1994, 2015 සහ 2020 : මෙතැනින් කොතැනටද? – සුනන්ද දේශප්‍රිය

1994, 2015 සහ 2020 : මෙතැනින් කොතැනටද? – සුනන්ද දේශප්‍රිය

මැතිවරණ  සමයේ දැල්වෙන අපේක්ෂා ඉදිරියට ගෙන යාමට රට කර වූ නිල් කොළ දේශපාලනය අසමත් වී තිබේ.

අප බොහෝ දෙනෙකු 1994 චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් පොදු ජන එක්සත් පෙරමුණ බලයට ගෙන ඒම පිනිස දරදිය ඇද්දෙමු. ඒ දහහත් වසක දුර්දාන්ත එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවට විරුද්ධවය.

2015 දී අප බොහෝ දෙනෙකු රනිල් – සිරිසේන නායකත්වය දුන් යහපාලන සන්ධානය බලයට ගෙන ඒම පිනිස එළෙසින්ම දරදිය ඇද්දෙමු. ඒ 1994 වසරෙහි සිට ඇරඹී පසුව  දූෂිත සහ භීෂක බවට පත් රාජපක්ෂ පවුලේ ආන්ඩුවට විරුද්ධවය.

මේ අතවාරයෙහි නිදහස, සාමය සහ සමෟද්ධිය මත පදනම් වූ ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම පිනිස විවිධ අන්දමින් අප බොහෝදෙන දායක වූයෙමු. ජනවාර්ගික සහ සමාජ යුක්තියද නීතියේ ආධිපත්‍යද මත පදනම් වූ සමාජ දේශපාලන සහ ආර්ථික සාමය, සමෟද්ධිමත් ලංකාවක් ගොඩ නැගීමේ පදනම බව අප බොහෝ දෙනෙකු විශ්වාස කළ දේශපාලනය විය.

1994 එකී බලාපොරොත්තු යතාර්ථයක් බවට පත්වීම ආසන්න යැයි පෙනී ගියද බලය විසින් ඇති කරන ලද දූෂනයේ ගොදුරු බවට පත් කුමාරතුංග ආන්ඩුව එකී අපේක්ෂා පමණක් නොව අධිකරණයද තුච්ච ලෙස දූෂණය කරමින් දුෂ්ඨ ආන්ඩුවක් බවට පත් විය. සමහර විට ශ්‍රී ලංකා ඉතිහාසයේ නීචතම මැතිවරණ මංකොල්ලය වූ 1998 වයඹ මැතිවරණ ප්‍රචන්ඩත්වය ඇයගේ දේශපාලනයේ නොමැකෙන කලු ලපයක් බවට පත්විය. රාජ්‍ය මාධ්‍ය නිරුවත් ලෙස පාලක දේශපාලනයේ අතකොළුවක් බවට පත් කරන ලද්දේ ලිබරල් දේශපාලනඥයකුවූ ඇයගේ මාධ්‍ය ඇමැතිවර මංගල සමරවීර විසිනි. වයඹ මංකොල්ලයේ මොලකාරයකු වුයේ 1994 වන විට නව දේශපාලනයක් අනුගමනය කරනු ඇතැයි පෙන්වාලමින් සිටි එස්.බී. දිසානායකය. 2005 -2015 දක්වා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන විනාශ කරමින් දූෂිත සහ භීෂක දේශපාලනය සිය පවුල් අධිරාජ්‍ය ගොඩ නැගීමේ මෙවළම් බවට පත් කර ගත් මහින්ද රාජපක්ෂ මානව හිමිකම් සහ සමාජ සාධාරණය වෙනුවෙන් අරගල කළ වීදි සටන්කරුවකු විය.

නිදහසින් පසු ශ්‍රී ලංකාව බහු ජාතික බහු වාර්ගික සහ බහු ආගමික දේශයක් ලෙස සාර්ථක රාජ්‍යක් බවට පත්වීමට තිබූ අවස්ථාව හුදෙක් බලලෝභය සඳහාම වූ ජාතිවාදය මත පදනම් වී විනාශ කරන ලද්දේ එස්.ඩබ්. ආර්.ඩී බන්ඩාරනායක නායකත්වය විසින් නම් ඒ සඳහාම ලද වඩා ජවබල සම්පන්න දෙවන ඉතිහාසීය අවස්ථාව විනාශ කරන ලද්දේ ඔහුගේ දියණිය වූ වන්ද්‍රිකා කුමාරතුංග නායකත්වය විසිනි.

අපේ මා පියන්ගේ පරම්පරාව එස්.ඩබ්. ආර්.ඩී. බන්ඩාරනායක නායකත්වය කෙරෙහි විශ්වාසය තැබූහ. අප චන්ද්‍රිකා කුමාරතුංග නායකත්වය කෙරෙහි විශ්වාසය තැබුවෙමු. දෙදෙනාම අලුයම ලූ කෙළපිඩක් පරිදි ඒ අපේක්ෂා තූතූ කොට දැමූහ.

මේ අතර වාරයේම වසර 2000 පමණ සිට රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිගාමී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනයන්ද නව ලිබරල්වාදී ආර්ථික සංවර්ධනයක්ද කරනු ඇතැයි විශ්වාස කළ පිරිස් අප අතරම වූහ. 2002 බලයට පත් වික්‍රමසිංහ එල්ටීටීඊය සමඟ සාම ගිවිසුමක් අත්සන් කරන ලද නමුත් එය හුදෙක්ම ආර්ථික දෟෂ්ඨි කෝනයෙන් ඒක පාර්ශවීයව කරන ලද්දක් විය. ආරක්ෂක ප්‍රධානී වූ ජනාධිපතිනි කුමාරතුංග ඉන් ඉවත් කර තිබුණි. මානව හිමිකම් සුරැකීම එම සාම ගිවිසුමට ඇතුළ‍ත්ව තිබුණේ නැත. රනිල් වික්‍රමසිංහ බලය ලද සෑම අවස්ථාවකම කටයුතු කර ඇත්තේ ගලෙහි රන් බැදි ජනප්‍රවාද ගත කටුස්සා ලෙසය. ජනාධිපතිනි කුමාරතුංග සමග සහජිවන ආණ්ඩුවක් ගෙන යනු වෙනුවට ඔහු සිය ගෝල බාලයන් සමඟ ප්‍රීති ප්‍රමොත්සව පවත්වමින් ඔවුන්ගේ අඳබාල උපදෙස් මත ක්‍රියාකරමින් පක්ෂයද ආන්ඩුවද දෙකම භංග කර ගත්තේය.

2015 වන විට රාජපක්ෂ පාලනය පරාජය කිරීම ඉතිහාසීය අවශ්‍යතාවයක් බවට පත්විය. රට පාලනය කැරුණේ නුවර වැව වටා මෝටර් සයිකල් රේස් පැදීම මගින් සකේතවත් වූ අනීතික පවුල් පාලනයක් මගිනි. සරත් පොන්සේකා සිරගත කිරීමෙන් ආරම්භ වූ රාජපක්ෂ දෙවැනි ජනාධිපති ධුරකාලය අගවිනිසුරු ශිරානි බන්ඩාරනායක හිතුවක්කාර ලෙස පලවා හැරීමෙන් දුෂ්ඨත්වයේ උපරිමයට පැමිණ තිබුනි. මේ අතරවාරයේ ගසාකෑම රාජ්‍ය ප්‍රතිපත්තිය බවට නොනිල වශයෙන් ප්‍රකාශ වී තිබූ අතර සුලුතර ප්‍රජාවන්ට සිදුව තිබුණේ නිරන්තර බිය ගැන්වීම් මැද ජීවත් වීමටය.

මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් නායකත්වය දෙන ලද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ මහජන ව්‍යාපාරය දේශපාලන බලවේගයක් බවට පත්වෙමින් තිබූ අතර රාජපක්ෂ විරෝධය ලියලා වැඩුණි. රනිල් – සිරිසේන විසින් නායකත්වය දෙන ලද යහපාලනයක් සඳහා වූ දේශපාලන සන්ධානය වැඩුණේ එකී මහජන ව්‍යාපාරය යටතේය. දෙමළ සන්ධානයේ සහ මුස්ලිම් දේශපාලන පක්ෂයන්හි සහය ලද යහපාලන සන්ධානය එක්තරා අන්දමකට 1994 දේශපාලන මොහොත යළි ප්‍රාදූර්භුතවීමක් වැනි විය. පෙර කී පරිදි අපි ඒ වෙනුවෙන්ද දරදිය ඇද්දෙමු.

1994ටත් වඩා කුජීත ලෙස යහපාලන සන්ධානය පිරිහී ගියේ ගසාකෑමේ පිළිවෙතත්, වික්‍රමසිංහගේ නෛසර්ගික පුහු ආඩම්බරයත් සිරිසේනගේ හිස්කමත් නිසාය. සිරිසේන යනු චන්ද්‍රිකාගේ මිනිසාය. රනිල් වික්‍රමසිංහ වනාහී මහජන දේශපාලනයට වඩා උපාමාරු දේශපාලනයක් මත පදනම් වන කෛරාටිකයෙකි. 2015-2019 අතර රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමේ දුරාචාර දේශපාලනයක නිරත වූ ඔහු අද අපේක්ෂා කරන්නේද රාජපක්ෂ සරණ ගොස් ජාම බේරා ගැනීමටය.

1994, 2002 සහ 2015 අසාර්ථක වූ දේශපාලන අත්දැකීම් ඇසුරෙන් අපට බැසගත හැකි නිගමනයක් වේද?

යළිත් වතාවක් කරු ජයසූරිය හෝ වෙනයම් පරාජිකාවූ දේශපාලනඥයකු හෝ පෙරටු කරගෙන ඊළග මැතිවරණය කරා වූ සන්ධානයක් ගොඩ නඟා ගැනීම එම අත්දැකීම් විසින් සාධාරණ කරන්නේද? ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති කරගත හැක්කේ දේශපාලන පක්ෂයක් බලයට පත් කර ගැනීම මගින් පමණක්ද?

පාර්ලිමේන්තුවට පිටින් එවැනි ප්‍රතිසංස්කරණ දිනා ගැනීම සඳහා ඇති මං මාවත් මොනවාද?

සමාජ සාධාරණය සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සඳහා සටන් කරන සමාජ දේශපාලන ව්‍යාපාරයක කොටස්කරුවන් විය යුතු බලවේග, පක්ෂ සහ සංවිධාන මොනවාද?

එවැනි ව්‍යාපාරයක අන්තර් ජාතික මුහුණුවර කුමක් විය යුතුද?

පශ්චාත් මැතිවරණ කතාබහ තුළ අප විසින් සාකච්ජාවට ගත යුතු ප්‍රශ්ණ ඒවාය.

මගේ අදහස නම් තවදුරටත් කවරකු හෝ කවර පක්ෂයක් හෝ රාජ්‍ය බලයට පත්කර ගැනීම මූලික අරමුණ වන දේශපාලයෙන් අද අප බැහැර වියයුතු බවයි. මන්ද යත් අප ද එක්ව බලයට පත් කර ගන්නා ලද ආන්ඩු කිසිවක් අපේක්ෂිත අරමුණූ කරා යෑමට කිසිදු ඇත්ත ප්‍රයත්නයක් නොදක්වන ලද නිසාය. එම අවස්ථාවන්හි බලයට පත් නායක නායිකාවන්ගේ අවේනික දුර්වලකම් වලටත් වඩා ඔවුන් අසාර්ථක වූයේ බලය විසින් දූෂනයට හසු කර ගන්නා ලද නිසාය. වත්මන් තත්වය යටතේ අප උත්සාහ කළ යුත්තේ (පරිවාස ආන්ඩුව මගින් 17වන සංසෝධනය ඇති කළ පරිදි) බලපෑමේ දේශපාලනය පාරිලිමේන්තුව තුළට ගෙන යෑමටය.

රාජපක්ෂවරුන්ට එදිරිව ඇති සහ සහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව තුළ එම තැන ලබා ගන්නා ඇති සමගි ජන බලවේගයට අඩුම වශයෙන් 1994, 2002 හෝ 2015 විසින් ඇති කරන ලද ප්‍රතිසංස්කරණ අපේක්ෂාවන්ට ළඟාවිමටත් නොහැක. සජිත් ප්‍රේමදාස ස්වර නාද නැංවිය හැකි හිස් කළයක් හා සමානය. රනිල් වික්‍රමසිංහ සිටින්නේ සිය උපාමාරු දේශපාලනයේ සීග්‍ර පල්ලම් බැසීම අබියසය. දේශපාලන ප්‍රතිපත්ති අතින් සජිත් ප්‍රේමදාස අන්ත පසුගාමියෙකි.

මහ මැතිවරණයෙන් රාජපක්ෂවරුන් ජය ගැනීමට ඇති වාසිය වැඩිය. බොහෝ දේශපාලන විවේචකයින් නොකියා කියන්නේ රාජපක්ෂවරුන් ජය ගැනීමෙන් පසු සමාජ ආර්ථික අර්බූදයන්ට පිළියම් සෙවීම මර්දනකාරී ස්වරෑපයක් ගනු ඇති බවයි. පසුගිය මාස ගණනාව විසින් මෙරට නීතියේ ආධිපත්‍යට සිදුව ඇති වින්නැහිය අප හැම දැක තිබේ. අද මෙරට ඇත්තේ අනීතික සහ හිතුවක්කාර ජනාධිපති පාලනයකි. එය මහ මැතිවරණයෙන් පසු වර්ධනය නොවනු ඇතැයි සිතිය හැක්කේ දේශපාලන දවල් හීන දකින්නකුට පමණි. පශ්චාත්–මැතිවරණ කාලය සමාජ, දේශපාලන සහ ආර්ථික අර්බූදයන්ගෙන් පිරී යනු ඇති බව දරනටම පෙනෙන්නට තිබේ.

එවැනි තත්වයක් යටතේ හොඳම තෝරා ගැනීම වනු ඇත්තේ එවැනි සමයක රාජපක්ෂවරුන්ගේ ධන බලය සහ අවි බලය ඉදිරියේ නොනැමී සටන් කරනු ඇති බවට වැඩිපුරම විශ්වාස කළ හැකි දේශපාලන නියෝජිතයින් මෙම මැතිවරණයේදී පාර්ලිමේන්තුවට යැවීමය. එපමණක් නොව එවැනි බලවේග ජාල ගත කැරෙන දේශපාලනයක් ඉදිරියට ගෙන යෑමය.

අද පවත්නා ඉතාම පුළුල් වාම සංධානය නම් ජාතික ජන බලවේගයයි. ජනතා විමුක්ති පෙරමුණේ නෛසර්ගික කට්ටිවාදය විසින් ඒ වටා ගොනුව ඇති වාම බලවේග හුදෙක් කඩේ යැවීමකට සීමා නොකළ හොත් එම ජාලය ව්‍යුහාත්මකව නොවුනද වඩා ශක්තිමක්වීමේ අවකාශයක් ද තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කිරීමට නියම කර තිබූ වාම පිරිස් පවා අද ජාතික ජන බලවේගය හා එක්ව සිටිති. නැත්නම් එයට සහාය පළ කරති. අඩුම වශයෙන් තමන් එයට ජන්දය දෙන බව කියති. එය වටා එක්ව සිටින මෙම පුළුල් චාම සහ ප්‍රජාතන්ත්‍රවාදී පිරිස්වලට ජවිපෙට බලපෑමට හැකියාවක් තිබෙනු ඇත්ද? ජාතික ජන බලවේගයේ අපේක්ෂ ලැයිස්තු දෙස බලන විට පෙනෙන සැඟවූ ඇත්ත නම් එය මූලික වශයෙන්ම සිංහල පිරිමින්ගේ ව්‍යාපාරයක් බවයි. අද යුගයේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක්වීමට නම් ස්ත්‍රී දේශපාලනයක් පමණක් නොව හරිත දේශපාලනයක් ද අත්‍යවශ්‍යය.

මෙම තත්වය වෙනස් කිරීමට ජවිපෙ වටා රැස්ව සිටින පිරිස්වලට හැකිවනු ඇතිද? ජවිපෙ සතු නිදන්ගත කට්ටිවාදය විසින් ජාතික ජන බලවේගය කොර නොකරනු ඇත්ද?

මේ තකාකල් රට පාලනය කළ දේශපාලන පක්ෂ කෙරෙහි ඇති විශාල විරෝධය සහ කලකිරීම ජාතික ජන බලවේගයට වාසියක් බවට නොවන්නේ නම් ඊට හේතු පිළිබඳ සාකච්ජාවක් ඇති කිරීමට එහි සිටින ජවිපෙ නොව සිවිල් සහ දේශපාලන බලවේග සමත් වනු ඇත්ද?

අප හමුවේ ඇති තිත්ත නමුත් ඇත්ත ප්‍රශ්ණ එවැනිය. එනම් නිල් – කොළ දේශපාලනයෙන් මිදුණු පුළුල් සමාජ ව්‍යාපාරයක් ගොඩ නැගෙනු ඇත්තේ කෙසේද යන්නය.

ජාතික ජන බලවේගයට ඡන්දය දීම තරමටම එම ප්‍රශ්ණයට පිළිතුරු සෙවීමද වැදගත්ය.

එය එක් අතෙකින් නිදහසින් පසු දේශපාලනයට එළඹෙමින් සිටින තෙවන පරම්පරාව මුහුණ දෙනු ඇති දේශපාලන ජීවිතය හෝ දේශපාලන මරණය පිළිබඳ ප්‍රශ්ණයද වෙයි.

 

31/07/2020 by Sri Lanka Brief

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment