“පානම ඉඩම් නඩුව”, වැටයි නියරටයි කියන්න වී ඇත – කේ. සංජීව

“පානම ඉඩම් නඩුව”, වැටයි නියරටයි කියන්න වී ඇත - කේ. සංජීව

මම රාවය පත්තරයට එකතුවෙන්නේ 2013 පෙබරවාරි අග. මුලින්ම විශේෂාංගයක් විඳිහට ලිව්වේ කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහලක ස්කෑනර් මැෂින් එකක් පුපුරලා මියැදුන පුංචි මල් කැකුළක් ගැන. ඊට පස්සේ දුරම ඇවිදලා විශේෂාංගයක් විඳිහට කළේ ‘පානම ඉඩම් අරගලය’ ගැන. මට හිතෙන්නේ ඒ 2013 මාර්තු අග. එතන ඉඳලා නිනව් නැති ගමනක් තමයි පානමට තිබුණේ. පුංචිරාල සෝමසිරි වගේ පානම ගමේ බොහෝ දෙනෙක් මේ එහෙට මෙහෙට ගමන නිසාම යාළුවෝ මට්ටමට වැටුණා. ඊට පස්සේ ඉතිං මේ ඉඩම් අරගලය ගැන විතරක් නෙවෙයි පානම ඉතිහාසය, සංස්කෘතික ජීවිතය, ඒ මිනිසුන්ගේ ජීවන විලාසයනුත් අඩුවක් නැතුවම ලිව්වා. ඒ ලියවිල්ල පානම පහුකරලා කුමන කැලෙන් එහාටත් ගිය අවස්ථා නැතුව නෙවෙයි. මේ මොනා ලීවත් පානම ඉඩම් අරගලය තාම 2013 දි තිබුණ තැනමයි කියලයි මට හිතෙන්නේ. 2015 යහපාලන වේදිකාවේ ප්‍රධාන සටන් පාඨයක් වුණා මේ පානම ඉඩම් අරගලය. යහපාලකයෝ දිනපු ගමන් ඉඩම් ටික ආපස්සට දෙනවා කියලා තමයි පොරොන්දු වුණේ. ඒත් එජාපයේ ප්‍රභලයෙක් විඳිහට සළකන රාජපක්ෂවරු එක්කයි, අලියගේ පිටෙයි දෙපැත්තෙම එක වෙලාවේ ලැඟලා ඉන්න දයා ගමගේ ගේ ව්‍යාපාරික දයාව නිසා මේ ඉඩම් ටික නැවත පානම ගොවියන්ට නිදහස් කරන එක ඈලියාවට ගියා. ඉතිං දැන් මොකද වෙන්නේ? පසු විපරමක් කරන්න ඕනෑ කියලා හිතුනා.

යුද්ධය ඉවරයි

අපි කතාවට කියන්නේ යුද්ධය කියන්නෙත් එක පාලන මාදිලියක් කියලා. කොහොම වුණත් 2009 විශාල ජනසංහාරයක් එක්ක මේ යුද්ධය ඉවර වුණා. බොහෝමයක් මිනිස්සු සැනසුම් සුසුම් හෙලුවා. 2013 තරම් ඈතක පුංචිරාල සෝමසිරි මට කියපු කතාවක් මේක.  ‘යුද්ධය තිබුණ කාලේ මෙහේ හිටියේ එස්.ටී.එෆ් එක විතරයි. බෙහෙතකට හමුදා කඳවුරක් තිබුණේ නෑ. අපි ඒ කාලේ පොතුවිලට ගියේ බෝට්ටුවේ. පයින් යන්න බෑ. එල් ටී ටී ඊ එක හැමතැනම හිටියා. යුද්ධ කාලේ අපි දූපතක් වගේ හුදකලා වෙලා තිබුණේ. කොටි සංවිධානය කුමන කැලේ ඇතුලේ හිටියා. ගමටත් ආපු වෙලාවල් තිබුණා. ඒත් අපි ජීවත් වුණා. පැණි කඩන්න දිවුල් අහුලන්න කැලේ ගියා. අපිට හැමදෙයක්ම තිබුණා. යුද්ධය ඉවරවුණා විතරයි හමුදා කඳවුරු වැසි වැස්සා. අපේ ඉඩම් අපිට නැතිවුණා. අපිව පාරට විසි කළා. ‘

පානමට එහායින් නැගෙනහිර කෙළවරේ තවත් ගමක් තිබුණා. ඒක කුමන. ඒ ගම 1980 දශකයේ අග එවක අගමැති ආර් ප්‍රේමදාස ගේ මැදිහත්වීමෙන් ඉවත් කරනවා. ඊට පස්සේ පානම තමයි නැගෙනහිර කෙළවරේ සීමාව.  කොටි සංවිධානය කන්චිකුඩිච්චිආරු කැලේ ඉඳලා යාල කැලේට මාරුවුණේ මේ ගම ඉහත්තාවෙන්. ඒ කොහොම වුණත් කොටි සංවිධානය නැගෙනහිර ජයකෙහෙළි නංවාගෙන ඉන්නකොටත් මේ මිනිස්සු සතුටින් හිටියා කියන එකයි මේ කතාව. යුද්ධ කාලය අවසන් වීම එක්ක තමයි ඛේදවාචකය එන්නේ. ඒකට එකම හේතුව පානම එක සීමාවක් වෙන නීල සාගරය. සර්ෆින් ක්‍රීඩාවට ලංකාවේ තිබෙන හොඳම වෙරළ තීරය තමයි පානම ගම තමන්ගේ වාටිය විඳිහට දවටාන ඉන්නේ. ඊළඟට අනෙක් පැත්තෙන් ගම වටකරගෙන ඉන්න කුමන මහා කැලේ. මේක සංචාරක පාරාදීසයක් කිව්වොත් වැරදි නෑ.

ඉඩම් පැහැර ගැනීම

2010 ජූලි 17 රාත්‍රී 12ට විතර තමයි රාගම්වෙල _ ශාස්ත්‍රවෙල ගම්මානයන්ට එස්ටීඑෆ් ප්‍රහාරය දියත් වෙන්නේ. කළු ඇදගෙන මුහුනු වහගෙන ගමට පනින මේ කල්ලිය සහාසික විඳිහට ගම ගිනිතියලා අසරණ ගොවියෝ පාරට විසි කරනවා. එතනින් පස්සේ තවමත් මේ මිනිස්සුන්ට තමන්ගේ ඉඩම්වලට එන්න අවකාශය නෑ. ( පීනට්ෆාම් කොටසේ දැනට බලහත්කාරයෙන් පදිංචිව සිටිනවා) මේ පිටමං කිරීමෙන් පස්සේ හමුදාව යටතට ගන්න ඉඩම් ප්‍රමාන මෙහෙමයි. රාගම්වෙල ඉඩම් අක්කර 264යි (පීනට්ෆාම්  ඇතුළුව), ශාස්ත්‍රවෙල අක්කර 115යි, උල්පස්ස අක්කර 800යි. මේ ඉඩම් පානම මිනිස්සු 1818 කැරැල්ලට පස්සේ පානමට ඇවිත් සිය අතීතයක් අස්සේ හේන් කරපු ඉඩම්. අවුරුදු 200ක ඉතිහාසය වෙනස් වෙන්න යන්නේ එක මැදියම් රාත්‍රියක් විතරයි.!!

ඊටපස්සේ එදා ඉදලා මේ මිනිස්සු තමන් අතීතයේ ඉදලා හේන් කරපු ජීවත් වුණ ඉඩම් නැවත තමන් සන්තක කරගන්න විශාල අරගලයක් දියත් කරනවා. ඒ පානම් පත්තුව සුරැකීමේ සංවිධානය හරහා. ඒ අරගලය ඇතුලේ ඔවුන්ට උරුම වෙන්නේ නිරන්තරව සිරගත වෙන්න. නැත්තං නඩුවල පැටලෙන්න.

නඩු තීන්දුව

මෙම ඉඩම් අරගලය යුක්ති යුක්ත කරන පොතුවිල් දිසා අධිකරණය 2016/03/30 අපූරු නඩු තීන්දුවක් දෙනවා. අධිකරණය කියනවා පීනට්ෆාම් ඉඩමෙන් අක්කර 25ක් ඇර ඉතිරි ඉඩම් සේරම මුල් පදිංචිකරුවනට නැවත නිදහස් කරන්න කියලා. ඒ සමග ප්‍රදේශීය ලේකම් කාර්‍යාලය කිව්වේ අධිකරණය කියපු විඳිහට ඉක්මනින් ඉඩම් බෙදලා දෙනවා කියලා. මේ යහපාලන සමය. මේ වෙනකොට ශාස්ත්‍රවෙල කොටසේ නාවික හමුදාවේ නැගෙනහිර විධානය, හමුදා කඳවුර වගේම පානම ලැන්ඟූන් කබනා හෝටලයත් හදලා ඉවරයි. ඒ වගේම පීනට්ෆාම් කොටසේ ගුවන් හමුදා ගොඩනැඟිලිත් ඉදිකරලා.

ඊටපස්සේ යහපාලන කැබිනට් මණ්ඩලයත් තීරණය කරනවා අර අක්කර 25 ඇරලා ඉතිරි ඉඩම් එහි පාරම්පරික උරුම කරුවන්ට බෙදලා දෙන්න කියලා. ඒ එක්කම අම්පාර දිසාපති පොරොන්දු වෙනවා 2017 මාර්තු 25ට කළින් මේ ඉඩම් ජනතාවට බෙදලා දෙනවා කියලා. කොහොම හරි මේ පොරොන්දුව ඉටුවෙන්නේ නැති කල 2017 මාර්තු 27 මේ මිනිස්සු බලහත්කාරයෙන් තමන්ගේ ඉඩම්වලට ඇතුල් වෙලා පැල්පත් අටවගෙන පදිංචි වෙනවා. ඒ පීනට්ෆාම් කොටසේ.

මේ වෙලාවෙත් මම මහා රෑ මේ වාඩිවලට යනවා. ගිහිං කතා කළාම පානම කේ. ජයසිංහ කියන්නේ මේ වගේ කතාවක්. ‘ දැන් අපිට ලාහුගල ප්‍රාලේ ලියුමක් එවලා තියෙනවා මේ ඉඩම්වලට නීතියානුකූල බලපත්‍ර තියෙයි නම් ප්‍රාලේට ඒවා භාරදීලා අයින් වෙන්න කියලා. මම මුලින්ම ඉස්කෝලෙට ගියේ මේ ඉඩමේ ඉදලා. දැන් අපිට ආරංචි දයාගමගේ මේ ඉඩම්වල හෝටල් හදන්න සැළසුම් කරලා කියලා. මිනිහා 2015 ආණ්ඩුව මාරුවුණාට පස්සේ පානමට ඇවිත් මොනවද කිව්වේ? රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ඉඩම් ආපු ඉක්මනින් දෙනවා කියලා තමයි කිව්වේ..

මම මේ කතාව එක්ක පහුවදා අම්පාර දිසාපති කාර්‍යාලයේ ලොක්කෙක්ට කතා කළා. මිනිහා එදා කිව්වේ මේ වගේ කතාවක්. ‘ අපේ ලොක්කා හොඳ ව්‍යාපාරිකයා. මිනිහට මේ ඉඩම්වලට ආසා හිතිලා. මිනිහට සැළැස්මක් තියෙනවා තායිලන්තේ සමාගමක් එක්ක මේ කලාපය සංචාරක කර්මාන්තයක් විඳිහට සංවර්ධනය කරන්න.’

එතකොට දයා ගමගේමනේ පහුගිය කාලේ මේ ඉඩම් ආපහු දෙනවා කියලා කිව්වේ.. මම කියනවා. ‘ ඔව් මිත්‍රයා මේ යක්කුම තමයි මේ ප්‍රශ්නය උග්‍ර කළේ. මිනිස්සු කුලප්පු කරන්න කළින් මේවා හිතන්න තිබුණේ. දැන් අපිට තමයි හැම තැනින්ම කරදරේ. හැබැයි මිත්‍රයා මේ ඉඩම් මේ මිනිස්සුන්ට දුන්නා කියලා හිතමු. මේ යක්කු වැඩි කලක් යන්න කළින් මේවා

මුස්ලිම් මිනිස්සුන්ට විකුණනවා. එතකොට ආරුගම්බේට උන දේ තමයි වෙන්නේ’ දයා ගමගේට වගේම අම්පාර දිසාපති කාර්‍යාලයේත් මතය ඔබට දැන් නොපෙනෙන්න විදිහක් නෑ.

මේ සියලු තත්ත්ව නිසා අධිකරණය දුන් තීන්දු වගේම කැබිනට් මණ්ඩලය දුන් තීන්දුත් තවමත් ක්‍රියාත්මක වෙලා නෑ. මිනිස්සු තවමත් බලාපොරොත්තු දල්වාගෙන අරගලයේම ඉන්නවා. කොටසක් පීනට්ෆාම් කොටසේ බලහත්කාරයෙන් තවමත් පදිංචිව සිටිනවා. ඒත් මේ මිනිස්සුන්ට තමන්ගේ ඉඩම් ලැබෙයිද? නැත්තං තමන්ගේ ඉඩම්වල බහුජාතික සමාගම් ඇවිත් හෝටල් ඉදිකරයිද?

දැන් යහපාලනය ඉවර වෙලා ආයිත් ඉඩම් බලහත්කාරයෙන් ගත්ත පාර්ශවයටම රාජ්‍ය බලය ලැබිලා. දැන් ඉතිං මේ අවනඩුව කියන්න වෙලා තියෙන්නේ ගොයම කාපු වැටට. නියරට. ඒත් පුංචිරාල සෝමසිරි ප්‍රමුඛ පානම අරගලකරුවන් නම් තමන්ගේ අරගලය අතහැර දමන්න සූදානම් නෑ…

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment