පොලීසියේම හිංසනයට ලක් වූ පොලිස් නිළධාරියෙකුගේ කතාව!

පොලීසියේම හිංසනයට ලක් වූ පොලිස් නිළධාරියෙකුගේ කතාව!

පොලීසිය යනු රට තුළ නීතියේ පාලනය පවත්වාගෙන යන ප්‍රධාන ආයතනයයි. එය මහජනයාට වඩාත්ම සමීප විය යුතු ආයතනයයි. එහි සේවාවන් මහජනයා සමග බැඳිය යුතුය. එය මහජනයාට ඉහළින් පැවතිය යුතු නැත. එය මහජනයා බිය ගන්වන තැති ගන්වන ආයතනයක් නොවිය යුතුය. එහෙත් අපගේ පොලීසිය තවමත් ජනතාවගෙන් සෑහෙන්න දුරස්ථය. එයට හේතුව පොලීසිය ජනතාව මර්දනය කරන හිංසනයට පත්කරන ආයතනයක් ලෙස ජනතාව අතර ස්ථාපිතව පැවතීමය. පොලිස් ප්‍රචණ්ඩත්වය හිංසනයට විරුද්ධව කොපමණ නීති සම්මත උවත් ඒවා ක්‍රියාත්මක තලයේ පැවතියත් තවමත් පොලිස් නිළධාරීන්ගේ ආකල්ප වෙනස් නොවීම තුළ, පොලීසිය තවමත් මර්දනයේ ආයතනයයි. පසුගිය යහපාලන අවධිය තුළ පොලිස් ප්‍රචණ්ඩත්වය තරමක් අඩු මට්ටමක පැවතියත් නැවතත් අලුත් පාලනය සමග පොලිස් ප්‍රචණ්ඩත්වය වැඩිවෙමින් පවතින බවක් පෙනෙයි. සාමාන්‍යයෙන් පොලිස් හිංසනයට පාත්‍ර වන්නේ පොලීසිය තුළ සේවය කරන පොලිස් නිළධාරීන් නොව සාමාන්‍ය පුරවැසියන් ය. එහෙත් අප මේ කියන්න යන කතාවට අනුව පොලීසියේ හිංසනයට ප්‍රචණ්ඩත්වයට පාත්‍ර වන්නේ පොලීසිය තුළම සේවය කරන පොලිස් කොස්තාපල් වරයෙක් ය. ඔහුගේ මෙම කතාව නැඟඑන පොලිස් ප්‍රචණ්ඩත්වයට හොඳම නීදර්ශනයක් ය. අහන්න මේ කතාව..!

පොලීසියේම හිංසනයට ලක් වූ පොලිස් නිළධාරියෙකුගේ කතාව!“මම එස් බුද්ධික මධුෂාන් මම පොලීසියට බැඳුනේ 2016/12/15. මගේ නිල අංකය පී සී 91637. මම තඹුත්තේගම පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අවුරුද්දක පුහුනුවක් ලැබුවා, ඊට පස්සේ  ගාල්ලේ අහංගම පොලිසියේ තමයි මුලින්ම රාජකාරි කළේ. ඊට පස්සේ ගිය අවුරුද්දේ ස්ථිර මාරුවීමක් ආවා මරදාන පොලිසියට. එහෙම මරදානට ඇවිත් රාජකාරි කරනකොට අප්‍රේල් මාසේ 26 වගේ උණ හැදුනා. පොලිස් රෝහලේ හිටියා, පස්සේ මෙඩිකල් අරං ගෙදර හිටියා. එහෙම ඉන්නකොට තමයි කොවිඩ් ප්‍රශ්නය ඇවිත් ඇඳිරිනීතිය වැටුනේ. පස්සේ ළඟම තියෙන පොලීසියට රාජකාරි වාර්තා කරන්න කිව්වා, ඊට පස්සේ මම අප්‍රේල් 01 ඉදලා පයාගල පොලිසියට රාජකාරි වාර්තා කළා.

ඒ ඉන්න අතරේ අප්‍රේල් 15 මම ඩිවිෂන් මහත්තයාගේ වැඩකට කොළඹ ගියා. ඒ ගිහිං එනකොට පොලීසියේ ඩබ්ලිව් පී සී ලා එහෙම අඬ අඬා හිටියා. මම ඇහුවා ඇයි කියලා. එතකොට තමයි ආරංචි වුණේ පිස්ටල් එකක් නැතිවෙලා කියලා. ඇත්තටම අප්‍රේල් 13 වෙනි දා තමයි නැතිවෙලා තියෙන්නේ. එස් අයි මහත්තයෙක් තමයි අවසන් වතාවට අරං ගිහිං තිබුණේ. ඊට පස්සේ අපි මේ වෙපන් එක සෑහෙන්න හෙව්වා.

අප්‍රේල් 18 වෙනිදා මට ඩියුටි වැටිලා තිබුනේ රෑ 10 ට. ඒත් මට පයාගල පොලීසියෙන් කතාකරලා කිව්වා ඕයිසී මහත්තයා ස්පෙෂල් ඩියුටියකට කියලා කළින් එන්න කිව්වා කියලා. ඔය කෝල් එක ආවේ තුනට විතර. ඉතිං මම ඒ ගමන් පොලීසියට ගියා. ඊට පස්සේ මාව එක්කරගෙන ගියා කටුකුරුන්ද කොට්ඨාශ අපරාද අංශයට. ඊට පස්සේ එතනින් ඇතුළට යනකොටම දීපං වෙපන් එක කියලා කුනුහරුපයක් කියලා මට හොඳටම ගැහුවා. මට හිතාගන්න බැරිවුණා. මම කිව්වා මම ගත්තේම නෑ කියලා, ඒත් ඇහුවේ නෑ. මගේ මොබයිල් ෆෝන් එක ගත්තා. ඊට පස්සේ ඇතුලේ කාමරයකට මාව අරගෙන ගියා. හතර දෙනෙක් හිටියා. වීරසිරි කියලා අයිපී මහත්තයෙක් හිටියා. තව එතන අපරාද කොට්ඨාශයේ ඕයිසී මහත්තයා හිටියා. ඉතුරු දෙන්නා කවුද කියලා නම් දන්නේ නෑ. දැක්කොත් අඳුරන්න පුලුවන්. කාමරයට අරගෙන ගිහිං හෑන්ඩ් කප් දැම්මා. ඊට පස්සේ පොල්ලකින් ගගහා ප්‍රශ්න කළා. වෙපන් එක දීපං කියලාම තමයි කිව්වේ. හයවෙනකම් විතර වධහිංසා කළා.

ඊට පස්සේ රෑ 10ට කළුතර පොලීසියෙන් පයාගල පොලීසියට අරගෙනා අවා. ඊට පස්සේ අත්

අත්අඩංගුවට ගත්තා. බොන්න වතුර ටිකක්  දුන්නේ නෑ. ඊට පස්සේ අප්‍රේල් 19 වෙනිදා කළුතර මහේස්ත්‍රාත් නිළ නිවාසෙට අරගෙන ගියා.  එතනට අරං ගිහිං මහේස්ත්‍රාත්තුමියට  තුවක්කු පනත පොදු දේපල පනත, හොරකම, චෝදනා විදිහටදලා තමයි මහේස්ත්‍රාත්තුමිය ළඟට දැම්මේ. මම කිව්වා මට ලෝයර් කෙනෙක් ඕනී නේද කියලා. එතකොට කිව්වා ලෝයර් කෙනෙක් ඕනෑ නෑ උබව පැය 24ක් රඳවලා තියාගෙන ප්‍රශ්න කරන්න අවසර ගන්න තමයි මහේස්ත්‍රාත් ළඟට දාන්නේ කියලා.

මසේත්‍රාත්තුමිය අප්‍රේල් 28 වෙනකම් බන්ධනාගාර ගත කරන්න කියලා කිව්වා. ඒ එක්කම මහේස්ත්‍රාත්තුමිය කිව්වා ඩොක්ටර් ළඟට දාන්න කියලා. නාගොඩ පොලිස් මුරපොළේ හිටපු මාව අරගෙන ගිය පොලිස් නිළධාරින්ගේ යාළුවෙක් ළඟට තමයි මාව අරගෙන ගියේ, ගිහිං ඒ නිළධාරියා මාර්ගෙන් තමයි මාව නාගොඩ රෝහලේ ඩොක්ටර් කෙනෙක් ළඟට දැම්මේ. ඒ ඩොක්ටර් කොලේ පුරවන්නවත් දන්නේ නෑ. මම ඒ දොස්තර නෝනාට කිව්වා මට හොඳටම ගැහුවා කියලා. ඒත් ගණන් ගත්තේ නෑ. ඊට පස්සේ මාව පානදුරේ බන්ධනාගාරයට දාලා එතනින් බූස්ස බන්ධනාගාරේ ට යැව්වා. අප්‍රේල් 28 මට ඇප දුන්නට බූස්සට බස්සෙක ආවේ නෑ, මාව එක්කරගෙන යන්න. අප්‍රේල් 30 හවස තමයි එක්කරගෙන යන්න ආවේ. ඒ ඇවිත් කළුතර බන්ධනාගාරයට අරගෙන ගියා. එහෙට යනකොට රෑ වුණා.  ඊට පස්සේ මට ගෙදර යන්න වුණේ මැයි 01 දා.

පොලීසියේ ඉහළ නිළධාරීන් මේකෙට මාව අහු කළේ ඔවුන්ට මේ ප්‍රශ්නයෙන් ගැළවෙන්න. ඒකෙන් මම හොරෙක් වුණා. දැන් මට රස්සාවත් නෑ. මගේ තාත්තත් පොලිස් නිළධාරියෙක්. අපේ පවුලටම මෙකෙන් අපහාසයක් තමයි උනේ. මට මගේ රස්සාව ආයි ඕනෑ. මම හොරෙක් නොවෙයි කියන දේ එක්ක මට ආයිත් පොලීසියට යන්න ඕනෑ. අනික මට මේ අපරාදය කරපු ඉහළ නිළධාරීන්ට නීතියෙන් දඩුවම් ලැබෙන්න ඕනෑ. මම හිතනවා මට සාධාරණය ඉටුවෙයි කියලා”.

අපි කතාවට කියන්නේ පොලීසියට ඕනෑ නම් ගොරකා දඩමස් කළ හැකි බවය. මේ කතාව සනාථ කරන්නේ පොලීසිය පිළිබඳ එම මතය නිවැරදි බවය. අනෙක් පැත්තෙන් පොලීසිය තම නිළධාරියෙක්ට සලකන්නේ මෙවැනි ආකරයට නම් ඔවුන් මහජනයාට සලකන ආකාරය ගැන සිතාගැනීමට අපට අපහසු නැත.

කේ. සංජීව

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment