අපි සිවිල් සමාජය විදිහට දේශපාලන බලය අභ්‍යාස කළ යුතුයි! – සමන් රත්නප්‍රිය (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)

අපි සිවිල් සමාජය විදිහට දේශපාලන බලය අභ්‍යාස කළ යුතුයි! - සමන් රත්නප්‍රිය (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)

2015 විශාල වෙනසක් කරපු සිවිල් සමාජයට දැන් මොකද වෙලා තියෙන්නේ ? ඇයි මෙතරම් ඉක්මනින් ජනතාව මේ සිවිල් නායකයින් ප්‍රථික්ෂේප කළේ?

සිවිල් සංවිධාන ක්‍රියාවලිය යම් ප්‍රමාණයකට අඩපන වුණා කියලා සමාජයේත් අප තුළත් අදහසක් තියෙනවා. සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති ක්‍රියාවලිය විවිධ කාලවල විවිධ හැඩතල වලින් ක්‍රියාත්මක වුණා. මෙය චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට ආපු වෙලාවේ යම් සිවිල් සංවිධාන ක්‍රියාවලියක් සමාජය තුළ ක්‍රියාත්මක වුණා. ඇය බලයට ගේන්න මව් පෙරමුණ, කාන්තාවන්, මධ්‍යම පාන්තිකයන්, තරුණයන් සහ සිවිල් සංවිධාන ඒකරාශී වෙලා විශාල වැඩ කොටසක් කළා. ඒ වගේම මාධ්‍ය සංවිධානත් විශාල වැඩ කොටසක් කළා පැවතුණු මර්ධනකාරී පාලනයෙන් මිදී නව පාලනයක් ගෙන එන්න. ඊට පස්සේ සිවිල් සංවිධාන ක්‍රියාවලිය අඩපණ වුණා. එහෙම වුණේ පත්කරපු ජනාධිපතිවරිය තමන්ගේ සහ රටේ අභිලාෂයන් ඉෂ්ඨ කරාවි කියන බලාපොරොත්තුව සිවිල් සංවිධාන සතුව තිබුණා. නමුත් ඒක එහෙම වුණේ නැහැ. සාමාන්‍යයෙන් ලෝකෙ කොහෙවත් එහෙම වෙන්නෙත් නැහැ. ලංකාවේ එහෙම වෙන්නෙත් නැහැ. අඛණ්ඩ අරගලය කියන කාරණය සිවිල් සමාජය ඒ මොහොතේ අතහැරියා. බොහෝ අය ඉච්ඡාභංගත්වයට පත් වුණා. සමහර අය ජනාධිපතිවරියට චෝදනා කළා. 2015 වනවිට මහින්ද රාජපක්ෂ රෙජීමය වෙනස් කරන්න ඕන කියන බරපතල අදහසක් සමාජයේ ඇතිවුණා. එම අදහස ඇති කළේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ සමග සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය, ඊට අනුසාංගික වශයෙන් පුරවැසි බලය, සිවිල් සංවිධාන එකමුතුව ආදිය ඒ හරහා එකට වැඩ කළා. මාඳුළුවාවේ සෝභිත හාමුදුරුවෝ තමයි ඊට නායකත්වය සැපයුවේ. එය සාර්ථක වුණා.

යම් ප්‍රමාණයකට යහපාලන ආණ්ඩුව සැළකිය යුතු වෙනසක් මේ රටේ සිදු කළා. එය ඉදිරියට යන්න බැරි වුණේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එය අතහැරීම නිසා සහ සිවිල් සමාජය අඛණ්ඩ අරගලයේ නොයෙදීම යන කාරණා නිසයි. සිවිල් සමාජය තමන්ගේ වගකීම පැහැර හැරීමත් එකක්. මමත් එයට අයිතියි. එම නිසා රටේ අභිලාශයන් ඉටුනොවීම සිදුවුණා. අද වන විට රෙජීමය නැවත බලයට පැමිණ තියෙනවා. පවුලට අවශ්‍ය ආකාරයට රට පාලනය කිරීමේ තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. මේ ආණ්ඩුවත් මර්ධනකාරී ආණ්ඩුවවක් වෙයි කියන එක හැමෝගෙම සිත් තුළ තියෙනවා. 2019 ට පෙර තිබූ සිවිල් සමාජ තත්ත්වය නැවත ඇති විය යුතුයි. නැතිනම් මේ රට විනාශයි.

පහුගිය කාලේ සිවිල් සමාජය එක්සත් ජාතික පක්ෂයට කඩේ යනවා. ඔය එ.ජා.ප යේ සිවිල් සමාජය කියලා චෝදනාවක් තිබුණා. නැවත සිවිල් සමාජයට එහි නායකයන්ට ජනතාව අතරට යන්න එය බාධාවක් නෙවෙයි ද?

ඔව්. ඇත්තටම එහෙම චෝදනාවක් ආවා. සිවිල් සමාජය පසුගිය කාලයේ වැඩ කළේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ නිදහස වෙනුවෙන්. එහිදී සිවිල් සමාජයට තනිව එය රට තුළ ක්‍රියාත්මක කරවන්න බැහැ. වෘත්තීය සමිති වලටත් බැහැ. සටන් කරන්න අපිට පුළුවන්. නමුත් ජයග්‍රහණයේදී දේශපාලනය කියන කාරණය අවශ්‍යයි. එහිදී ජනතා අභිලාශයන් වලට ළඟ කවුද ඔවුන් සමග ක්‍රියාත්මක වෙන්න සිදු වෙනවා. එ.ජා.ප ක්‍රියාකාරිත්වය තමයි දේශපාලන ප්‍රතිසංස්කරණ වලට එකගවුනේ. විකල්පය විදිහට තිබුනේ රාජපක්ෂ රෙජීමය. ඒක ඇතුළේ අපේ අභිලාෂයන් වලට ඉඩක් තිබුණේ නැහැ. හරි පැහැදිළියි අපිට වැඩ කරන්න පුළුවන් වුණේ කවුරු සමගද කියන එක. ඒ නිසා අපේ සිවිල් සමාජ නායකයෝ බහුතරයක් එ.ජා.ප.ත් එක්ක ගණුදෙනු කළා. ඒ තුළ අපිට බොහෝ දේවල් ලැබුණා. 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව එයින් එකක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, කොමිෂන් සභා, විගණන පනත, තොරතුරු දැන ගැනීමේ පනත  ආදිය ගෙන එමින් ලංකාවේ විශාලම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට යන්න ඒ තුළින් හැකියාව ලැබුණා.

නමුත් ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය භාරගැනීමත් සමග ජනතාව කරන චෝදනාව ඇත්ත උනා නේද?

රටේ දේශපාලන ධාරාවත් එක්ක එකගව හෝ විරුද්ධව වැඩ කරලා තමයි ප්‍රතිසංස්කරණ දිනා ගන්න පුළුවන්. මෙය තේරුම් ගන්න බැරි සමහර අය යම් යම් කාරණා හදා ගන්නවා චෝදනා කරනවා. නමුත් ප්‍රතිඵල අරන් දුන්නේ අපේ සිවිල් සමාජ ක්‍රියාකාරිත්වය මගින්. සමහරු ඉච්ඡාභංගත්වයට පත් වෙලා ආණ්ඩුවට විරුද්ධවම වැඩ කළා. අපි නිවැරදි දේ ප්‍රශංසාවෙනුත් වැරදි දේ විරුද්ධත්වයෙනුත් ප්‍රකාශ කළා. ඊට පස්සේ අපි සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විදිහට පැහැදිළි තීරණයක් ගත්තා දේශපාලන බලය අභ්‍යාස කළ යුතුයි කියලා. කොටසක් දේශපාලන බල අභ්‍යාස කිරීමටත්, කොටසක් අරගලයේ යෙදීමටත් යන්න තමයි අවසානයේ අපි එකග වුණේ. ඒ වෙලාවේ තමයි ජයම්පති වික්‍රමරත්න මහත්තයගේ පුරප්පාඩුව එන්නේ. අපි කතා වෙලා හැමෝම එකග වෙලා තමයි මම මන්ත්‍රි ධුරයේ දිවුරුම් දෙන්නේ.

සමහර අය සම්ප්‍රදායානුකූලව කරන්නේ සාකච්ඡා වලදි එකග වෙලා කවුරු හරි ගියාම එයා ඒ පැත්තටම තල්ලු කරලා, හුදෙකලා කරලා එයාගෙන් ගන්න ඕන වැඩේවත් ගන්නේ නැතිව තමන්ගේ සුපුරුදු අරගලය කරගෙන යන එක. එහෙම සම්ප්‍රදායක් අපිට තියෙනවා. ඉස්සරහට අපි හිතනවා මේ අමාරු අලුත් දේවල් කරල පෙන්වන්න පුළුවන් වේවි කියලා. දේශපාලන භාවිතාව සහ එළියේ අරගලය අනාගතයේදිත් එකවිට කරන්න බලාපොරොත්තු වෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර පැවති බල අරගලය සමථයකට පත් කරන්න සිවිල් සමාජ නායකයින්ට නොහැකි වු නිසා යහපාලන ආණ්ඩුව අවුරුදු පහකින් බිද වැටෙන්න හේතු වුණා. ඒ පිළිබඳව ඔබේ අදහස

ඒ චෝදනාවෙන් කොටසක් අපි භාරගන්නවා. අපේ රටේ සිවිල් සමාජයට ඔය කියන සමතුලිත බව ඇති කිරීම යන කාරණය එතරම් සරල එකක් නෙවෙයි. අපේ විධායක ජනාධිපති ධුරය අති විශාල බලතල සහිත ධූරයක්. එම බලය තමයි අපි කළමනාකරණය කරන්න සූදානම් වුණේ. එය යම් ප්‍රමාණයකට කරන්න පුළුවන් වුණා.  පුද්ගල චරිත ඇතුලේ තියෙන ප්‍රශ්න අපිට පාලනය කරන්න නොහැකි වුණා. මෛත්‍රිපාල මහත්තය පොළොන්නරුවේ ඉදන් කොළඹට ආවා කියලා කිව්වට එයා මග නැවතුනා. එයාට හිතන්න බැරි වුණා රටේ විදිහ සහ ලෝකෙ විදිහ. රටේ මිනිස්සු එකතු වෙලා එයා  ලෝකෙට අරගෙන ගියාට එයාට ජාත්‍යන්තර චින්තනයක් තිබුණේ නෑ. එයා තල්ලු කරගෙන තමයි යන්න සිද්ධ වුනේ. තල්ලු කිරීමේ සීමාව තමයි ඛණ්ඩනය සහ ගැටුම් ඇතිවීම. සිවිල් සමාජයටත් මෙය අතහැරුණා. ඒ වගේම එකඟතාවයන්ට පටහැනිව වැඩ කරන කොට අවසානයේ සිවිල් සමාජය තීරණය කරනවා මෙයත් දැන් ඇති කියලා. ඒ තුළ යහපාලනය අර්බුධයට ගියා.

අපි සිවිල් සමාජය විදිහට දේශපාලන බලය අභ්‍යාස කළ යුතුයි! - සමන් රත්නප්‍රිය (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)

සාකච්ඡා කලේ – කේ. සංජීව

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment