බුවනෙකබාහු රාජ සභාවේ අවුල හා ලංකා ඉතිහාසයේ ආගමික විහිලුව

බුවනෙකබාහු රාජ සභාවේ අවුල හා ලංකා ඉතිහාසයේ ආගමික විහිලුව

ලංකාවට අතිශයින් දීර්ඝ ලිඛිත ඉතිහාසයක් ඇතැයි කියයි. ලංකා‍වේ ලිඛිත ඉතිහාසයට ප්‍රධාන වශයෙන් මූලාශ්‍ර කොට ගන්නේ මහාවංශයයි. මහාවංශය ලිවීම ආරම්භ කාලයටත් එහා ගිය ඉතිහාසයක් මහාවංශයේ ලියවෙයි. මහාවංශයේ ප්‍රධාන චරිතය දුටුගැමුණු මහ රජය. නමුත් මහාවංශය ලියවෙන්නේ දුටුගැමුණු යුගයට බොහෝ කලකට පසුය. ශ්‍රී ලංකාවට වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් ඇතැයි කීවද එකී ලිඛිත ඉතිහාසයෙන් සැලකිය යුතු කාල පරිච්ඡේදයක් ලියා ඇත්තේ අතීත කාලයෙනි. එනම් මහාවංශයේ රචකයා දුටුගැමුණු යුගය ඇතුළු යුග ගණනාවක් ගැන ලියන්නේ අසා දැන ගැනීමෙන් හෝ වෙනයම් ද්විතීක මූලාශ්‍ර වලින්ය. මහාවංශය ලියන්නේ බෞද්ධ භික්ෂුවකි. ඒ මහානාම හිමිය. ඒ නිසාමද මහාවංශයේ ඉතිහාසය බෞද්ධාගමට බොහෝ සමීපය. එහි ඇත්තේ රජවරුන්ගේ වික්‍රමයන් හා රජවරුන් විසින් ගොඩ නැගූ ආගමික සිද්ධස්ථාන ගැනය. කෘතියට අවධානය යොමු කිරීමේදී ලාංකිකයන්ට ලෞකික ජීවිතයක් තිබුණේ නැති දැයි විටක සිතේ.

මේ පදනම මතත් ලංකාවේ ඉතිහාසය ගෙඩ නැගී ඇත්තේ ලංකාවේ බෞද්ධ ඉතිහාසයට සමපාතවය. ඇත්තවශයෙන්ම ලංකා ඉතිහාසය යනුම ලංකවේ බෞද්ධ ඉතිහාසයම වෙයි. මහාවංශය පමණක් නොව ලංකාවේ ඉතිහාස මූලාශ්‍ර ගණනාවක තිබෙන්නේ බෞද්ධ ඉතිහාසයයි. මහාචාර්ය නලීන් ද සිල්වා වරෙක ප්‍රකාශ කලේ ලංකාව අවස්ථා කිහිපයකදී බුදුන් වහන්සේට පූජා කර ඇති බවත් එම නිසා මෙම දිවයින අයිති බෞද්ධයන්ට පමණක් බවයි. ලංකාව බුදුන්ගේ දේශයයි යන ප්‍රවාදයත් ඉතිහාස කාතාවෙන්ම පැන නැගුණකි. මේ බෞද්ධ ඉතිහාසය තුළ බුද්ධාගම හා රට වෙනුවෙන් කටයුතු කල වීරයා දුටුගැමුණුය. එළාරට එරෙහි ඔහුගේ අරගලය රට ජාතිය ආගම වෙනුවෙන් සිදු වුනකි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අයිතිකරුවන් බෞද්ධ භික්ෂූන්ය. පුරවිද්‍යා චක්‍රවර්තීන් වී ඇති බෞද්ධ භික්ෂූන්ද සිටී. ඒ අනුව ලංකාවේ ඉතිහාසය අද වන විට බෞද්ධ භික්ෂූන්ගේ හා බෞද්ධයන්ගේ උරුමයක් පමණක් බවට පත් වී තිබේ. ජනාධිපතිතුමා පුරා විද්‍යා ස්ථාන රකින්නට පත් කරනවා යැයි කියූ කමිටුවටද බෞද්ධ භික්ෂූන් අවශ්‍ය යැයි කියයි.

රාජකීයයන්ගේ ලෞකිකත්වයන් විදහාපාන පුරා විද්‍යා ස්ථාන වෙනත් රටවල තිබුණද ලංකාවේ ඇත්තේ රාජකීයයන් සිදු කරන ලද ‍බෞද්ධ සිද්ධස්ථාන හා රජ මාලිගා පමණි. රජ මාලිගාද බෞද්ධකරණය කිරීම අපූරුවට කරගෙන ඇත. අහම්බෙන් හෝ ලෞකිකත්වයට ලංවූ පුරා විද්‍යා නිර්මාණයක් හමු වුවහොත් එයද කෙසේ හෝ බෞද්ධකරණය කර ගනිමින් එහි ලෞකිකත්ව වටිනාකම විනාශ කිරීම ලංකා ඉතිහාසය තුළ ම සිදු වූවකි. උදාහරණයක් ලෙස ඉසුරුමුණි පෙම් යුවළ ඇත්තේද ඉසුරුමුණි රජමහා විහාරයේය. ඉසුරුමුණි පෙම් යුවළ ඇතුළු ලෞකිකත්වය ඉස්මතු වන නිර්මාණ ඇති ඒ පරිශ්‍රය රජමහා විහාරයක් වී ඇත. ලෞකික සීගිරියට පිවිසෙන ස්ථානයේද ඇත්තේ පන්සලකි. ඒ ලංකා ඉිතිහාසයේ හැටිය. ඉතිහාසය පුරා වීරයන් වී ඇත්තේ පන්සලට පක්ෂපාත වූ රජවරුන්ය. මහාවංශයේද එසේය. වාරි පද්ධතියන් වැඩි වශයෙන් දියුණු කල මහසෙන් රජු වසභ රජු මහාවංශයේ ‍දෙවන පන්තියට වැටී ඇත. එළාර සමග යුද්ධ කල දුටුගැමුණු ඔවුන්ටත් වඩා වීරයෙක් වී ඇත.

ලංකාවේ ඉතිහාසය නොහොත් ලංකාවේ බෞද්ධ ඉතිහාසයට බුව‍ෙකබාහු රජුගේ මාළිගාව අභිමුඛ වීම මේ මොහොතේ සිදු වී ඇත. කුමන හෝ ආර්ථික හා දේශපාලනික කරුණක් අරභයා කුරුණෑගල නගරයේ තිබූ බුවනෙකබාහු රජුගේ මාළිගාව යැයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සලකන ගොඩනැගිල්ල පාලක පක්ෂයේ කුරුණෑගල නගරාධිපතිවරයාගේ නියෝගයෙන් කඩා බිඳ දමා ඇත. දැන් සිදුවන්නේ කුමක්ද? මේ කඩා බිඳ දැමීම සාධාරණීකරණය කිරීමට ආණ්ඩුවේ නායකයන් මෙන්ම ආන්ඩුවට පක්ෂ ක්‍රියාකාරිකයන්ද කියන්නේ මෙය තැබෑරුමක් හා කාන්තාවන් සමග ගත කිරීමට කාමර ලබා දෙන තැනක් බවයි. මේක පුරා විද්‍යා ගොඩනැගිල්ලක් නොවන්නේ ඒ නිසාය. මේ ඔවුන් දැනුවත්ව ආමන්ත්‍රණය කරන්නේ ලංකාවේ ‍බෞද්ධයන්ටය. රුවන්වැලි සෑය ලග දිව්රුම් දුන් ජනාධීපතිවරයෙක් සිටින ආණ්ඩුවකට මේ සම්බන්ධයෙන් ගැලවීමක් නොමැත. ඒ ගැලවීමට පොට පාදාගෙන ඇත්තේ බුවනෙක බාහු මාලිගයේ පිහිටි බුවනෙක හෝටලය තැබෑරුමක් හා කාමර සපයන තැනක් බවට පත් කිරීම මගිනි. ඔවුන්ට එසේ ආමන්ත්‍රණය කිරීමට හැකි වන්නේ ලංකාවේ ඉතිහාසය බෞද්ධ ඉතිහාසයක් බවට පත් වී ඇති බැවිනි. එනම් ලංකා ඉතිහාසයේ ආධිපත්‍යය උසුලන්නේ බෞද්ධ ඉතිහාසයයි.

ලංකාවේ පුරා විද්‍යා බිම් බොහෝ දුරට බෞද්ධාගමිකය. ලෞකික පුරා විද්‍යා ස්ථාන ලංකාවේ නැති තරම්ය. එසේ ඇති කීපයත් ඉහත සඳහන් කර ඇති පරිදි බෞද්ධකරණයට පත් කර ගෙන ඇත. එම නිසා පුරා විද්‍යා රක්ෂිත වුවත් බෞද්ධ නෙමේ නම් කඩා බිඳ දැමිය හැක. පසුගියදා ජනාධිපතිවරයා සමග පැවැති රැස්වීමකදී වයඹ පළාතේ අධීකරණ සංඝනායක හිමිනම පැවසුවේ ඉහත කී මාළිගය පුරා විද්‍යා ස්ථානයක් නොව හෝටල් දැමීම සිදු කරන ගොඩනැගිල්ලක් බවයි. පුරා විද්‍යා ස්ථාන සියල්ල බෞද්ධකරණය වූ විට ඇති වන ගැටළුව එයයි.

ඉන්දියාවේ ටජ් මහල් තිබුණද ලංකාවේ එවන් ලෞකික නිර්මාණ නොමැත. තිබුණද ඒවා හෙමින් සීරුවේ බෞද්ධකරණය කර ලෞකිකත්වය අහෝසි කර ඇත. ලෞකික පුරාවිද්‍යා ස්ථාන වල ලෝකායේ බොහෝ රටවල ‍හෝටල් ප්‍රසංගශාලා අදිය පවත්වාගෙන යයි. ලංකාවේද එසේය. ගාලු කොටුව අවට ගාල්ල උසාවිය, පාසල්ද තිබේ. එමෙන්ම ආපනශාලා, හෝටල්ද තිබේ. ඒ හෝටල්වල මත්පැන්ද තිබේ. එමෙන්ම කාමරද තිබේ. මාතර කොටුවේද එවැනි ආපනශාලා කිහිපයක් ඇත. ඒ කිසිදු ගොඩනැගිල්ලක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව ‍වෙනස් කිරීමටද නොහැක. කඩා බිඳ දැමීමටද නොහැක. ඇතැම් පෞද්ගලික නිවාසද ගාලු කොටුවේ තිබේ. නමුත් ඒවා ඒ නිවැසියන්ට අවශ්‍ය පරිදි වෙනස් කල නොහැක. කොළඹ ඩච් හොස්පිටල් එකද එවැන්නකි. මහනුවර දළදා මාලිගය අවටද බොහෝ පුරා විද්‍යා බිම් ඇත. ක්වීන්ස් හෝටලයද එවැන්නකි. ඒවායේද මා ඉහත කියූ සියල්ල ඇත. ඒවා කඩා බිඳ දැමිය නොහැක. රාජ මාළිගා යනු කොහොමත් ලෞකිකත්වයන් උපරිමව භුක්ති විඳි ස්ථානය. රාජ සභා මණ්ඩපත් එසේය. එවන් ස්ථානයක් බදු දීමට නගර සභාවට අයිතියක් ඇත. ඒවා පන්සල් නොවේ.

අප තේරුම් ගත යුත්තේ ලංකා ඉතිහාසය යන පොදු කුලකයේ ලංකා‍‍වේ බෞද්ධ ඉතිහාසය යනු එක් අංශයක් පමණක් බවයි. ලෞකික ඉතිහාසය ඉසුරුමුණි පෙම් යුවළ මෙන්ම සීගිරි බිතු සිතුවම් ‍මෙන්ම රසවත්ය. ලංකාවේ බෞද්ධ ඉතිහාසය විසින් ඒ ලෞකික ඉතිහාසය පාගා දමා යටපත් කර ඇත. ලංකාවේ ලෞකික ඉතිහාසය ඉස්මතු කිරීම අප සැමගේ කාර්යභාරයකි. එය ඇත්ත වශයෙන්ම ජාතික කාර්යභාරයකි. ලංකාවේ පුරා විද්‍යාව සම්බන්ධ උගතුන් කල යුත්තේ මේ ඉතිහාසය බෞද්ධ භික්ෂූන්ගෙන් ගලවා ගෙන ලෞකික ඉතිහාසය ඉස්මතු කිරීමයි. ලංකාවේ ඉදිරි ගමන සාර්ථක වන්නේ ලෞකිකත්වය මත පදනම් වීමෙන් මිස තවදුරටත් ආගමීකරණය වීම තුළ නොවේ.

බුවනෙකබාහු රාජ සභාවේ අවුල හා ලංකා ඉතිහාසයේ ආගමික විහිලුව

– දුලාන් දසනායක –

Related posts

Leave a Comment