“මල් වගේ” ගැහැණුන් ගේ ගල් ප්‍රහාර!

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225න් මන්ත්‍රීවරියන් සිටියේ 12කි. එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 5.3% ක්. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයේ වාර්තා අනුව දේශපාලනයේ කාන්තා නියෝජනයෙන් රටවල් 190 ක් අතුරෙන් ශ්‍රී ලංකාවට හිමි වන්නේ 182 වන ස්ථානයයි. දකුණු ආසියානු කලාපය ගත් කල ශ්‍රී ලංකාවට පහළින් සිටින්නේ මාලදිවයින පමණි. මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය ශ්‍රී ලංකාවට වඩා ඉතා කෙටි එකක්. අවසාන වරට පැවැති පළාත් පාලන මැතිවරණයට පෙර පළාත් පාලන හා පළාත් සභාවන්හි කාන්තා නියෝජනය පැවතුනෙ 2% ක පමණ ප්‍රමාණයකයි. (Source :https://archive.ceylontoday.lk/print-more/44246) එ් දේශපාලනයේ කාන්තා නියෝජනයයි. නැතහොත් රාජ්‍ය පාලනය හා තීරණ ගැනීම් ක්‍රියාවලියට දායක වන කාන්තා නියෝජනයයි. මේ වන විට උසස් අධ්‍යාපනයට කාන්තාවන් යොමු වීම ඉහළ ප්‍රතිශතයක් ගනී. නමුත් විවිධ වෘත්තීන්හී තුළ ඉහළ තනතුරු වල කාන්තාවන් විරලය. ඉහළ තනතුරුවල මෙන්ම වෘත්තීය සංගම්වල ක්‍රියාකාරීත්වයෙ මෙන්ම වෘත්තියේ ක්‍රිියාකාරීලෙස ඉදිරියට යාම තුළද කාන්තාවන් කැපී පෙනෙන්නේ ඉතා අඩුවෙනි. එවන් පසුබිමක තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් රජයේ බලාධිකාරී ආයතනයක් වන පොලීසිය සමග හැප්පෙන ගැහැණු අඟුලානේදී දැකිය හැකි වූයේ නිර්භය ස්ත්‍රීන්ගේ ශක්තිය පෙන්වමිනි.

අඟුලානේදී පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ නඩු විභාගයේ සාධාරණත්වය හා එහි සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කාන්තාවන් පෙරමුණ ගත්තේ පොලීසිය වික්ෂිප්ත කරමින්ය. සිද්ධියේ ඇසදුටු සාක්ෂිකරුවන් පොලිස් ජීප් රථයකට නංවාගෙන යාම පිළිබඳව උරණ වූ ප්‍රදේශවාසීන් විසින් සිදු කරන ලද පොලිස් ප්‍රහාරයේ ඉදිරියෙන්ම සිටියේ ගැහැණුන්ය. රූප රාමු අනුව රාජ්‍ය බලය සහිත පොලීසිය සමග ගැහැණු සිදු කල යුද්ධයක් බවට තත්වය පෙනෙන්නට තිබුණි. ඉන් නොනැවතී තවත් ස්ත්‍රියක් ප්‍රහාරයේ වගකීම භාර ගන්නා හැටිද පෙන්නුම් කලේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට වගකීම් භාර ‍නොගන්නා පොලීසියටද ආදර්ශයක් වෙමිනි.

ලංකාවෙ සිංහල බෞද්ධ අධිපති මතවාදය තුළ ස්ත්‍රීන්ට වෙනම පුරුෂයන්ට වඩා පහත් භූමිකා නිර්මාණය කිරීමට උත්සාහ දරන බව නොරහසක්. ස්ත්‍රීන්ට මත්පැන් මිලදී ගැනීමට අවස්ථාව නෛතිකව සහතික කරන හිටපු මුදල් ඇමති මංගලගේ යෝජනාවට බරපතළ විරෝධය එල්ල වූයේ පුරුෂ භික්ෂූන්ගෙන් හා පුරුෂ සමාජයෙනි. ගබ්සාවට එරෙහිව කරුණු දක්වන්නේ පිරිමි කාදිනල්තුමා හා පිරිමි භික්ෂූන්ය. කාන්තාවන්ගේ අයිතීන් ගැන කතා කරන්නේ පිරිමිය. ඇත්තවශයෙන්ම අධිපති පිරිමිය. කාන්තාවට අමුතු ගෞරවයක් නාමිකව ලබා දෙමින් සිදු කරන්නේ කාන්තාව බාහිර සමාජයෙන් හා අයිතිවාසිකම් වලට පෙනී සිටීමෙන් වළකාලීමය. නමුත් ස්ත්‍රී දූෂණ පිළිබඳ ප්‍රවාහනයේදී ස්ත්‍රීන්ට සිදුවන ලිංගික හිංසනයන් ගැන කතා කිරීමට එක අධීපති පිරිමියෙක් නැත. ඒවායින් ආගම වෙනුවෙන් පණ දී මැරෙන්න සූදානම් ජනතාවක් ඉන්න ලංකාව ඉන්නේ කප් ගහලාය. අඟුලානේ නිර්ප්‍රභූ ගැහැණුන් එළියට බහින්නේ මේ පසුබිම සහිත සමාජයේය.

අඟුලානේ ගැහැණුන් මේ කියා දුන්නේ කාන්තාවන් සතු ධෛර්යයි. කාන්තාවන් සතුව ඇති ධෛර්යය පුරුෂ මූලික ජාතිකවාදී චින්තනයෙන් යටපත් කර ගෙන සිටී. ඒ යටපත් කිරීමට බහුතර ගැහැණුන් කැමතිය. ඒ ජාතිකවාදය මගින් ඔවුන්ගේ සිත් තුළ ගොඩ නැගී ඇති මතවාදී ආධිපත්‍යය නිසාය. තමන් යටපත් වී ඇති බවක් ඔවුන්ට නො‍තේරෙන්නේ ඒ නිසාය. දැනුවත්ව හෝ නොදැනුවත්ව අඟුලානේ ගැහැණුන් පහර දුන්නේ අත්තනොමතික මිලිටරි බලයකටය. මිලිටරි රාජ්‍යයක් සුජාත කරන ඒ වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් වලට අගුලානේ ගැහැණුන් පෙන්වූයේ එවැන්නක් ගොඩ නැගීම හිතන තරම් ලේසි නැති බවයි. මිය ගිය අතුරුදහන් වුනු තරුණ දරුවන් වෙනුවෙන් ජාතිභේදයකින් තොරව ගොඩනැගුණු මව් පෙරමුණද පෙන්වූයේ කාන්තාවන්ගේ ධෛර්යය හා බලයයි. නිශ්චිත දේශපාලන නායකත්වයක් නොමැතිව අඟුලානේ ගැහැණුන් පෙන්වූයේද කාන්තාවන්ගේ ධෛර්යය හා බලයයි.

ස්ත්‍රීන්ව මල් වගේ පවත්වාගෙන යාමට පුරුෂ මූලික ජාතිකවාදී සමාජය කැමතිය. දැනුවත්ව හෝ නොදැනුවත්ව එයට එවන් සමාජයක සිටිනා ස්ත්‍රීන් බහුතරයක්ද කැමතිය. අඟුලානේ ගැහැණුන්ට පහත් පෙලේ ලේබල් මුලින්ම ඇලෙව්වෙ ගැහැණුන්ය. ඒ සමාජය තුළ පවත්වාගෙන යාම ජාතිකවාදී සංස්කෘතික මතවාදයයි.

අඟුලානේ ගැහැණුත් සියලු මිනිසුනුත් වටහා ගත යුතු සදාතනික සත්‍ය්‍ය නම් සිය විමුක්තිය උදා කරගැනීමට නම් දිළිඳු  ජාතිකවාදයට පහර දී එය මුලිනුපුටා දැමිය යුතු බවයි. මල් වගේ පෙන්වා පවත්වාගෙන යන ධෛර්යවන්ත ගැහැණුන් පොලීසියට ගල් ප්‍රහාර එල්ල කළාට වඩා වැඩි වේගයෙන් ජාතිකවාදයට පහර දිය යුතුය. සිය දරුවන්ගේ ජීවිතය ඉතුරු වන්නේත් මානව නිදහස තහවුරු වන්නේත් එවිටය.

“මල් වගේ” ගැහැණුන් ගේ ගල් ප්‍රහාර!

-දුලාන් දසනායක –

Social Sharing
නවතම විශේෂාංග