඳු මාර්ගෝපදේශ සංස්කෘතීන් තුළ ඒ ඒ සංස්කෘතියට අනන්‍ය විභේදන දක්වයි. ආසියාතික සමාජයෙහි ලිංගිකත්වය තුළ වන පුරුෂ මූලික ස්වභාවය බටහිර සමාජ සන්දර්භයේ දී වෙනස් විය හැකිය. විවිධ සමාජ සන්දර්භයන් තුළ ලිංගික චර්යාව බහුවිධ අර්ථකථන මතුකරයි. සෙනෙහස, සමීප බව, ස්වයං තෘප්තිය සඳහා වන අනියම් සබඳතා ප්‍රචණ්ඩකාරී ලිංගික චර්යාවන් හා ගණුදෙනු අපේක්‍ෂිත ලිංගික චර්යාවන් (ලිංගිකත්වයේ වාණිජ්‍ය ස්වරූපය) ඒ අතර වේ.

ලිංගිකත්වය සමාජ නිර්මිතයක් ද?

Commercialization of Sexuality

ලිංගිකත්වය කෙරෙහි ජෛවීය පදනමක් මත ශාරීරික පෙළඹුමක් පැවතිය ද උක්ත අර්ථකතනයන් ස්ථාපනය සඳහා සමාජමය බලපෑමක් වෙතැයි සමාජ නිර්මාණවාදීන්ගේ මතයයි. Elias පෙන්වා දෙන අන්දමට නිදන කාමරය පිළිබඳ අතිශය පෞද්ගලික යන සංකල්පය මධ්‍යකාලීන යුරෝපයේ නොවූවත් නග්න ශරීරය පිළිබඳ අද්‍යකාලීන මතයන්ට සාපේක්‍ෂ ලිහිල් මතයක් එකල පැවතුණි. එස්කිමෝ සමාජය තුළ තම ලිංගික සහකාරිය පවා පරිත්‍යාග කිරීම ද උග්‍ර වික්ටෝරියානු සදාචාරය තුළ පවා තම බිරිඳගේ පහස  ඉතාම ඉහළ ගෞරවයක් ලෙස කෙනෙකුට පිළිගැන්වීම පිළිබඳ වාර්තා වේ.

ලිංගිකත්වය සමාජ නිර්මිතයක් ද?

Eskimo Family

එහෙත් වික්ටෝරියානු සදාචාරය තුළ ම ලිංගිකත්වය හා බැදුණු අන්‍ය සාධක වාරණයට ලක් වීම දැකිය හැකිය. නිදසුනක් ලෙස එච්. ඩී. ලෝරන්ස් ගේ කෘතීන් වන චැටර්ලි ආර්යාවගේ පෙම්වත්තු හා කන්‍යාවී සහ  අහිකුණ්ටිකයා ප්‍රකාශන තහනම පෙන්වා දිය හැකිය.

ලිංගිකත්වය සමාජ නිර්මිතයක් ද?

ෆ්‍රොඩියානු විශ්ලේෂණයට අනුව ලිංගික ආශයන් ද ඇතුළත් මූලික මානව ආශයන් ශිෂ්ටාචාරගත වීම තුළ පාලනයට නතු වේ. සමාජ සංස්කෘතික සාධක මේ ආශයන් පාලනය කිරීම සඳහා දායක වන බව තහවුරුවේ.

මේ තුළ සාධනය වන කරුණ නම් ජෛවීය මානව ලිංගිකත්වය කෙරෙහි සමාජ සංස්කෘතිකමය පදනමක් ද පවතින බවයි. හුදෙක් මේ මානවයාට අනන්‍ය වූ ස්වභාවයකි. ඒ තුළ මානව ලිංගිකත්වය වනාහි ජීව විද්‍යාත්මක එහෙත් සමාජමය අර්ථකතනයන් මත නිර්ණය වන  මානවයා විෂයෙහි අනන්‍ය වූ ප්‍රපංචයක් වන බවයි.

විනීෂියා මුණසිංහ

Social Sharing

Related posts