කොවිඩ් සමාජ ගතවී නැත.. ඇඳිරි නීතිය සමාජ ගතවී ඇත..!!

ගෝඨාභය රාජපක්ෂ රජය කියන්නැහේ තවමත් කොවිඩ් වයිරසය සමාජගතවී නැත. එහෙත් එන්න එන්නම ඇඳිරිනීතිය සමාජ ගත වෙමින් ගමින් ගම වසා දමමින් තිබෙයි. කොවිඩ් මුල් රැල්ලේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව එය මර්ධනය කරන්නට මෙන්ම එමගින් සිය ජීවන මාර්ගයන් අහිමි මිනිසුන් ගේ බඩ වියත රැකගන්නට ද විශාල වෙහෙසක් ගනු පෙනුණි. එහෙත් මේ නව රැල්ලේ දී අපිට ඒ උනන්දුව දක්නට නැත. කොවිඩ් පළමු රැල්ලේදී වීරයන් සේ පෙනුනු අනිල් ජාසිංහ වෛද්‍යවරයා මෙන්ම එවක වසංගත රෝග ඒකකයේ පබා පලිහවඩන දොස්තර නෝනා ද දැන් දකින්නට නැත. ඒ වෙනුවට දැන් ඉන්නේ ආණ්ඩුව දෙන කොළයක් ඔහේ බලාගෙන කියවන පිරිසක් ය. වෛද්‍ය අනිල් ජාසිංහට නම් උසස්වීමක් ලබාදී ඔහු පරිසර අමාත්‍යාංශයේ ලේකම් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයයේ ඉහළ නිළධාරීන් අතර මෙන්ම රෝහල් කාර්‍යමණ්ඩල නිළධාරීන් අතරද මේ වනවිට ආණ්ඩුවේ මෙම හැසිරීම නිසා ගැටලු සහ අවුල් ඇතිවී ඇති බව දැනගන්නට ලැබේ. කොරෝනාවලින් රටක් වශයෙන් අපි ගොඩගියොත්, එය ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහනයකි. නමුත් රටක් වශයෙන් මේ අවශ්තාවේදී අපි පරාජයට පත් වුවහොත් එය ජනතාව තමන්ගේ නොසැලකිල්ල නිසා ගෙන්වා ගත් තත්ත්වයකි. සෞඛ්‍ය සේවකයින් ද කියන්නේ මෙවැනිම කතාවකි. ආණ්ඩුවේ ඉහළ ලොක්කන්ගේ කඹ ඇඳීමේ ප්‍රතිපලයක් ලෙස කොවිඩ් පාලනය ගිලිහී ගියහොත් එය සමස්ථ සෞඛ්‍ය සේවාවට අදාළ ප්‍රශ්නයක් වන්නට නියමිතය !.

කොවිඩ් සංඛ්‍යා දත්ත

පසුගිය 27 වැනි දිනය අවසන් වනවිට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 457 දෙනෙක් වාර්තා විය. ඔවුන් සමග සමඟ දෙවන කොවිඩ් රැල්ලේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5,398ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වනවිට රෝහල් තුළ පවතින ඉඩකඩ බෙහෙවින් සීමිත වී ඇත. 95%ක ප්‍රමානයකින් රෝහල් තුළ නේවාසික රෝගී ධාරිතාවය පිරී ඇත. මෙම ආසාදිතයන්ගෙන් 4,357ක් පළමු සහ දෙවන ආශ්‍රිතයන් ලෙස වාර්තා වන අතර තවත් 1041ක රෝගීන් ප්‍රමානයක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් බව දැනගන්නට ඇත. කෙසේ වුණත් මේ සංඛ්‍යා දත්ත උපුටමින් ආණ්ඩුවේ වසංගත රෝග ඒකකය පවසන්නේ මිනුවන්ගොඩ පොකුර සහ පෑලියගොඩ පොකුර පමණක් මෙලෙස සක්‍රීය වීම නිසා එයින් සමාජ ව්‍යාප්තියක් නොපෙන්වන බවය. ආණ්ඩුව ගෙවල් තුළම ආසාදිතයන් නිරෝධායනය කරනවා යැයි තීරණය ගන්නා විටම මෙහි දැන් පවතින බැ‍රෑරුම් තත්ත්වය වටහා ගන්නට අමාරු නැත. මෙයින් ප්‍රකාශ වන්නේ රෝහල් තුළ තවදුරටත් ඉඩ නැති බවය. අනෙක් පැත්තෙන් මේවනවිට පීසීආර් පරීක්ෂණ වාර්තා ප්‍රමාදයක් ද ඇතිවී ඇත. එයට හේතුව මෙතරම් විශාල ප්‍රමානයකින් පරීක්ෂණ කිරීම සඳහා අදාළ පහසුකම රට තුළ නොමැතිවීමය. මෙලෙස අපි කොවිඩ් රැල්ලේ ගසාගෙන යනවිට 27 දා මරණ තුනක් වාර්තා විය. එම මරණ අත‍රින් වයස අවුරුදු 19 ක තරුණයෙක් මරණයට පත්වීම මෙම රෝග ව්‍යාප්තියේ පවතින ඛේදනීය තත්ත්වය පෙන්වයි. මේවනවිට කොවිඩ් නිසා සමස්ථයක් ලෙස මරණ 19ක් වාර්තා වී ඇත.

ලොක්ඩවුන් කරන්නේ නෑ

පසුගිය 27 දා පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ පවත්නා තත්ත්වය යටතේ රට වසා දමන්නට කිසිම සූදානමක් නොමැතිබවය. එහෙත් උද්ගතවන තත්ත්වයන් හමුවේ තවදුරටත් ප්‍රදේශයන්වලට අදාළව නිරෝධායන ඇඳිරිනීතිය පනවා සංචරණ සීමාවන් පනවන බවද එහිදී ඔහු ප්‍රකාශ කර ඇත. මෙයින් පෙනෙන්නේ රට ලොක්ඩවුන් තත්ත්වයකට නොගිහින් උවද ක්‍රමයෙන් එවන් තත්ත්වයකට ගමන් කරමින් තිබෙන බවය. පසුගිය දා කොළඹ කොටුව සහ පිටකොටුවට අදාළව නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ පසුව කොළඹ සහ පිට පළාත් අතර බස් ගමනා ගමනයන් නැවතුන අතර ඒ සමගම රටම ලොක්ඩවුන් තත්ත්වයකට පත්විය. එනිසා ඇමරිකාව, ඉතාලිය වැනි රටවල් ආදර්ශයට ගෙන රටම ලොක්ඩවුන් නොකර සිටියත් ජනතාව ලොක්ඩවුන් වෙමින් සිටීම නිසා අනාගතයේ දී රටම ලොක්ඩවුන් වනු ඇත!!. එනිසා වඩා ඉක්මනින් ලොක්ඩවුන් කර ආසාධිතයන් සහ ආශ්‍රිතයින් සොයාගෙන රෝගය ව්‍යාප්තිය පාලනය කිරීම හොඳයැයි සිතේ. ඒ මන්ද රටේ ආර්ථිකයේ කඩාවැටීම වැළැක්වීමට ලොක්ඩවුන් නොකර සිටියත්, රටම ස්වැන් කඩාවැටීමකට ගමන් කරමින් තිබෙන බැවින් ය.

ධීවරයින් කම්බස්

උදාහරණයකට ධීවර ගැටලුව ගනිමු. පෑලියගොඩ මත්ශ්‍ය අලවි සැලේ කොවිඩ් වයිරස ආසාදිතයින් හමුවූ පසුව පෑලියගොඩ කොවිඩ් පොකුර නම් විශාල ආසාදිතයන් ප්‍රමානයක් රට පුරාම සොයාගනු ලැබීමත් සමග රට තුළ ධීවර කර්මාන්තය එක විටම බිමට සමතලා විය. මාධ්‍ය සහ ආණ්ඩුව මෙම කොවිඩ් පොකුර පිළිබඳව රටට පැවසූ තතු හමුවේ මිනිසුන් වහාම මසුන් ආහාරයට ගැනීමෙන් වැළකී සිටියෝ ය. එම තත්ත්වය මත ලක්ෂ 10 කට වැඩි ධීවර කර්මාන්තයෙන් ජීවත්වෙන ප්‍රජාව අන්ත අසරණ විය. පෑලියගොඩ, මීගමුව, මාදම්පේ, වැනි ලංකාවේ ප්‍රධාන මාළු වෙළඳපොළවල් වසා දැමීම නිසා මෙම තත්ත්වය තවත් උග්‍රවිය. මේවනවිට ප්‍රධාන ධීවර වරායන් තුළ ගාල් කර ඇති බහුදින ධීවර යාත්‍රාවන් තුළ මාළු ටොන් ලක්ෂ 3ක් පමණ ගොඩගැසී ඇතිබව ධීවරයෝ ප්‍රකාශ කරති. දිව‍යිනේ සියලුම අයිස් කර්මාන්තායතන දැන් ක්‍රියාත්මක වන්නේ නැත. මෙනිසා මේ මාළු තොග කල්තබා ගැනීමේ ගැටලුවක් ද උද්ගතව ඇත. දැන් ධීවර ආමාත්‍යාංශය මෙම මාළු තොග ටින් මාළු නිශ්පාදනය සඳහ මිලදී ගන්නා බව පැවසූවත් එය ප්‍රායෝගික දැයි ධීවර ප්‍රජාව ප්‍රශ්න කරති. ධීවරයින්ගේ මාළු රජය එලෙස මිලදී ගත්තා ද දෙනිකව මාළු විකුණා ජීවිතය ගැටගසා ගන්නා මිනිසුන් මාළු රස්සාව කරන්නට බැරි තත්ත්වය තුළ ජීවත් වන්නේ කෙසේද? රජය කොවිඩ් පළමු රැල්ලේදී නම් ඉදිරි මැතිවරණ දෙස බලාගෙන හෝ රුපියල් 5000ක දීමනාවක් දෙනු ලැබීය. එහෙත් මැතිවරණයෙන් 2/3 ක් ලබා ගත් පසු දැන් තත්ත්වය කෙබඳු ද?

කොවිඩ් මෙම දෙවන රැල්ල නිසා පික්මී සහ ඌබර් වැනි ත්‍රීවිලර් සහ කැබ් රථ සේවාවන් සමග එකතුව ජීවිතය ගැටගසා ගත් විශාල ප්‍රමානයකට

සිය රැකියාවන් මේවනවිට අහිමිව ගොස් ඇත. මෙම ජාලයන් සමග එකතුව රැකියාව සඳහා ත්‍රීවිලර් එකක් හයර් කරන හෝ කාර් රථයක් හයර් කරන බොහෝ දෙනෙක් එම ත්‍රීවිල් රථය හෝ කාර් රථය මිලදී ගෙන තිබෙන්නේ විශාල මාසික ලීසිං වාරිකයක් ද සමගය. මෙම තත්ත්වය තුළ මේ බොහෝ දෙනෙකුට වැලේ වැල් නැතිවී ඇත. ගෝඨාභය රාජපක්ෂ රජය ලීසිං වාරික කපාදමන බවට මැතිවරණයට ප්‍රථම නෙක පොරොන්දු පොදි ලබා දුන්නත් දැන් ඒවා මේ මිනිස්සුන්ට කොරෝනා පොකුරු මෙන් වී ඇත!!. ගාර්මන්ට් වැනි කර්මාන්තායතන තුළ රැකියාව කරන බොහෝ දෙනෙක් ට ද මේ මාසයේ පඩිය නැත. රජය මූලික වැටුපෙන් භාගයක් හෝ රුපියල් 14500ක් හෝ ගෙවන්න යැයි කියූවත් ඒවා නිසි පරිදි සිදුවෙනවාදැයි සොයා බලන්නේ කවුද? මෙනිසා රට ලොක්ඩවුන් නොකළත් මෙම කොවිඩ් රැල්ල සමග ජනජීවිතය සුනාමියකට හසුව ගසාගෙන යමින් තිබෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හෝ ඔහුගේ ආණ්ඩුවට එය තවම පෙනෙන්නේ නැත. මේ කොවිඩ් රැල්ල අවසන මේ රටත් ග්‍රීසියක් වී තිබෙයි ද? එය ප්‍රශ්නාර්ථයක්මය.

කොවිඩ් සමාජ ගතවී නැත.. ඇඳිරි නීතිය සමාජ ගතවී ඇත..!! - කේ. සංජීව

– කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග