මේක මිලිටරීකරණය තමයි – විමල් කැටිපේආරච්චි (මාධ්‍යවේදී)

මේක මිලිටරීකරණය තමයි - විමල් කැටිපේආරච්චි

ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිවරයා බලයට පැමිණීම සඳහා භාවිතා කරපු ප්‍රධානම සටන් පාඨය වුණේ “ජාතික ආරක්ෂාව අනතුරේ” යන සටන් පාඨය. වර්තමාන ජනාධිපතිවරයා මෙහෙම කියලා බලයට පැමිණියත්, මේ වෙනකොට ඔහුට පොදු පුරවැසියාගේ ආරක්ෂාව තහවුරු කරන්න බැරිවෙලා තිබෙනවා. ඔබ මෙම තත්ත්වය විග්‍රහ කරගන්නේ කොහොමද?

ඔව්, ජාතික ආරක්ෂාව කියන වචනය ඒ කාලේ සාඩම්බරයෙන් වර නැගුණු වචනයක්. පසුගිය නොවැම්බරයේ ජනාධිපතිවරණයට කළින් අපි දන්නවා අපේ ප්‍රවෘත්ති නාලිකාවල මේ වචනය කියවුණ ආකාරය. මතක් කරලා බලන්නකෝ, ඒක කොච්චර ආඩම්බරයෙන් ද කිව්වේ කියලා. ඒ බැරෑරුම් ස්භාවය නිසාම ජනතාවත් ඒක බොහොම බැරෑ‍රුම්ව ගත්තා. ඒකට පසුගිය පාලන කාලයේ ඇතිවුණ සමහර සිදුවීම් බලපෑවා. අපේ ජාතියට එරෙහිව තවත් ජාතියක් අවි අමෝරාගන්නට යනවා, අපි ඒකට එරෙහිව කටයුතු කරන්නේ කොහොමද? කියන එක වගේ තැනකින් තමයි, ඒ කාලේ ජාතික ආරක්ෂාව කියන දේ ජනතාව තේරුම් ගත්තේ.. ඇත්තටම ඒක එහෙමද? ජාතික ආරක්ෂාව කියන්නේ තවත් ජාතියකට, ජනවර්ගයකට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීමද? අපි ජාතිය කියලා හඳුනාගන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මේ හැවෝම එකතුවුණ, ශ්‍රී ලාංකේය ජාතිය. ඒ අදහස උඩ ඉදලා අපි කියන්නේ ජාතික ආරක්ෂාව කියන දේ ජාතින් අතර ප්‍රශ්නයක් බවට ලඝු වෙනවට වඩා අපි කැමතියි, ඒක පුරවැසියාගේ ආරක්ෂාව කියන තැනට යනවා නම්.  එතකොට දැන් මේ සමාජය මත උඩු දුවමින් තිබෙන ප්‍රචණ්ඩත්වය ගැන, අපිට එන ප්‍රශ්නය නම්, මේ ජනාධිපතිවරණයෙන් පස්සේ ඒ සඳහා බුරුලක්, යම් මතවාදිමය හෝ ඉඩක් ඒ අපරාධකරුවන්ට ලැබුණාද යන්න.

වර්තමානයේ හිස ඔසවමින් යන පොලිස් ප්‍රචණ්ඩත්වය ගැන කතා කළොත්,  මේ ආරක්ෂක අංශ කියලා කියන්නේ තමන්ට ලැබෙන නියෝග මත කියාත්මක වෙන ආයතන පද්ධතියක්. එතකොට ආරක්ෂක අංශ මේ එල්ලකරන ප්‍රහාර ගත්තොත් ඒවා ඔවුන්ගේ අභිලාෂයන් මත සිද්ධවෙන දේවල් නෙවෙයි, ඒවා ඊට ඉහළින් එන යම් යම් අණදීම් නියෝග මත වෙන දේවල්. ඒවා ක්‍රියාතමක කිරීමේදී ඇතිවන ප්‍රචණ්ඩත්වයේ ප්‍රබලත්වය වගේ දෙයක්, ඒ ආරක්ෂක අංශ සාමාජිකයා මත පදනම් වෙන්න පුලුවන්. නමුත් ඒ හැසිරීමට නියෝගය එන්නේ ඉහළින්. එතකොට මේ උද්ඝෝෂන වලට ප්‍රහාර එල්ලකිරීම්  පිළිබඳ වඟකීම, මේ නියෝග නිකුත් කරන දේශපාලන බලාධිකාරය ගන්න ඕනෑ. එතකොට අලුත් ජනාධිපතිවරයා යටතේ ප්‍රචණ්ඩත්වය වැඩිවෙනවා නම්, අපේ සමාජය  විවෘත වෙන්නේ එවැනි කලාපයකට නම්, අපි පෙරළා ප්‍රශ්න කරන්නේ එලබෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී තවත් බලය ලබා දී මේ ජනාධිපතිවරයා ශක්තිමත් කිරීම හරහා ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. ඒ නිසා අපි කියන්නේ මේ නැඟඑන ප්‍රචණ්ඩත්වයට, සමාජ අපගමනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු ජනතා බලවේග එකතුවෙන්න ඕනෑ කියන එක.

අපි දැක්කා පසුගිය කාලයේ රජයේ ඉහළ තනතුරුවලට හමුදා නිළධාරීන් විශාල වශයෙන් පත් කරනවා. මේ සමග පුරවැසියන් තුළින් යම් සංවාදයක් මතුවුණා, මේ සිද්ධවෙමින් තිබෙන්නේ මිලිටරීකරණයද කියන කාරණය ගැන..

ඔව්. සමහරු තර්ක කරනවා අපි දැක්කා මේක මිලිටරීකරණය කියලා, සමහරු ලෝකය පුරා තිබුණ හමුදා පාලනයන්, ඒකාධිපති පාලනයන් වගේ දේවල් උදාහරණයට අරගෙන ප්‍රථිතර්කයන් ඉදිරිපත් කළා, නෑ එහෙම දෙයක් මෙතන නෑ කියලා.  මේ සංවාදය මැද්දේ මම කියන්නේ මිලිටරීකරණය කියන දේ ඕනෑනම් ප්‍රජාතන්ත්‍රවාදය කියන පිටකවරයක් අස්සෙ උනත් හැදෙන්න වැඩෙන්න පුලුවන් කියන දේ. අපි දන්නවා කැබිනට් මණ්ඩලය කියලා දෙයක් තිබෙනවා, ඔවුන්ට හිමි බලතල තිබෙනවා, එතකොට ඒවා අතික්‍රමනය වෙන විදිහට යම් යම් පත් කිරීම් සිද්ධ වෙනවා, (කාර්‍යසාධක බලකායන් වගේ) අපි පහුගිය කාලයේ දැක්කා. මේ තත්ත්වය දිගටම ගියොත් ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ඇවිත් ඇමති තනතුරු ලබාගන්න මහජන නියෝජිතයන්ට කරන්න දෙයක් නැතිවෙයි. එහෙම උනොත් ඔවුන්ගේ පැවැත්ම නාමමාත්‍රික වෙයි. එවැනි තත්ත්වයක් තුළ ගොඩනැඟෙන පාලනය මොන වගේ වෙයිද? ඒකයි අපගේ ප්‍රශ්නය. මෙතනදී, මේ තනතුරුවලට පත්වෙන හමුදා නිළධාරීන්  සමග අපිට කිසිදු ප්‍රශ්නයක් නැහැ. නමුත් කිව යුතුයි, මේක මිලිටරීකරණය තමයි. එනිසා මේ තත්ත්වය ඉදිරියට ගියොත්, ඒක රටට අහිතකර වෙයි කියන එකයි මගේ හැඟීම.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ගෙවුන මේ කාලය තුළ සෑහෙන්න සිදුවීම් සිද්ධවුණා ජනතාව වෙනුවෙන් හඬ නැඟිය යුතු. එහෙත් මේ තත්ත්වයන් නිවැරදිව විග්‍රහ කරගෙන එම සිදුවීම් වලට විරුද්ධව හඬ නඟන විපක්ෂයක් අපිට තවමත් පෙන්නෙන්නට නැහැ. මේ වෙනකොට ජනාධිපතිවරයාගේ පාර්ශවය තුනෙන් දෙකක බලයක් ඉල්ලනවා, මේ ඉල්ලීම පිටුපස තිබෙන අර්ථය තමයි ජනතා අභිලාෂයන් තලාගෙන යන ගල් රෝලක් නිර්මානය කරගැනීම. මෙම අලුත් තත්ත්වයන් තුළ ඔබ නියෝජනය කරන විපක්ෂ දේශපාලනය කෙබඳු  ආකාර වියයුතුද?

මර්ධනය දියත් කරගෙන එනවිට නොවැලැක්විය හැකිලෙස ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටන ඉදිරියට පැමිණෙන බව අපි අමතක කළ යුතු නැහැ. අපි දැන් මැතිවරණයක මුවවිට ඉන්නේ. එක පැත්තක විධායක ජනාධිපතිවරයෙක් සිටිනවා. විශාල බලයක් එක්ක. අනික් පැත්තෙන් ඔහු නියෝජනය කරන පක්ෂය, තුනෙන් දෙකක විශාල බලයක් ඉල්ලනවා. එතකොට මේ ඉල්ලන්නේ වැඩි වැඩියෙන් අධිකාරී බලය. මේ තත්ත්වය තුළ අපිට කියන්න තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අරගල කරන  පළල්ම සමාජ පෙරමුණ නිර්මානය වෙන්නට නියමිතයි කියන එක. ඒ ගැන අපි සැකයක් තබාගතයුතු නැහැ. පහුගිය කාලයේ වෙනස් මාර්ගවල ගිය වාමාංශිය කොටස්, ප්‍රගතිශීලි බලවේග එකට එකතුවෙලා වැඩකළ හැකියි කියලා පෙන්වලා තිබෙනවා. ඒක අපිට තිබෙන ලොකුම ශක්තියක්. ඒ වගේම ඒක අපිට තිබෙන හොඳ සඥාවක්. එනිසා අපි පාලකයින්ට කියන්නේ, ඔබ කූඨ උපක්‍රමවලින් ජනතා බලය අතට අරගෙන අත්තොනෝමතිකව වැඩකරන්න ගියොත්, ප්‍රජාතන්ත්‍රවාදය ඩෝසර් කරන්න උපාය උපක්‍රම තේරුවොත්, ඊට විරුද්ධව මේ පැත්තෙන් පුලුල්ම ජනතා සන්ධානය ගොඩනැඟෙයි.

ඔබ මාධ්‍යවේදියෙක්, මේ වෙනකොට අපිට පේනවා ජනමාධ්‍යවේදීන් ස්වැන් වාරණය කියන ආරක්ෂක කවචය ඇතුලට රිංගමින් ඉන්නවා. අනෙක් පැත්තෙන් මේ ජනාධිපතිවරයා බලයට ගේන්න විශාල වැඩකොටසක් කළ ජනමාධ්‍යවේදීන් සහ ආයතන තවදුරටත් සත්‍යයෙන් තොර මාධ්‍ය වාර්තාකරණයන් මගින් විශාල බලයක් වර්තමාන පලන තන්ත්‍රයට ලබාදීම සඳහා කටයුතු කරමින් සිටිනවා. මේ තත්ත්වය තුළ ප්‍රගතිශීලි මාධ්‍ය කඳවුරේ කාර්‍යභාරය මොකද්ද?

ජනමාධ්‍ය ගැන මම නිතරම අවධාරණය කරපු දෙයක් තමයි  “අපි ජනමාධ්‍ය කම්කරුවෝ” කියන දේ. අපිට විවිධ ජනමාධ්‍ය කම්හල් තිබෙනවා, ඒවා විවිධ දේශපාලන අරමුණු ඔස්සේ තමයි වැඩකරන්නේ, එතකොට එම කම්හල්වල සේවයකරන පිරිස ජනමාධ්‍ය කම්කරුවන් විදිහට තමයි වැඩකරන්නේ. ඒ සේවකයින්ට නැත්තං කම්කරුවන්ට, ඒ ආයතනය තීරණය කරන ඇජෙන්ඩා එකට අනුව තමයි කටයුතු කරන්න වෙන්නේ. මේ සියල්ල මැද අපිට හර්දය සාක්ෂිය කියන දෙයක් තියෙනවා. එතකොට අපිට අර කම්හල් තුළ ඉදගෙනම අභ්‍යන්තර අරගලයක් කරන්න වෙනවා. ඒක මේ කරදරයක් නැතුව නිදහසේ කරන්න පුලුවන් වැඩක් නෙවෙයි. ඒක දුෂ්කරයි. මොකද යම්කිසි විදිහකින් ආයතනයෙන් එළියට විසිකළොත් මොකද වෙන්නේ? අපි ඊට පස්සේ ජීවත්වෙන්නේ කොහොමද? මේ සේරම දේවල් තිබෙනවා. හැබැයි මේ සංක්‍රිරණ තත්ත්වය තුළ පවා අපිට පුලුවන් යම් සහායක් දෙන්න. මම මෙහෙම කියන්නම්, ඔබට මතක ඇති අපි පහුගිය කාලේ, ජනමාධ්‍ය ආයතනවල යම් යම් හැසිරීම් විවේචනය කරමින් ඒ ඒ මාධ්‍ය ආයතන ඉස්සරහට ගිහිං උද්ඝෝෂණ මාලාවක් කළා. ඒ වෙලාවේ මේ සහෝදර මාධ්‍යවේදීන් හිතුවේ අපේ මේ අරගලය ඔවුන්ට විරුද්ධව කරන අරගලයක් කියලා. නමුත් ඇත්ත ඒක නෙවෙයි නේ. අපි සමස්ත මාධ්‍ය ප්‍රජාව වෙනුවෙන් තමයි මේ අරගලය කරන්නේ කියන එක ඔවුන්ට තේරුම් ගන්න බැරි වුණා. මෙවැනි අවස්තාවක එවැනි දෙයක් තේරුම් ගැනීම පවා, අපි එළියේ සිට කරන අරගලයට උදව්වක්. සහාය දීමක්. ඉතිං ඒකයි මම කියන්නේ තිබෙන තත්ත්වය මත අරගලය වෙත එකතුවීම දුෂ්කර වෙන්න පුලුවන්, නමුත් ඕනෑම නම් අපිට වෙනත් මාර්ගවලිනුත් මේකට එකතුවෙන්න පුලුවන් කියන දේ.

කේ. සංජීව

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment