ශානී වගේ පොලිස්කාරයෙක්ට වඩා වටින්නේ චොකා මල්ලී වැනි අපරාදකරුවෙක් ය..!

ශානී වගේ පොලිස්කාරයෙක්ට වඩා වටින්නේ චොකා මල්ලී වැනි අපරාදකරුවෙක් ය..!

මේක පොඩි නිරීක්ෂණයක්, පොඩ්ඩක් හිතලා බලන්න ලංකාව කියන්නේ මොනවගේ රාජ්‍යයක් ද කියලා..

ඊයේ (ජුලි 31) කොළඹ අපරාද කොට්ඨාශය අත්අඩංගුවට ගත්ත CID යේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගම්පහ උසාවියට ගේනකොට මිනිහා බලන්න ගම්පහ උසාවියට ආවේ කවුද? ශානි අබේසේකර මහත්තයාගේ පවුලේ සමීපතයින් සහ තවත් කිහිප දෙනෙක් විතරයි. ඒ පිරිසේ ප්‍රමාණය අත් දෙකේ ඇඟිලි ගානට වඩා අඩුයි කියලයි මට හිතෙන්නේ.

ශානි අබේසේකර කියන්නේ අපිට හිටපු දක්ෂම පොලිස් පරීක්ෂකයා කිව්වොත් නිවැරදියි. ඔහු නීතියේ පාලනය සැමට සාධාරණව ක්‍රියාත්මක කරන්න සහ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්නට කැපවීමෙන් සහ නොබියව වැඩකරපු CID නිළධාරියෙක්. එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරා අතුරුදන් කිරීම, තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය වගේම මෑත කාලීන නමගිය අපරාද ගැන වගේම මොහොමඩ් සියාම් ඝාතනය, රෝයල් පාක් මිනීමැරුම වගේ අතීත සිද්ධි ගැනත් පරීක්ෂණ කරලා අපරාදකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළේ ඔහු. කොච්චර දක්ෂ පොලිස් නිළධාරියෙක් උනත් දේශපාලන අණට කීකරු විය යුතුයි. දේශපාලකයින් සම්බන්ධ සිදුවීම් පිළිබඳව පරීක්ෂණ නොකළ යුතුයි කියන පණිවිඩය දෙමින් ඔහුට දැන් පළිගැනීමේ හස්තය එල්ලවෙලා. මේක මුලු රාජ්‍ය සේවයටම දෙන පණිවිඩයක් වෙන්නත් පුලුවන්. කොහොම වුණත් නීතියේ පාලනය නීතියේ සාධාරණත්වය අගය කරන පුරවැසියන් හරිනම් මේ වෙලාවේ පෙරට පැමිණ ඔහුට “අපි ඔබ එක්ක ඉන්නවා’” කියන පණිවිඩය දිය යුතුව තිබුණා. එහෙම කියන්න තියා අධිකරණය ළඟට යන්න කිසිවෙක් නෑ. ඒක තමයි ලංකාවේ අපි, නීතිය ගැන අපරාද ගැන හිතන විදිහ.

මේ සිද්ධියේ දී පුරවැසියාගේ හැසිරීම මේක උනාට, ඊයේ රත්නපුරේ උසාවි සංක්‍රීණය ඉස්සරහට නම් පුරවැසියන් වැලනොකැඩී එකතු වුණා. ඒ ඇයි? ඒ තමයි කහවත්තේ ශාන්ත දොඩංගොඩ ඝාතනයට අදාළ නඩුවෙන් ප්‍රේමලාල් ජයසේකර නම් මහජන නියෝජිතයා නිදහස් වෙයි කියන බලාපොරොත්තුව ඇතිව. ඔහු ආදරයෙන් පිළිගැනීමට. එහෙත් ඒ නඩුවේ තීන්දුව වුණේ, ප්‍රේමලාල් ජයසේකර ඇතුලු දෙදෙනෙක්ට ශාන්ත දොඩංගොඩ මරා දැමීම හේතු කරගෙන මරණීය දණ්ඬනය පැමිණ විය යුතු බව. ඉතිං රැස්ව හිටපු මහා සෙනඟ හොඳටම ඇඬුවා. කඳුළු සැළුවා. ප්‍රේමලාල් අපරාදකරුවෙක් කියලා උසාවිය කියනකොට, ඔහු සමාජයෙන් ඈත්කර තබන්නට කටයුතු කරනකොට අපේ මිනිස්සු ඒ අපරාදකාරයා බඳාගෙන හඬා වැටුණා. ඊට පස්සේ ඒ ජනතාව ඔහු වහාම නිදහස් කරන්න කියලා උද්ඝෝෂණය කරනවා.

මේ සිද්ධි දෙක දිහා බලාගෙන හිටපු මට හිතුනේ ලංකාවේ අපරාදකාරයෙක් වෙන එක අපරාද සොයන පොලිස් පරීක්ෂකයෙක් වෙනවට වඩා හොඳයි කියලා. කෙටියෙන් කියනවනම් නීතිය ආරක්ෂා කරන්න කටයුතු කරන රාජ්‍ය නිළධාරියෙක්ට වඩා ලංකාවේ පුරවැසියාට වැදගත් වෙන්න වටින්නේ නීතිය කඩන කඩන්න බලාගෙන ඉන්න අපරාදකාරයා. ඒකෙන් පේන්නේ ලංකා සමාජය කියන්නේ අපරාද ප්‍රවර්ධන සමාජයක් කියන එක නෙවෙයිද?

මෙහෙම හිත හිතා ඉන්නකොට  දකින්න ලැබුණා ප්‍රේමලාල් ජයසේකර මහතාට මරණ දඬුවම හිමිවීම පිළිබඳව ඔහුගේ දියණිය මුහුනු පොතට එකතු කරලා තිබුණ පෝස්ට් එකක්. තමන්ගේ තාත්තා මරා දැමිය යුතුයැයි රාජ්‍ය තීරණය කිරීම දුවකට උහුලන්නට බැහැ. ඒක ඇත්ත. ඒත් තාත්තා නිදහස් වෙලා එනකම් ඒ හිනාව දකින්න බලං ඉන්නවා කියලා ඇය කියනකොට අපේ පුරවැසියන් බහුතරය කියන්නේ මොනවාද? ඔවුන් බොහෝ දෙනෙක් මේ මනුස්ස ඝාතනය ඝාතනයක් ලෙස පිළිගන්න සූදානම් නැහැ. ඔවුන්ට අනුව ශාන්ත දොඩංගොඩට වෙඩි වැදී තිබෙන්නේ අහසින් පාත්වී ආපු උණ්ඩයකින්..!

එයිනුත් නොනැවතී එම දියණිය තවත් වීඩියෝ පටයකින් රත්නපුරේ ඡන්දදායකයින් ගෙන් ඉල්ලා සිටිනවා, තමන්ගේ තාත්තාට සිය මනාපය ලබාදී ඉහළින්ම ඔහු දිනවන්නට කටයුතු කරන්න කියලා. ඔහුව පෝරකයට දැක්වූ අධිකරණ නියෝගයට විරෝධය දක්වලා සිය ඡන්දය තාත්තා වෙනුවෙන් භාවිතා කරන්න කියලා. මෙයින් හොඳටම පේනවා ලංකාවේ නීතියේ පාලනය තියෙන්නේ කුමන සීමාවකද කියන එක. අපි කවුරුත් දන්නවා ලංකාවේ අධිකරණය කිසියම් පුද්ගලයෙන් කිසියම් අපරාදමය වැරැද්දකට වැරදිකරුවෙක් කරලා ඔහුට මරණීය දණ්ඩනය නියම කළාම ඒ පුද්ගලයාට මහජන නියෝජිතයෙක් විදිහට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බැහැ කියන දේ. ඒත් මේ ප්‍රකාශයෙන් පේන්නේ, වර්තමාන දේශපාලන තත්ත්වය එක්ක අභියාචනාවකින් හෝ ජනාධිපති පොදු සමාවකින් හෝ තම තාත්තාට නිදහස්ව පැමිණිය හැකියැයි දියණිය විශ්වාස කරන බව නෙවෙයිද. මේ විශ්වාසය පැමිණෙන්නේ කොහෙන්ද? ඒ පිළිබඳවත් අපි සිතා බැලිය යුතුය.

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment