ප්‍රචණ්ඩත්වය තියෙන්නේ, අපි නොහිතන තැනක – සුජිත් රත්නායක චිත්‍ර ශිල්පී සහ කලා විචාරක

ප්‍රචණ්ඩත්වය තියෙන්නේ, අපි නොහිතන තැනක - සුජිත් රත්නායක චිත්‍ර ශිල්පී සහ කලා විචාරක

“මම හිතන්නේ සමාජ ප්‍රචණ්ඩත්වය මේ කාලේ ඉස්මතුවෙලා පෙනුනට, අපේ සමාජයේ  මේ ප්‍රචන්ඩත්වය කාලෙක ඉඳලා තියෙනවා. දැන් ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් (කළු ජාතික) සිද්ධිය ගන්නකෝ, ඒක හරියට අපිට “සමාජ ප්‍රචන්ඩත්වය” කියලා පැහැදිලි කරන්න පුලුවන්. වෙනත් රටවලත් එහෙමයි.  නමුත් ලංකාවේ ඒක එහෙම නෑ. පැහැදිලි කරන්න බැරි මට්ටමට මේ සමාජ ප්‍රචණ්ඩත්වය අපේ රට තුළ තියෙනවා. අපේ වගේ රටවල ප්‍රචණ්ඩත්වය තියෙන්නේ අර මට්ටමටත් එහාට ගිහිං කියලයි මට නම් හිතෙන්නේ. මම මෙහෙම උදාහරණයකින් කියන්නම්.

…… ඔන්න මෙහෙම හිතමු…. මම වංචාකාරයෙක්. නැත්තන් හොරෙක්.  නැත්තන් මගෝඩි වැඩක් කරපු මනුස්සයෙක්. කවුරු හරි මාව එහෙමයි කියලා සාක්ෂි සහිතව අල්ලගන්නවා. අල්ලගෙන කියනවා තමුසේ හොරා කියලා.  එතකොට මොකද වෙන්නේ, අල්ලලා කියනවා තමුසේ හොරා කියලා. සාමන්‍යයෙන් නම් මෙහෙම දෙයක් වුණාට පස්සේ ඒ කෙනා හොඳටම මානසිකව වැටෙනවා.  නමුත් අපේ රටේ මොකෝ වෙන්නේ, අපේ රටේ ඒ මනුස්සයා තවත් උද්‍යෝගී වෙනවා. ඊට පස්සේ මේ මනුස්සයා තව මෙහෙයුමක් දියත් කරනවා, නෑ මම නෙවෙයි හොරා, මට අර චෝදනාව ගෙනාපු පුද්ගලයා තමයි හොරා කියලා කියන්න. මේ තත්ත්වය මම වෙන රටවල දැකලා නැහැ. මේක ලංකාවට ආවේනිකයි. කොච්චර ආවේනිකද  කියලා කියනව නම් ඒ පුද්ගලයා අර චෝදනාව කරන පුද්ගලයා හොරා කියලා පෙන්නනවා. ඒකට බොරු ව්‍යාජ චෝදනා ගොඩක් හදනවා. ඇත්තටම ඔහු අර චෝදනාව කරපු පුද්ගලයා තමයි හොරා කියලා ඔප්පු කරනවා.  ඉතිං අපේ මේ ප්‍රචන්ඩත්වය තියෙන්නේ ක්‍රීඩාවක් විදිහට.  ප්‍රංශය, ජර්මනිය, යුරෝපය වගේ කලාප වලත් මේක තියෙනවා හැබැයි ඒක මෙහෙම අස්ශීල ක්‍රීඩාවක් නෙවෙයි.

……….අපි හැමතිස්සේම කිසිම දෙයක් පිළිගන්නෙ නැති ජාතියක්. මහා ලොකු දූෂණ වංචා අක්‍රමිකතා වෙන්න ඕනෑ නැහැ. අපි හිතමු පුංචි වැරැද්දක් අතපසුවීමක් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ උනා කියලා,  දියුනු මිනිහගේ විඳිහ තමයි “අනේ සොරි” කියලා කියන එක. ඒත් අපි එහෙමද? අපි එහෙම නෑ. අපි මොනවා හරි දෙයකට ස්තූති කරන්නෙවත් නැති ජාතියක්. සිංහල බවුද්ධ මේ ශ්‍රීලාංකික ජාතිය වැරැද්ද පිළිගන්නේ නෑ, උදව්වකට උපකාරයකට ස්තූතියි කියලා කියන්නේ නෑ, මොකක් හෝ දෙයක් කරන්න හදනකොට ඒ අදාළ පුද්ගලයින්ගෙන් අවසර ගන්නේ නෑ. මෙහෙම හිතන්නකෝ අපි ගෙදරකට ඇතුල් වෙනකොට අවසරවත් ගන්නේ නෑ. කිසිම අවසරයක් නැතුව ගෙදර ඉස්සරහා දොරෙන් ඇතුල් වෙලා පිටිපස්ස දොරෙන් පිටවෙනවා. මේ චර්‍යාවන් කොච්චර කැතද? මට හිතෙන්නේ අපි මේ විදිහටත් මේ නඩත්තු කරන්නේ සමාජ ප්‍රචන්ඩත්වය. මේකත් ඒ ප්‍රචන්ඩත්වයේම එක ස්රූපයක්.

……. අපි ගම්මු ලංකාදීප වගේ පත්තරේක යන මංගල දැන්වීම්, අපි අද හිතනවනේ කුල ප්‍රශ්න නැහැ කියලා, ඒත් මේ මංගල තීරුව බලපු ගමන් අපිට පේනවා, නෑ ඒක එහෙම නෙවෙයි කියලා. ඉතිං අපි සමාජයක් විදිහට කොහේටද ගිහිං තියෙන්නේ?

අපි පාසල් විදිහට, කුල විදිහට, ගම නගරය විදිහට, රැකියාව අනුව, ලිංග බේදයට අනුව, බෙදිලා ඉන්නේ.  අපි හිතන්නේ අපි බෙදිලා ඉන්නේ ජාතිය අනුව විතරයි කියලා, ආගම අනුව විතරයි කියලා, නෑ.. මෙහෙම බෙදුන ගමන් මේ කණ්ඩායම් අතර බෙදාහැරෙන්නේ සමාජ ප්‍රචන්ඩත්වය තමයි. එක කුල කණ්ඩායමක් තවත් කුල කණ්ඩායමක් ජෝක් කිරීම ප්‍රතික්ෂේප කිරීම ඇතුලේ වුණත් තියෙන්නේ ප්‍රචන්ඩත්වය. අපි හවසට වැඩ ඉවරවෙලා කෝච්චියට නගිනකොට කෝච්චියේ පෙට්ටි කණ්ඩායම් අනුව බෙදාගෙන ඉන්නේ, එතකොට ඒ කණ්ඩායමට පිටින් එකෙක් ඒ පෙට්ටියට නැග්ගොත් ඒ මනුස්සයාට ඉදගන්න දෙන්නේ නෑ, ඉදගත්තොත් බැරි වෙලාවත් ගමනාන්තයට යන්න වෙන්නේ වාචික හිංසනයන් යටතේ. මේක තමයි ඇත්ත ලංකාව.

අපි දැන් කලාව පැත්තෙන් මේ ගැන ටිකක් හිතමු. අපි හිතමු කවුරු හරි කලා ඉතිහාසය ගැන පොතක් ලියනවා, මනුස්සයා හිතාමතාම තමන්ගේ මොකක් හරි පුද්ගලික ලැදියාවක් නිසා තවත් කලාකරුවෙක් ඒ කලා ඉතිහාසයෙන් ඉවත් කරලා පොත ලියනවා. තවකෙනෙක්ව ඉතිහාසයෙන් ඉවත්කර දැමීම..  ඒකත් සමාජ ප්‍රචන්ඩත්වය තමයි. එතනත් සිද්ධවෙන්නේ හිංසනය තමයි. සමහර වෙලාවට මේක අර මුලින් කියපු ආකාරයේ ප්‍රචන්ඩත්වයට වඩා දරුණුයි.

මේ විදිහට බැලුවහම කලාකාරයෙක් එක විදිහකට විශ්ව විද්‍යාල කතිකාචාර්‍ය වරයෙක් තව විදිහකට ගුරුවරයෙක් පොලිස් නිළධාරියෙක් තවත් විදිහකට මේ හිංසනයේ නිරත වෙන්න සමාජ ප්‍රචණ්ඩත්වය මුදාහරින්න පුලුවන්. දියුනු සමාජයන් මේ ස්‍වරූප අඳුරගෙන ඒවා සමාජය මත ක්‍රියාතමක වීම අවම කිරීමට කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒ නීති අනපනත් සම්මත කරගැනීම තුළින් වෙන්න පුලුවන්, නැතිනම් සාකච්ඡාව සංවාදය දැනුවත් කිරීම තුළින් වෙන්න පුලුවන්. නමුත් ලංකාව තුළ එහෙම සංවාදයක්වත් තවමත් නෑ.

ඒ නිසා මට හිතෙන්නේ අපි ප්‍රචණ්ඩත්වය තේරුම් ගන්න ඕනෑ චේතනාවේ දුෂ්ඨකම අනුවයි කියලයි මට හිතෙන්නේ.  අපි හිතමු කෙනෙක් තමන්ට එන ක්ෂණික කෝපයකට තව පුද්ගලයෙක් පොල්ලකින් ගහලා මරනවා. මට හිතෙන්නේ ඒ ප්‍රචන්ඩත්වය අර මම මුලින් කියපු විදිහට කලාකාරයෙක් කලා ඉතිහාසයෙන් ඉවත් කරනවා තරම් සහාසික නැහැ කියලයි. ඒ නිසා මගේ සරළ කියවීම ප්‍රචන්ඩත්වය තියෙන්නේ, අපි නොහිතන තැනක.

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment