මිලිටරි මනසකින් සියළු ගැටළු වලට විසඳුම් සොයා ගත හැකිද? – නීතිඥ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ (හිටපු පලාත් සභා මන්ත්‍රී)

මිලිටරි මනසකින් සියළු ගැටළු වලට විසඳුම් සොයා ගත හැකිද? - නීතිඥ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ (හිටපු පලාත් සභා මන්ත්‍රී)

ආණ්ඩුවේ කටයුතු වලට හමුදා නිලධාරීන් සහභාගී කරවා ගැනීම හරහා රට මිලිටරිකරණයක් වෙත ගමන් කරන්නේද යන්න ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී, නීතිඥ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අයිතිය වෙබ් අඩවිය හා කළ සංවාදයක් ඇසුරෙන් මෙම ලිපිය සැකසුනි.

හමුදාවේ මැදිහත් වීම

පහුගිය ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුල නිරත වෙලා හිටපු පිරිස අතර හමුදාවේ විශ්‍රාම ගිය ජෙනරාල්වරුන් මෙන්ම නිලධාරින් විශාල පිරිසක් සිටියහ. ඒ පිරිස අද රාජ්‍ය යාන්ත්‍රණයට ඇතුල් වෙමින් ඇත.

විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුව සෑම ක්ෂේත්‍රයකටම හමුදාව මැදිහත් කර ගැනීමට, එමෙන්ම තමන්ට හිතවත්ව සිටි විශ්‍රාමික හමුදා නිලධාරීන් යම් යම් කේෂත්‍ර වලට ඇතුල් කරමින් ඔවුන්ට වගකීම් භාර දෙන ආකාරයක් අපට පෙනෙන්නට තිබේ. ආරක්ෂක ලේකම්ධුරයට පත් කරනු ලැබුයේ විශ්‍රාමික හමුදා මේජර් ජෙනරාල්වරයෙක් වන කමල් ගුණරත්නය. රටේ ජාතික ආරක්ෂාව සඳහා විශේෂයෙන්ම හමුදාවේ හිටපු නිලධාරියෙකුට පැවරීම සුදුසුයි කියා එය කෙනෙකුට යුක්ති සහගත කළ හැකිය. එය එතනින් අවසන් වුයේ නැත. පසුව වරාය සම්පුර්ණයෙන්ම හිටපු හමුදාපති දයා රත්නායක මහතාගේ භාරයට පත් කරනු ලැබීය. ගුවන්තොටුපල විශ්‍රාමික හමුදා ජෙනරල්වරයෙක් වන  ජෙනරල් චන්ද්‍රසිරි යටතට පත් කරනු ලැබීය. ඔහු යාපනය ආඥාපතිවරයා ලෙසත් ආණ්ඩුකාරවරයෙකු ලෙසත් කලක් කටයුතු කළ අයෙකි. එමෙන්ම බස්නාහිර පළාත් ආණ්ඩුකාරධුරය හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතාට පැවරුවේය. පාරිභෝගික සේවා අධිකාරියද විශ්‍රාමික හමුදා නිලධාරියෙක් වන ශාන්ත දිසානායක මහතාට පැවරුවේය. අද විදේශ කටයුතු අමාත්‍යාංශය සම්පුර්ණයෙන්ම පාහේ හසුරුවනු ලබන්නේ හිටපු රියද් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාය. නාගරික සංවර්ධන අධිකාරිය තුලද හිටපු හමුදා නිලධාරියෙක් වන ජෙනරල් සොයිසා පහත් බිම් ගොඩ කිරිමේ දෙපාර්තමේන්තුවත් ඔහුගේ පාලනයට සම්පුර්ණයෙන් නතු කර ගනිමින් සිටියි. මේ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්ධුර වලට පත් විය යුතුව තිබු පරිපාලන සේවා නිලධාරින් වෙනුවට අද හමුදා නිලධාරින් පත් කරමින් ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය, කෘෂිකර්ම සහ මහවැලි අමාත්‍යාංශය, වී අලෙවි මණ්ඩලය ඒ අතර වේ.

ජනාධිපති කාර්ය සාධක බලකාය

ගෝඨාභය රාජපක්ෂ මහතා මිලිටරි මනස තුල සිතන්නේ සෑස දෙයකටම විසඳුම හමුදාව කියාය. ඔහු පුරන් වු කුඹුරු කෙටිමටත් හමුදාව යොදා ගැනේ. එළවලු, මාලු මිලදී ගෙන බෙදා හරින්නත්, වී මිලදී ගැනිමට, වී ගබඩා සකස් කිරීමට, කුණු අදින්න ආදි සෑම දෙයක් සඳහාම හමුදාව යොදා ගැනේ.  පහුගිය දිනවල මෝල් හිමියන් මට්ටු කරන්න යැව්වේද මේ හමුදා නිලධාරීන්ය. එමෙන්ම නිරෝධායන කටයුතු වලදි මෙන්ම ඩෙංගු මර්ධන කටයුතු වලදීද සම්පුර්ණ වගකීම පැවරුයේ හමුදාවටය. ජනාධිපතිවරයා දැන් තමන් සතුව තිබෙන බලය උපයෝගි කර ගනිමින් ජනාධිපති කාර්ය සාධක බලකායන් ස්ථාපිත කරමින් තිබේ. මේවායේ සිටින්නේ සම්පුර්ණයෙන්ම හමුදා නිලධාරීන්ය. රටේ විනය සහ සුරක්ෂිත රටක් යන්න කාර්ය සාධක බලකායක් ඇති කළේය. එහි සම්පුර්ණයෙන්ම හමුදා නිලධාරීන්ය. එමෙන්ම නැගෙනහිර පළාතේ පුරාවස්තු සංරක්ෂණය කරන්න කියාද ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටෙව්වේය. මේ කියන අදාල කේෂත්‍ර වල කටයුතු කරන්න සිවිල් හා රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇත. එසේ තිබියදි ඊට පිටින් මෙලෙස ජනාධිපති කාර්ය සාධක බලකායන් ස්ථාපිත කරගෙන යනු ලබයි. මෙය බැලු බැල්මට පියවරෙන් පියවරට රට මිලිටරිකරණය දෙසට  ඇදගෙන යාමක් දැක ගැනීමට හැකිය. නිරීක්ෂණය කළ හැකිය. දේශපාලයේදි වඩාත් සංවේදී පිරිස් වලට පෙනෙන්නේ මේ හමුදාකරණය කිරීම ජන ජිවිතයේ සෑම ක්ෂේත්‍රයකටම විහිදුවමින් ඇති බවය.

පොලීසියේ හැසිරීම

එමෙන්ම අද පොලිසිය සම්පුර්ණයෙන්ම වාගේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ අණසකට යටත් වෙමින් ඇත්තේය. ඇමරිකාවේ කලු ජාතිකයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන්විරෝධය පා නිරෝධායන නීති වලට අනුකූලව කොළඹ පැවැත්වුණු  උද්ඝෝෂණයට ප්‍රතිචාර දැක්වුයේ කෙසේද කියා අප දුටුවෙමු. පොලිසිය එවැනි ප්‍රතිචාරයක් දක්වන්න කිසියම් තැනකින් අණක් ලැබිය යුතුය. කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්වරයා මේ සම්බන්ධයෙන් කියා තිබුණේ මෙවැනි උද්ඝෝෂකයින්ට පිරිත් කියා යාඥා කර හරියන්නේ නැති බවය. ඒකෙන් යම් ඇඟවීමක් ලබා දුන්නේ මේ අයට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද? යන්නය. එනම් කොල්ලුපිටිය පොලිස් නිලධාරීන් එලෙස කටයුතු කළේ ඔහුගේ අනුදැනුම මත බවයි. සිවිල් ජනතාවගේ ප්‍රශ්න වලදී, විරෝධතා වලදී වෙනදා පොලිසිය කටයුතු කළේ තැන්පත්වය. ඉවසීමෙනි. පොලීසිය මේවා පාලනය කිරීමට පුහුණුව ලැබු පිරිසකි. නමුත් මෙහිදී දක්නට ලැබුණේ පොලිසිය විරෝධතාකරුවන් මැඩලුව ආකාරය අපට සමීපව දක්නට ලැබුණි. ඔවුන්ට පහර දුන් ආකාරය, වාහන වලට ඇඳගෙන ගිය ආකාරය, වාහන වලට විසි කළ ආකාරය මැනවින් දැකගැනීමට ලැබුණි. ඒවා දුටු විට ඇඟ කිලිපොලා යන ආකාරයක් මතු වුයේ රට නැවත ගමන් කරන්නේ කොහාටද යන්න කියාය. 2015 ට කලින් රට තිබු ආකාරයටම බියකරු, අඳුරු පාලනයකටද යන්නේද කියාය. මේවා තුලින් රට කිසියම් ආකාරයකට බිය වැද්දිමක් සිදු කර ඇත. එවැනි බිය පැතිරවීම මෙවන් මර්ධන ක්‍රියාකාරි මෙහෙයුම් යට ඇති මානසික මෙහෙයුමක් ලෙසටත් මෙය හඳුනා ගත හැකිව ඇත.

අසාමාන්‍ය ඝාතන

එමෙන්ම තැනින් තැන සිදු වෙන අසාමාන්‍ය මරණ පිලිබඳවත් අපට දැක ගැනීමට හැකිය. ඒවා තුලත් ජනතාවට යම් සංඥාවක් ලබා දෙනු ලබයි.

පහුගියදා වෙබ් ලියන්නෙකු නිදහස් චතුරශ්‍රයේ මරණයට පත්ව තිබුණි. එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරන යම් යම් මාධ්‍ය ප්‍රකාශක අප දුටුවෙමු. වසීම් තාජුඩීන් ඝාතන අවස්ථාවේත් එවකට නියෝජ්‍ය පොලිස්පති ලෙස හිටපු අනුර සේනානායක මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ රිය අනතුරක් බවය. ඒ නිසා රට තුල සිදුවන අසාමාන්‍ය සිදුවීම් නිසා සැක සංකා මතු වේ.

පාතාල ලෝකය මැඩලන්න ක්‍රියා ප්‍රකාශ කළාට  ප්‍රසිද්ධියේම පාතාල කල්ලි පැමිණ ආපන ශාලා වලට වෙඩි තබා යන ආකාරය දුටුවෙමු. එහිදී පොලිස් නිලධාරින් නිහඬව සිටි ආකාරයත් අප දුටුවෙමු. එමෙන්ම පාතාල නායකයන් ඇල්ලිමට ගිය පසු වෙඩි වැදි මිය ගියා යැයි පැවසෙන ජවනිකාද යළි කරලියට එන බව පෙනෙන්නට ඇත.

බන්ධනාගර රැඳවියන් මර්ධනය

ඒ වගේම බන්ධනාගාර ඇතුලේ රැඳවියන් සම්පුර්ණයෙන්ම මර්ධනය කරන්න, නිහඬ කිරීමේ ක්‍රමවේදයකුත් ක්‍රියාත්මක වෙමින් ඇත. රටක නීතියක් තිබේ. සිවිල් පරිපාලනය තිබේ. ඒ සිවිල් පරිපාලනය ඇතුලේ සිවිල් නීතිය ඇතුලේ මානව අයිතිවාසිකම්, සිවිල් අයිතිවාසිකම් කියා දේවල්ද ඇත. ඒ සඳහා දෙපාර්තමේන්තු, මණ්ඩල, සංස්ථා තිබේ. ඒ සියල්ලට පිටින් වෙනත් ක්‍රමවේදයක් පියවරෙන් පියවර ගොඩනැගෙමින් තිබෙනවා කියන එක අපට දැක ගැනීමට හැකිය. ඒ නිසා මෙය භයානක ප්‍රවණතාවයක්. එමෙන්ම මේ ප්‍රවණතාව ජාත්‍යන්තර වශයෙනුත් අප රට තනි කරන්න, හුදකලා කරන්න හේතු විය හැකිය. මන්ද ප්‍රජාත්‍රන්තවාදී අවකාශය නිදහස, ප්‍රජාත්‍රන්තවාදය, භාෂණයේ නිදහස, ලිවිමේ නිදහස, දේශපාලනය කිරීමේ නිදහස, විවේචනය කිරිමේ නිදහස යන මේවා ක්‍රමානුකූලව හැකිලි යමින් ඇති පසුබිමක් ඇත. ඒ නිසා මේ සමාජය පියවරෙන් පියවර නිහඬ වෙනවා වෙනුවට මේ තත්ත්වයට එරෙහිව අප දිනාගෙන ඇති, ලබාගෙන ඇති ප්‍රජාත්‍රන්තවාදි උරුමයන් ආරක්ෂා කර ගන්න කටයුතු කළ යුතුව ඇත.

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment