ගහන්නම ඕනද ?

ගහන්නම ඕනද?

කිසියම් තැනැත්තෙකු විසින් තවත් තැනැත්තෙකුට වදහිංසාවක් සිදු කිරීම නීති විරෝධී කටයුත්තක්. එම ක්‍රියාව සිදු කරනු ලබන තැනැත්තා රජයේ කිසියම් තනතුරක් දරණු ලබනේ නම්, ඔහු විසින් සිදු කරන එම ක්‍රියාව අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ සදහන් 11 ව්‍යවස්ථාව කඩකිරීම හෙවත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවට පත් වේ. එමෙන්ම, එම ක්‍රියාව සිදු කළ තැනැත්තාට එරෙහිව 1994 අංක 22 දරණ වදහිංසාවෙන් ආරක්ෂාවීමේ පනත යටතේ ද නඩු පැවරිය හැකියි. මේ අනුව කිසියම් පුද්ගලයෙකුට වදහිංසාවක් සිදු කිරීම අධිකරණයක් ඉදිරියේ දී ඔප්පු වුවහොත් එය ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් ලෙසටත්, අපරාධ වරදක් සිදු කිරීම සම්බන්ධවත් දඩුවමකට යටත් කළ හැකි බරපතල ගනයේ වරදක් බවටත් පත් වේ.

ඒ අනුව, වධහිංසාවට එරෙහිව මෙරට පවතින නීති අනෙකුත් දකුණු ආසියානු රටවලට සාපේක්ෂව සෑහෙන දුරකට ශක්තිමත්. නමුත්, එහි ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය කුමක්ද? මෙම නීති සම්පාදනය වීමට ප්‍රථම සිට පැවති තත්ත්වයේ වෙනසක් මෙම නීති සම්පාදනය වීමෙන් පසුවත් සිදු වී නොමැති තරම්ය. තවමත් බොහෝ පොලිස් ස්ථාන තුළ පෙර පරිදිම වදහිංසාව සාමාන්‍ය පරිදි සිදු වේ. එමෙන්ම, නීති විරෝධී ඝාතණයන් පිළිබදවද තැනින් තැන වාර්තා වේ.

මෙම තත්ත්වය ප්‍රධාන නගරයන්ගෙන් පිට ඉතා බැරූරුම්ව පවතී. අප සොයා ගත් තොරතුරු මත වදහිංසාවට වැඩිපුරම පාත්‍ර වන්නේ ගම්බද දුගී ජනයා හා සුලු ජන කොටස්ය. සමාජීය හා ආර්ථික ශක්තීන් සහිත පුද්ගලයින් වෙත වදහිංසාව සිදුවීමේ ඉතා අවම මට්ටමක පවතී. සමාජීය හා ආර්ථික ශක්තීන් සහිත පුද්ගලයින් වෙත හදිසියෙන් හෝ එවැන්නකට මුහුණ දෙනු ලැබුවහොත් ඔවුන් ඉහත නීතියේ රැකවරණය ලබා ගැනීම සදහා යොමු වේ. නමුත්, වධහිංසනයට පත්වන දූගීන් බොහොමයක් එවැනි පියවරයන් වෙත යොමු නොවේ.

වදහිංසාවට එරෙහිව නීතී කෙතරම් පැවතුනද එවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන්නේ නම්, එම නීති පිළිබදව නිසි අවබෝධයක් එරට ජීවත් වන මහජනතාව සතුව නොවන්නේ නම් හා එම නීති ක්‍රියාත්මක වී තුළින් තමුන්ට යුක්තියක් හෝ සාධාරණත්වය ඉටුවේ යන්න පිළිබදව විශ්වාසයක් ඇති නොවන්නේ නම්, එම නීති රැකීම සදහා පත්කළ නිළධාරීන් අතින්ම නීතිය කඩ වන්නේ නම්, එරට තුළ අනීතිය රජ කිරීම වැලැක් විය නොහැක. එවැනි රටක් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම මත ක්‍රියාත්මක වන රටක් ලෙසද පිළිගනු නොලබයි.

ගොලීය ආර්ථික ක්‍රියාවලිය තූළ මූලික ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ක්‍රියාත්මක නොවන රටවල් සමග ගනුදෙනු කිරීමට බොහෝ ආයෝජකයින් ද මැලිකමක් දක්වයි. එම නිසා ආර්ථික සංවර්ධනය ලබා ගැනීම සදහා ද බොහෝ රටවල් අකමැත්නේ හෝ මෙම මූලධර්ම ක්‍රියාත්මක කිරීමට සිදුව තිබේ.

පසුගියදා යුරෝපීය සංගමය ශ්‍රි ලංකාව වෙත ලබා දුන් බදු සහන නොහොත් ඨීඡූ සහන ලබා දීම තාවකාලිකව අත්හිටුවන ලදී. මෙම සහන නිසා ලංකාවේ අපනයන භාණ්ඩ 7200 ක් සදහා යුරෝපීය වෙලදපොල තුළ 12.5% ක බදු සහනයක් ලබා දීම නිසා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට ඉන් විශාල ප්‍රථිලාභයක් ලැබී තිබුනි. නමුත් මෙම සහනය නැවත ලබා ගැනීම සදහා පසුගිය රජය විසින් කටයුතු කරනු ලැබූ අතර, ඒ සදහා ශ්‍රී ලංකා රජයට එක්සත් ජාතීන් සමග අත්සන් කර තිබූ ප්‍රධාන ප්‍රඥ්ඥප්තීන් 3ක් බලාත්මකව පවත්වාගෙන යාමට සිදු විය. එම ප්‍රඥ්ඥාප්තීන් වුයේ කෲර වදහිංසාව එරෙහි ජාත්‍යන්තර ප්‍රඥ්ඥප්තිය, ළමා අයිතිවාසිකම් සම්මුතිය හා ස්ත්‍රීන්ට එරෙහිව සියලුම ආකාරයේ වෙනස්කොට සැලකීම තුරන් කිරීමේ ප්‍රඥ්ඥප්තීය යන ප්‍රඥඥප්තීන්ට. මෙම ප්‍රඥ්ඥප්තීන් මේ රටේ තව දුරටත් බලාත්මක පවත්වාගෙන යාමට රජය පොරොන්දු වීම නිසා මෙම ඨීඡූ සහනය අපට දිගටම ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ.

මින් පෙනී යන්නේ ව්‍යාපාර පවත්වාගෙන යාම සදහා ද මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රට තුළ පැවතීම අත්‍යවශ්‍ය වී ඇති බවයි. වෙනදා ව්‍යාපාර පවත්වාගෙන යාමට අවශ්‍යව තිබුනේ රටේ සාමාන්‍ය කම්කරු නීතීන් හා පරිසර නීතින් ආරක්ෂා කිරීම පමණක් වී තිබුනි. නමුත් මෙම තත්ත්වයේ සෑහෙන වෙනසක් අද ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ ද නිර්මාණය වී තිබේ.

වදහිංසාව අප රටතුළ තව දුරටත් පැවතීමට අපේ රටේ සමහර මිනිසුන්ගේත්, රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම, සමහර දේශපාලණඥයින්ගෙත් කැමැත්ත හා ආශිර්වාදය මෙම නිළධාරීන්ට ලැබී තිබේ. මේ බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ සත්‍ය තොරතුරු ලබා ගැනීම සදහා වදහිංසනය පැවතිය යුතු බවයි. රටේ බහුතර ජනතාවගේ මතයද වී ඇත්තේ දෙකක් අනින්නේ නැතිව කිසිදු තොරතුරක් ලබා ගැනීමට නොහැකි බවයි. එමෙන්ම, වදහිංසාවට එරෙහි නීති ක්‍රියාත්මක වීම නිසා අපරාධකරුවන් තොරතුරු ලබා ගැනීමට නොහැකි නිසා අපරාධ වැඩි වී ඇති බවත් සමහරුන් ප්‍රකාශ කරයි.

මෙම අදහස් සම්පුර්ණයෙන් අවිද්‍යාව මත පදනම් වී තිබේ. ලංකාවේ අපරාධ වැඩිවී ඇති බව සත්‍යයක් නමුත් එය සිදුව ඇත්තේ අපරාධ පරීක්ෂණ ක්‍රියාවලියේ ඇති දුර්වලකම් නිසාත්, එම අපරාධය සම්බන්ධ සාක්ෂිකරුවන් ඉදිරිපත් නොවීම හෝ මගදි ඔවුන් වැරදි සාක්ෂි ඉදිරිපත් කිරීම මත බව එම නඩු අධ්‍යයන කිරීමේ දී පෙනී යයි. සාක්ෂිකරුවන් මගදි නඩු අතහැරීම ප්‍රධාන හේතු වී ඇත්තේ අපරාධකරුවන් ඔවුන් වෙත කරනු ලබන විවිධ බලපෑම හා අධික නඩු ප්‍රමාදයයි. ලංකාවේ අපරාධ නඩුවක් අවසන් වන්නට අවම වශයෙන් අවුරුදු 15ක් වත් ගත වන බව වාර්තා වේ. මෙම දැඩි ප්‍රමාදය සාක්ෂිකරුවන්ගේ දිරි බිද දමා ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලයි. එවැනි සාක්ෂිකරුවන් අනතුරට පත් ව ජීවිතයෙන් වන්දි ගෙවූ අවස්ථා කිහිපයක් අප සතුව තිබේ.

එමෙන්ම, පරීක්ෂණ නිලධාරීන් විසින් සැකකරුවන්ට විවිධ වදහිංසාවන් සිදු කර ලබා ගන්නා පාපොච්චාරණයන් අධිකරණයක දී ප්‍රයෝජනයට ගත නොහැකි වන බව මේ  සියලු දෙනා දනී. එසේනම් සාක්ෂි හා අනෙකුතත් සත්‍ය තොරතුරු හා නඩු භාණ්ඩ, විවිධ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි නම් එම නඩුව ඉදිරියට ගෙනයාමට නොහැකි වේ. මේ සම්බන්ධව හිටපු අගවිනිසුරු සරත් සිල්වා මහතා වරක ප්‍රකාශකර සිටියේ නීතිපති විසින් ගොනු කරනු ලබන අපරාධ නඩුවලින් 96%ක් ඉදිරියට ගෙනයාමට නොහැකිව අපරාධකරුවන් නිදහස් වන බවයි.

එම නිසා පහසුම හා ලේසිම ක්‍රමය ලෙස පවතින සැකරුවන්ට විවිධාකාරයේ හිංසාවන් සිදු කර කරනු ලබන පරීක්ෂණ ක්‍රමය වෙනුවට, දැටමත් ලෝකයේ අනෙකුත් දියුණු රටවල් අනුගමනය කරන නවීන තාක්ෂණය සහිත උගත් හා දක්ෂ පුහුණුව ලත් නිලධාරීන් හරහා මෙම පරීක්ෂණයන් සිදුකර මෙම තත්ත්වය පාලනය කිරීමයි.

 

police torture in sri lanka ගහන්නම ඕනද ?

පිලිප් දිසානායක 

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය

වධහිංසා වලට ගොදුරුවුවන්ට සහයෝගය පළ කිරිමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් මෙම ලිපිය සැකසුණි.

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment