මැතිවරණය අත ළඟ – උසස් වීම් හා ස්ථාන මාරු ජයටම

ජාතික පොලිස් කොමිසම

මේ ගෙවෙන්නේ මැතිවරණ කාල සීමාවකි. සාමාන්‍යයෙන් මැතිවරණ කාල සීමාව තුල රජයේ නිලධාරීන්ගේ කිසිදු උසස් වීමක්, ස්ථාන මාරුවක් සිදු කෙරෙන්නේ නැත. එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි. නමුත් මේ දිනවල ජයටම සිදු කෙරෙන්නේද එයමය. එහි විශේෂත්වය වන්නේ මේ සියලු උසස් වීම්, ස්ථාන මාරු මැතිවරණ කොමිසමේ අනුමැතියට යටත්ව සිදු වීමය.

අමාත්‍යාංශ ස්ථාන මාරුවීම්

පහුගිය දින වල සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලු අමාත්‍යාංශ හතකට නව ලේකම්වරු පත් කෙරුණි. එය දේශපාලන වේදිකාවේ බොහෝ දෙනෙකුගේ විවේචනයට, කථාබහට ලක් වූවද එහි කිසිඳු වෙනසක් වුයේ නැත. මේ අතර රණවිරු සැමරුමට සමගාමීව යුද හමුදාවේ නිලධාරීන් විශාල පිරිසකට උසස් වීම් ලබා දුන්හ. ඒ ගැන කවුරුත් කථා කළේ නැත. ඇතැම් විට ඒ රණවිරුගාය නිසා විය හැකිය.

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක සරත් වීරබණ්ඩාරට ස්ථාන මාරු වීම් ලැබුනේය. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයටය. එකී පත්වීමට නම් මැතිවරණ කොමිසම විරෝධය දැක්වීම නිසා ඔහුගේ ස්ථාන මාරුව අවලංගු විය.

ජාතික පොලිස් කොමිසම රූකඩයක්

මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ ස්ථාන මාරුවීම් එක දිගටම සිදු වන්නට පටන් ගත්තේ පරණ ඇරියස් එකක් කවර් කරන්නාක් මෙන්ය. මේ අතර ලැබු උසස්වීම්ද ඇත. කෙසේ නමුදු පොලිස් දෙපාර්තමේන්තුවේ මේ සියලු ස්ථාන මාරු වීම්, උසස් වීම් කෙරෙන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ අවශ්‍යතා වෙනුවෙනි. මෙහිදි ජාතික පොලිස් කොමිසමද මේ සියල්ලටම අනුමැතිය දෙන බවක් පෙනෙන්නට තිබේ.

නමුත් ඔවුන් මේ විශේෂ අවශ්‍යතාව මොකද්ද? කියා දැන සිටිනවාද යන්න සැක සහිතය. ජාතික පොලිස් කොමිසමේ ඉහළම නිලධාරීන් හැර සෙසු නිලධාරීන් කිසිවෙකුත් දැන් මේ පොලිස් කොමිසම ඇතුලේ වෙන සෙල්ලම් ගැන දන්නේ නැත. ඔවුන් කියා සිටින්නේ අපි දැන් කොමිසමේ රූකඩ විතරයි, ලොක්කෝ තමා ඕවා දන්නේ යනුවෙනි.

STF ප්‍රධානියාගේ ස්ථාන මාරුව

මෙම මැතිවරණ කාල සීමාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ මොනතරම් උසස් වීම්, ස්ථාන මාරු ගැන කථා කළත් ආන්දෝලාත්මක ස්ථාන මාරුවක් වුයේ මෑත කාලයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන ප්‍රධානියා ලෙස පත් වූ නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක වහාම සාමාන්‍ය පොලිස් සේවයට එක් කර ඔහුව ත්‍රිකුණාමලය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කිරීමය. ලයනල් ගුණතිලක යනු 1985 වසරේදි උප පොලිස් පරික්ෂකවරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක් වී 1986 දි විශේෂ කාර්ය බලකායට එක් වු පුද්ගලයෙකි. පසුව කඳවුරු රැසක අණදෙන නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති ඔහු 2019 වසරේ විශේෂ කාර්ය බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරියා ලෙස පත් වීමෙන් අනතුරුව 2020 පෙබරවාරි 10 වෙනි දින විශේෂ කාර්ය බලකායේ අණදෙන ප්‍රධානීයා බවට පත් විය. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ්ගේ විශ්‍රාම යාමත් සමඟිනි.

ලතීෆ් මහතා විශ්‍රාම යාමෙන් පසු ඊළඟට විශේෂ කාර්ය බලකායේ අණදෙන ප්‍රධානියා වශයෙන් පත් කිරිමට නම් දෙකක් ජනාධිපතිවරයා වෙත යෝජනා වී තිබුණි. ඒ නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලකගේ හා නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේය. මේ දෙදෙනාගෙන් තෝරා ගැනුනේ ලයනල් ගුණතිලකවය.

ඔහු තෝරා ගෙන මාස 03 ක්වත් යාමට පෙර නැවත එම ධුරය නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර වෙත ලබා දීමට රජය තීරණය කර කිරිම හරහා ඇති වන්නේ ලයනල් ගුණතිලගෙන් කරවා ගැනීමට තිබු වැඩක් අරන් අවසානයේ ඔහුව පැත්තකට විසි කළාදෝ යන සැකයයි. මන්ද ඔහුව පොලිස් විශේෂ කාර්ය බලකායේවත් නොතියා සාමාන්‍ය රාජකාරි වලට මාරු කිරීම නිසාය. අප වරුණ ජයසුන්දර නරකයි කියන්නේ නැත. ඔහු පාතාල මෙහෙයුම් මර්දනය කිරිමේහිලා අති දක්ෂයෙකු බව දනිමි. එසේනම් මුලදීම ඔහුට එම තනතුර ලබා නොදුන්නේ මන්ද යන ගැටලුව පවතියි.

මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ උදහසට ලක් වු නුගේගොඩ කොට්ඨාශය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්ව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයා ලෙස ස්ථාන මාරු කළේය. නමුත් පසුව ඔහු විසින්ම එම ඒකකයේ වැඩ බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබු නිසා පසුව ඔහුව සංචාරක පොලිස් කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙස ස්ථාන මාරු කර ඇත. නමුත් බොහෝ දෙනා සිතූයේ මෙම ස්ථාන මාරුවද පළිගැනීම් එකක් බවය.

කෙසේ නමුදු පොලිස් විශේෂ කාර්ය බලකායේ එක්වරම සිදු වු මෙම වෙනස නිසා එහි සාමාජිකයින්ද දැඩි ලෙස තූෂ්ණිම්භූතව ඇති අතර ඔවුන් සැක කරන්නේ  මෙම ස්ථාන මාරුව අනිවාර්යෙන්ම ආරක්ෂක ලේකම්ටත් ඉහළින් පැමිණි නියෝගයක් බවය.

එමෙන්ම මේ වන විට තවත් නුදුරු දිනකදීම ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් විශාල සංඛ්‍යාවක් සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීමට නියමිතව ඇතැයිද පොලිස් ආරංචි මාර්ග හෙළි කර සිටියේය. එසේ වු වු විට පොලිස් ස්ථාන වල සේවය කිරීමට ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් හිඟ වනු ඇත. එමෙන්ම ඊළඟට පොලිස් ප්‍රධානීන් හැටියට පත් කෙරෙන්නේද රජයට අවැසි ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන්ය.

එසේනම් දැන් සියල්ල සිදු වෙමින් ඇත්තේය. මැතිවරණ කොමිසමට ඇත්තේ බලා සිටීමට පමණද?

(ශානිකා)

Social Sharing

Related posts