වියත් දේශපාලන ප්‍රභූ පැලැන්තිය  හා ජනප්‍රිය දේශපාලනය

වියත් දේශපාලන ප්‍රභූ පැලැන්තිය හා ජනප්‍රිය දේශපාලනය

 

ශ්‍රී ලංකාව නිදහසින් පසු අත්පත් කර ගෙන ඇති දේශපාලනය බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපයක් ගනී. බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ද මානව වංශික අනන්‍යතා මත පදනම් වූ ගැඹුරට ම බෙදී ගිය සිංහල බෞද්ධ ජනයාගේ හෙජමොනි තත්ත්වයක් අත්පත් කර ඇති දේශපාලන ක්‍රියාවලියක් ලෙස අර්ථකතනය කළ හැකිය. මෙවැනි තත්ත්වයක් තුළ මැතිවරණවලදී වාර්ගිකත්වය මත පදනම් වූ දේශපාලනය වර්ධනයවීමක් දේශපාලන ඉතිහාසය පුරාම දැකිය හැකිය. නමුත් මෙරට මැතිවරණ ඉතිහාසය දෙස බැලිමේ දී 2015 දී වෙනසක් බලාපොරොත්තුවීම හෝ වෙනසක් කිරීමට පොරොන්දුදීම තුළින් ඡන්දදායක චර්යාව වෙනසකට ලක් කිරීමක් (මධ්‍යම පාන්තික ඡන්ද) දැකිය හැකිය. ගැඹුරකට බෙදී ගිය මානව වංශික අනන්‍යතා සහිත සමාජ සන්දර්භයකට දේශපාලනයයේ වෙනසක් ඇති කිරීමට සාම්ප්‍රදායිකව යොදා ගත් මැතිවරණ උපක්‍රමවලට කෙතරම් බලපෑමක් ඇතිවේද යන්නත් ප්‍රජාතනත්‍රවාදයේ හරයාත්මක අංශය ශක්තිමක්වීමක් අපේක්ෂකා කළ හැකි ද යන්න මෙම ලිපිය මඟින් අපේක්ෂ කෙරේ.

මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් මෙන් ම මැතිවරණවලදී බලපෑම් කළ හැකි සිදුවීමක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය දැකිය හැකිය. ඒ තුළින් ගොඩනැගුණු මැතිවරණ සටන් පාඨයන් මැතිවරණයේ දී ඡන්දදායක චර්යාවේ වෙනසක් ඇති කිරීමටත් 2015 දී ගොඩ නැගීමට උත්සාහ කරන ලද ප්‍රජාතාන්ත්‍රික සංකල්පයන්වලට නැවතීමක් හා එය සමාජය තුළ සාකච්චාවට භාජනයවීම නතරවිමක් දැකිය හැකිය. මෙකි නතරවිමත් සමග ඇතිවු තත්ත්වය නම් ජාතිය, ජනවාර්ගිකත්වය යන්න මෙවලම්වාදී ලෙස මැතිවරණ ප්‍රචාරණයට යොදා ගැනීමත් අනාගත මැතිවරණයට අවශ්‍ය පරිදි සමාජ සන්දර්භය සකසා ගැනීමකි. මෙවැනි තත්ත්වයක් තුළ අනුග්‍රාහාක සේවා සබඳතාවය මත ගොඩ නැගෙන සබඳතාවය වෙනුවට දේශපාලන අලෙවිකරණය නව මාවතක් කරා යොමුවීමක් දැකිය හැකිය. මෙහිදී දේශපාලන අලෙවිකරණය සිදුවනුයේ සාම්ප්‍රදායික සිදුවන පක්ෂ ප්‍රතිපත්ති, අපේක්ෂක ප්‍රතිපත්ති නොව ජාතික දේශපාලනයේ සාකච්චාවට බදුන්වී ඇති සංසිද්ධියක් මත දේශපාලන ප්‍රචාරණය සිදු කිරීම දැකිය හැකිය. මෙවැනි තත්ත්වයක් තුළ සාම්ප්‍රදායිකව දේශපාලන අලෙවිකරණයට භාජනය වූ මානව වංශිකවිභේදනයන් මැතිවරණ ව්‍යාපාරයන්වල සැගවුණු ස්වරූපයක් ගැනීමක් දැකිය හැකි අතර අපේක්ෂකයින් තමාට උරුම වූ එනම් මානව වංශික විභේදනයන් මත හිමි වන මනාප නියතිය එලෙසම ග්‍රහණය කිරීමට කටයුතු කරන අතර මධ්‍යම පාන්තික හෝ දේශපාලනය සාපේක්ෂ දෙයක් ලෙස සලකා මැතිවරණයක දී තම පරමාධිපත්‍ය බලය භාවිතා කරන ඡන්දදායකයාගේ ඡන්දය ලබා ගැනීම මැතිවරණයක දී තීරණාත්මක වේ.

ප්‍රාදේශීය ආණ්ඩුකරණය සම්බන්ධ මැතිවරණ ක්‍රියාවලියකදී ප්‍රාදේශීය ගැටලු ආමන්ත්‍රණය කිරීමත් පළාත් හා ජාතික තලයේ මැතිවරණයක දී ජාතික මට්ටමේ හෝ සමාජයේ පොදුවේ මූලබීජයන් පැන නගින ගැටලුවලට දේශපාලන අලෙවිකරණය හරහා කටයුතු කිරීම හරහා දේශපාලන පක්ෂ වලට සාපේක්ෂ වශයෙන් වාසි සමගත තත්ත්වයක් ඇතිවීමක් වර්තමානයේ දී දැකිය හැකිය. වංචාව, දුෂණයෙන් තොර දේශපාලනයක් ගොඩ නැගීමට පොරොන්දු වූ දේශාපලන ව්‍යාපාරයත් එකී දේශපාලන ව්‍යාපාරයට  පාස්කු ඉරිදා ප්‍රහාරයත් හා වෙනත් දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් මධ්‍යම පාන්තික සමාජය තුළ ගොඩ නැගී ඇත්තේ වෙනස් ම වූ දේශපාලන මතවාදයකි. එනම් ව්‍යවස්ථාදාකයේ 225 ම එපා යන මතය තුළින් ගොඩ නැගුණු බුද්ධිමත් පිරිස රටකරවන තැනට යා යුතුය යන සමාජ සංකල්පය උපක්‍රමික වෙවලමක් ලෙස මැතිවරණයට යොදා ගැනීම මෙරට මැතිවරණයේ නව දිශාවකට හැරවීමට සමත්වී තිබේ. මෙකී තත්ත්වය තුළ දේශපාලන න්‍යායේ දැක්වෙන නව ප්‍රභූ පැලැන්තියක් ගොඩ නැගීමට අවශ්‍ය සමාජ සන්දර්භයට මඟ විවරවීමක් දැකිය හැකිය. මානව වංශික විභේදනයන් හෝ අනුග්‍රාහක සේවා සබඳතාවය මත ගොඩ නැගෙන දේශපාලන ප්‍රභූත්වයට වඩා වෙනස් සන්දර්භයකින් දේශපාලනය ගොඩ නැගීමක් එනම් වියතුන්ගෙන් දේශපාලඥයා බිහි විය යුතුය යන්න මෙකී මැතිවරණ ක්‍රියාවලිය හා ආණ්ඩුකරණ ක්‍රියාවලිය හරහා අපේක්ෂා කළ හැකි සංසිද්ධියකි.

මෙවැනි සන්දර්භයක් බිහි වුවද මේ තුළින් ගොඩ නැගෙන වියත් නව දේශපාලන ප්‍රභූන්ට ප්‍රතිපත්තිමය දේශපාලනයක් කිරීමට අවශ්‍ය දේශපාලන සංස්කෘතියක් මෙරට තිබේ ද යන්න සැක සහිතය. යටත් විජිතභාවයෙන් මිදී ඩොමීනියන් තත්ත්වයේ සිට වර්තමානය දක්වා ලංකාවේ දේශපාලනයේ අත්පත් කර ගෙන තිබෙන කතිපයාධිකාරීත්වය විවිධ සාධක මත ගොඩ නැගී ඇත. ඒවටා රෝපණය වූ අනුග්‍රාහකත්වය, මානව වංශික අනන්‍යතා හා දේශපාලන අලෙවිකරණයන් නව වියත් දේශපලනයකට දරා සිටීමට හා ඒ තුළ ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට හැකියාවක් ඇතිවේද යන්න ප්‍රශ්නකාරී වේ.

මීට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරිම සිදු කිරීම ඇතැම්විට අධිපති පක්ෂ මගින් ද සිදු කිරීමක් දැකිය හැකිය. අවශ්‍ය වු විට පමණක් ජාතිය යන්න මෙවලමක් ලෙස බහුතර ජනයා අතර භාවිතා කිරීමත් තවත්විටක ඊට එල්ලවන ප්‍රතිවිරෝධතා මනාව පාලනය කිරීමට හා  සාධාරණීකරණයන් ඉදිරිපත් කිරීම මැතිවරණ උපක්‍රමයක් ලෙස භාවිතා කිරීම සක්‍රිය දේශපාලන පක්ෂයක වර්තමානයේ දැකිය හැකි සංසිද්ධියි. මෙහිදී බහුතර සමාජයේ ජාතිය යන්න කළමණාකරණය කිරීමත් වාර්ගික සුළුතරයේ හිතෛෂීභාවය පළුදු නොවී සමබරව පවත්වා ගෙන යමින් මැතිවරණ ප්‍රචාරණය කිරීමට හැකිවීම යන සාධකය වර්තමානයේ ලංකික පක්ෂ දේශපාලනයේ දැකිය හැකි දේශපාලන ආලෙවිකරණයේ නව සංසිද්ධියකි.

ලංකාවේ ප්‍රජාතත්ත්‍රවාදය පිළිබද අවධාරණය කරනවිට දැකිය හැකි දෙයක් වනුයේ විවිධ හිඩැස් පවතින බවයි. ජනවාර්ගිකත්වය මත ගොඩ නැගුණු ජාතිය මෙවලමක් ලෙස දේශපාලනය තුළ යොදා ගැනීමත් බහුතරයේ ආධිපත්‍යයෙන් හා බහුතර ආධිපත්‍යට අනුකූලව හැඩ ගැසිය යුතු යැයි අනුමාන කරන වාර්ගික සුළුතරයේ දේශාපාලනය අතර වීශාල හිඩැසක් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ පවතී. මෙවැනි තත්ත්වයක් තුළ ආයතනික ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයේ හරයාත්මක අංශය ද වර්ධනය කිරීම මුලීකව ම කළ යුතුය. එපමණක් නොව මානව වංශිකවිභේදනයන් මත දේශපාලනය සංකල්පයන් තීරණය කිරීම වෙනුවට ගැඹුරු ප්‍රජාතන්ත්‍රවාදය කරා ආණ්ඩුකරණ ව්‍යුහයන් මෙහෙයවමින් පොරොන්දු දේශපාලනය නව ආකාරයන්ගෙන් ඉදිරිපත්වීම වෙනුවට ජාතික රාජ්‍යයකට අවශ්‍ය ලෙස අනන්‍යතාවයකින් යුතු දේශපාලන සංස්කෘතියක් ගොඩ නැගීමට ජනතා පරමාධිපත්‍ය උපයෝගී කර ගත යුතුය.

සටහන – නුරංග ගුණරත්න.

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment