ඇතුළේ මීටරයක් තියා , සෙන්ටිමීටරයක් වත් ඈතින් ඉන්න අමාරුයි – නීතිඥ සේනක පෙරේරා

නීතිඥ සේනක පෙරේරා – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

නීතිඥ සේනක පෙරේරා – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

ඔබ සමාජයෙහි කිසිම ගෞරවයකට ලක් නොවෙන කණ්ඩායම්වල අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. කොවිඩ්-19 වසංගතය හමුවේ එවැනි ජන කණ්ඩායම් විශේෂ පීඩාවක් විඳිනවාද?

සමාජීය වශයෙන් කුණු බක්කියට වැටුණ, කොන්වුණ, ජන කණ්ඩායම් රැසක් ඉන්නවා. මේ අය සංස්කෘතික ජන කණ්ඩායම්වලට වඩා පීඩාවට ලක්වුණ පීඩිත ජන කණ්ඩායම්. විශේෂයෙන්ම සිරකරුවන්, ලිංගික ශ්‍රමිකයන්, සනීපාරක්ෂක කම්කරුවන් ආදි විවිධ කොටස් ඉන්නවා. මේ අය කොවිඩ්-19 වගේ ආර්ථික කඩාවැටීමක්, බලපෑමක් ඇතිවුණාම ඒ බලපෑමෙනුත් පීඩා විඳිනවා. ඒ වගේම ඔවුන්ගේ අනන්‍යතාව නිසාත් පීඩාවට ලක්වෙනවා. ඒ අනුව ඔවුන් දෙපැත්තකින් පීඩාවට ලක්වෙමින් ඉන්නවා. රජය ක්‍රියාත්මක කරන සුභසාධන ක්‍රියාවලීන් නිතරම හදලා තියෙන්නේ මේ වගේ අයව නොතකා හරින්න. මේ අයව අමතක කරලා ඉතිරි අය වෙනුවෙනුයි ඒ ක්‍රමවේද ක්‍රියාත්මක වෙන්නේ.

මෙවැනි අය ඉන්නවා කියන එකත් සලකන්නේ නැහැ නේද?

ඒක තමයි. ආණ්ඩු මෙවැනි කණ්ඩායම් පිළිගැනීමට ලක් කරන්නේ නැහැනේ. උදාහරණයක් විදියට ලිංගික ශ්‍රමිකයන්ට සමෘද්ධිය ලැබෙන්නේ නැහැ. සමාජ සුභසාධන ප්‍රතිලාභ බෙදීමේ කාර්යයේදී එවැනි කණ්ඩායම් වුවමනාවෙන්ම යටපත් කරලා දානවා. ඒකට හේතුව තමයි ඔවුන් සදාචාරත්මකව ඒ අයව වැරදිකාරයන් යැයි සිතීම. එයින් ඔවුන් පීඩාවට පත්වෙනවා. රජය මේ අය සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් හදන්නේ නැති එක තුළ ඒගොල්ලන්ට කරකියාගන්න දෙයක් නෑ. ඒ අනුව මම හිතන විදියට සහන සැපයීමට අදාළ ආයතනය ඒ අයගේ අනන්‍යතාව පිළි නොගැනීමෙන්ම තමයි ප්‍රශ්නය පටන්ගන්නේ.

කොවිඩ්-19 නිසා සිරකරුවන් මුහුණදෙන ප්‍රශ්න ප්‍රශ්න එළියේ ඉන්න අනෙකුත් අයගේ ප්‍රශ්නවලට වඩා වෙනස් නේද?

ඒ ඒ කණ්ඩායම්වලට සැලකෙන විදිය තීරණය වෙන්නේ විවිධ ප්‍රමාණය අනුව. සිරකරුවන්ටත් සමාජ පන්තිය අනුව විවිධ සැලකීම් තියෙනවා. පහුගිය කාලයේම බන්ධනාගාරවලට බාහිරින් අමුත්තන්ට ඇතුළුවීම තහනම් කරලා තිබුණා. එහෙම තහනම් කළාට පස්සේ ඒ වන තෙක් ඔවුන්ට ලැබුණු දේවල් නතර වුණා. සිරකරුවන්ට දත් බුරුසුවක්, සබන් කෑල්ලක්, කෑම එකක් වගේ විවිධ දේවල් ගෙනත් දීමත් නතර වුණා. බන්ධනාගාරයේ ඒ භාණ්ඩවල අඩුවක් තිබුණත් ඒ කාලේ ඒවා පිටින් ගෙනත් දුන්නාම සමනය වුණා. ඒත් ඒක නතර කිරීමෙන් ප්‍රශ්න ඇතිවුණා. විශේෂයෙන්ම කාන්තා රැඳෙවියන්ගේ විශාල දුක් ගැනවිල්ලක් තිබුණා. ඔවුන් බලාපොරොත්තු වෙන බොහෝ දේවල් පිටින් බලන්න එන අය තමයි ගෙනෙන්නේ. දැන් ඔවුන්ට කන්නත් නෑ, අඳින්නත් නෑ, සනීපාරක්ෂක පහසුකමුත් නෑ. ඒ හින්දා ලොකූ ප්‍රශ්නයක් තිබුණා. කාන්තාවන් කිහිපදෙනෙක්ම එවැනි අඩුපාඩු පිළිබඳව කිව්වා කියලා එවැනි අයගේ ඥාතීන් මාත් එක්ක කීවා. අපි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විදියට මෙවැනි කාරණා ගැන රජයට දැන්වුවත් රජය එහෙම ප්‍රශ්න තිබුණාට කමක් නෑ කියන මතයේ තමයි ඉන්නේ. ඒකට හේතුව ඔවුන් සිරකරුවන් වීම. මේ අය කොළඹ හතේ ජනකොටසක් වුණා නම් සැලකීම වෙනස් වෙනවා.

විෂබීජහරණ ක්‍රමවේද, සිරකරුවන් හා බලන්නට එන අය අතර පරතරය සැකසීම ආදි කටයුතු කළොත්, සිරකරුවන්ව බලන්නට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් සැකසීම අසීරු නැහැ නේද? යම් අමතර වියදමක් දරන්න සිදුවේවි..

ඒක තමයි. මිනිසුන් සිරකරුවන්ද මනුෂ්‍යයෝය කියලා කියනවා. එහෙනම් සිරකරුවන්ගේ පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය තීන්දු ගන්න එපැයි. ගුවන් තොටුපොළ හෝ අනෙකුත් හැම තැනකම අවශ්‍ය පියවර අනුගමනය කරනවානේ. සිරකරුවන් කියන්නේත් පුරවැසියන් කොටසක්. අනෙක් අයගේ අවශ්‍යතා ඉටු කරන්න ඕනෑ. ඒත් සිරකරුවන්ගේ අවශ්‍යතා ඉටු නොකළාට කමක් නැහැ කියන මතය තමයි සමහරුන්ට තියෙන්නේ. අන්තිමේ සිරකරුවන් දිගින් දිගටම පීඩා විඳින තත්වයක් තමයි තියෙන්නේ. මෙවැනි පීඩිත විවිධ ජනකොටස්වලට අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම සඳහා ලොකු ඒකාබද්ධතාවක් තවම ඇතිවෙලා නැති නිසා ඔවුන්ට ඕනෑ විදියකට සලකන්න බය නෑ.

හිරගෙදරදී වෙඩි තැබීමෙ සිද්ධියක් මාර්තු මාසයේදී වාර්තා වුණත්, ඒ ගැනත් ලොකු සමාජ අවධානයක් යොමුවුණේ නැහැ නේද?

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ කතාන්දර කරළියට ආවා මිසක් අනුරාධපුරයේදී වෙඩි තැබීමේ සිද්ධිය ගැන ඒ දවස්වල ඉඳලා මේ දක්වා කතාකළේ නෑ. ඒ සිරගෙදර විරෝධතාව පටන්ගත්තේම තමන්ව කොරෝනාවට බිල්ලට දෙන්න එපා, ආරක්ෂා කරලා දෙන්න කියන ඉල්ලීම එක්ක. පිටින් කෙනෙක්ව ගෙනාවාට පස්සේ ඇතිවුණ විරෝධතාව තමයි කලබලයක් බවට පත්වෙලා තිබුණේ.

බන්ධනාගාරය තුළ වසංගතයෙන් ආරක්ෂා වෙන්නට පහසුකම් තියෙනවාද?

බන්ධනාගාරය ඇතුළේ එහෙම එකක් නෑ. මීරයක් දුරින් ඉන්න කීවාට සෙන්ටිමීටරයක්වත් තියාගන්න අමාරුයි ඇතුළේ. අධික තදබදයක් තියෙනවා. අපි මාර්තු 16 වැනිදාම ඉල්ලීමක් කළා මේ තත්වය යටතේ ලොකු ප්‍රශ්නයක් වේවි කියලා. විසඳුම් හොයන්න කියලා අපි ඉල්ලුවේ. එතැනදීත් ඔවුන් ප්‍රමාණවත් සැලකිල්ලක් දැක්වුවේ නැහැ. එහෙම ඕනෑ නම් තව ගොඩක් දේවල් කරන්න තිබුණා. ඇප දීමෙන් අධිකරණය හරහා යම් කිසි දේවල් කළා තමයි. ඒත් අධිකරණයෙන් ඇප දීමට අමතරව තවත් ගොඩක් දේවල් කරන්න තිබුණා. සිරකරුවන්ට නිවාස නිවාඩු දෙන්න තිබුණා. ඒ වගේම යහපත් කල්ක්‍රියාවක් තිබුණු සිරකරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න තිබුණා. ඒත් එහෙම දේවල් අපි දැක්කේ නැහැ. සුනිල් රත්නායකට සමාව දීම විතරයි දැක්කේ. මිනීමැරුමකට මරණ දඬුවම ලැබූ අයට එහෙම දෙයක් කළා නම්, තව කීදෙනෙක්ට යම් නිදහසක් දෙන්න තිබුණාද? එහෙනම් ලොකු තදබදය අඩු කිරීමක් කරන්න තිබුණා. ඒක නොකළේම සිරකරුවන් මේ වගේ වෙලාවක සැලකිල්ලට නොගන්නා පීඩිත පිරිසක් නිසා.

ලිංගික ශ්‍රමිකයන්ට මේ වෙලාවේ ආදායම් මාර්ගයක් නැහැ නේද?

ඔවුන් අසරණ වෙලා ඉන්නේ. සම්බාහන ආයතන ආදියත් ආරම්භ කරන්න අමාරුයි. බාබර් සාප්පු පවා සීමා යටතේ තමයි ආරම්භ කරන්න ලැබෙන්නේ. එහෙම පසුබිමක ලිංගික ශ්‍රමිකයන්ට නැවත වැඩ ආරම්භ කරන්නට දිග කාලයක් යනතුරු බැරිවේවි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාම කියා තිබුණා ලංකාවේ ලිංගික ශ්‍රමිකයන් 50,000ක් ඉන්නවා කියලා. අපි කලින් කීවා වගේ සහන සැලසීම සඳහා ලංකාවේ සමාජයේ ලිංගික ශ්‍රමිකයන්ව නෛතිකව පිළිනොගත්තත්, එහෙම අය ඉන්නවා කියලා පිළිගන්නවා. ඉහත ප්‍රකාශයට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ උපත් පාලන කොපු ලබාදීමේ වැඩසටහනක් තියෙනවා. ඊට අමතරව මාසිකව සහ වාර්ෂිකව රජයේ සායනවලට යොමුකිරීමේ වැඩසටහනක් තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක ඒඞ්ස් වැළැක්වීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඒවා ඉලක්ක කරන්නේ ලිංගික ශ්‍රමිකයන්ව. ඒ විදියට රජයේ විධායක කොටසක් වන පොලීසියෙන් අත්අඩංගුවට ගත්තාට, විධායකයේම කොටසකින් යම් ප්‍රමාණයකට ඔවුන්ව පිළිගන්නවා. ලිංගික ශ්‍රමිකයා කියන පුද්ගලයාව නැති කරන්න බෑ. මම හැමදාම කියනවා වගේ ලිංගික අවශ්‍යතාව මතු වෙන්නේ කොතැනද, එතැන ලිංගික ශ්‍රමිකයන් ඉන්නවා.

ඔවුන්ගෙන් මුදලට සේවය ලබපු ලක්ෂ ගණනක් මේ සමාජයේ හිටියත්, මේ අසීරු මොහොතේ ඔවුන් ගැන කවුරුත් බලන්නේ නැහැ නේද?

ඒක හරි. එහෙම යුතුකම් ඉටු කිරීමක් කොහොමත් වෙන්නේ නැහැ. මොකද ලිංගික ශ්‍රමිකයා කියන කාරණාවට එනකොට සමාජයේ සදාචාරය පිළිබඳ ගැටීමක් තියෙනවා. කවුරුත් ලිංගික ශ්‍රමිකයන්ගේ සේවය ලබන බව පිළිගන්නේ නැහැ. ඒ වෙනුවට සමාජයේ ‘යහපත්’ යැයි සම්මත විදියට ජීවත්වෙන්න තමයි ඔවුන්ට ඕනෑ. ඒ නිසා යම් කෙනෙකුට ලිංගික ශ්‍රමිකයෙක් ගැන කතාකරන්න වුවමනාවක් තිබුණත්, සමාජ තත්වය නිසා ඒක කරන්න හිතන්නේ නැහැ. ඒ ගැන කතාකරන සුළුතරයක් වුණත් අන්වර්ථ නාම දාගෙන හැංගිලා තමයි කතාකරන්නේ. ඒත් ලිංගික ශ්‍රමිකයන් දැන් විඳින පීඩාව යට ගහන්න බැරි යථාර්ථයක්. ළඳුනේ වගේ සිංදු කියනවා තමයි, ඒ සිංදුවල තියෙනවා ළැම පෙනෙනවා, ළය පෙනෙන්නේ නැහැ කියලා. ලිංගික ශ්‍රමිකයන්ගේ ළැම බලපු අය දැන් ඔවුන්ගේ ළය ගැන කල්පනා කරන්නේ නැහැ.

මේ ආණ්ඩුවෙන් ලිංගික ශ්‍රමිකයන්ට යහපත සැලසීමක් කිසිසේත්ම අපේක්ෂා කරන්න බැහැ නේද?

මේ ආණ්ඩු හැදෙන්නේම බොහොම දේශප්‍රේම සදාචාර කතා කියලා. ජනප්‍රිය කතා තමයි ඔවුන් බලන්නේ. ඒත් ඒ ජනප්‍රිය කතා යථාර්ථයට ගොඩක් පරස්පරයි. ඒ ජන කණ්ඩායම්වලට කිසිවක් ලැබෙන්නේ නැහැ. ඒත් ඒ අයගේ සේවය මැති ඇමතිවරුන්ගේ ඉඳලා හැමෝම ලබනවා. ලංකාවේ තියෙන පසුගාමී සමාජ ආකල්පත් එක්ක ඔවුන්ට සාධාරණයක් කරගන්න එක ඉතාමත් අසීරු කටයුත්තක්. ඒ වගේම සාධාරණයක් ඉල්ලන්න ඉදිරිපත් වෙන අයටත් ලොකු විවේචනවලට මුහුණදෙන්න සිද්ධවෙලා තියෙනවා. මම නීතිඥවරයෙක් විදියට ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙනකොට මට ගණිකා නීතිඥයා කියලා අපහාස කරලා තියෙනවා.

කවුරුත් කතා නොකරන පිරිසක් ගැන කතාකිරීම ගැනවත් ගෞරවයක් ලබාදෙන්නේ නැහැ නේද?

නෑ. ගර්හාවට ලක්වෙමින් තමයි අපි වැඩ කරන්නේ. හැමෝම ආසයි සිංහ සමාජයේ සභාපති වෙන්න. ඒත් ලිංගික ශ්‍රමිකයන්ගේ ආයතනවල නායකත්වය ගන්න කවුරුත් බලන්නේ නැහැ.

සුදුවැල්ලේ කුඩුවලට ඇබ්බැහි වූ අය නාවික හමුදාවට වසංගතය බෝ කරපු බව කීවා. ලංකාවට කුඩු ආනයනය කරන්නේ කවුද කියන කාරණය වෙනුවට කුඩු වලට ඇබ්බැහි වූ අයට දෝෂාරෝපණය කිරීමක් දකින්න ලැබුණා නේද?

කුඩුවලට අදාළ විවිධ පාර්ශ්ව ගැන කතාකරනකොට, කාලයක් තිස්සේ ඉඳලා මේ සමාජයේ කුඩු ‘ගහන’ කෙනාට තමයි සියලු කරදර සිද්ධවුණේ. ඇබ්බැහියෙන් විනාශ වුණේ ඔවුන්. ගර්හාවට ලක්වුණේ, හිරේ ගියේ ඔවුන්. ව්‍යාපාරිකයන් ඇතුළු අනෙක් අය ආරක්ෂිතව ඉන්නවා. නාවික හමුදාවේ පිරිස්වලට මේ වෛරසය ව්‍යාප්ත වීම වළක්වාගන්න මොනවගේ වෛද්‍ය විද්‍යාත්මක පියවරද අරගෙන තිබුණේ කියන එක ගැන ප්‍රශ්න කරන්න වෙනවා. අපි දකිනවා ලංකාවේ කොරෝනා මර්දනයේදී හමුදාව අංක එක වෙලා සෞඛ්‍ය අංශ අංක දෙක වුණා.

නීතිඥයො විදියට අපට කොරෝනා මර්දනය කරන්න බෑ. හමුදා භටයා යුද්ධ කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය වසංගත මඬිනවා. ඉතින්, සුදුස්සාට සුදුසු රාජකාරිය දෙන්න ඕනෑ බව මේ ප්‍රශ්නයේදී පේන්න තිබුණා. හමුදාවට කළ නොහැක්කක් නැත කියලා හමුදාපතිවරයා කීවාට හමුදාවට සෞඛ්‍ය සේවාව කරන වැඬේ කරන්න බෑ. නාවික හමුදාවෙන් කොවිඩ්-19රෝගීන් වාර්තා වීමෙන් අපට පෙනෙන්නේ හමුදාවට කරන්න බැරි දේවල් තියෙනවා කියන එක. කවුරුත් හමුදාවට ඇතුළට ගිහින්, ඔන්න මම කොරෝනා බෝකරනවා කියලා බෝ කළේ නැහැ. කොරෝනා වැළැක්වීමේ ක්‍රියාවලියක යෙදිලා ඉන්න අය, දෛනිකව ගෙදර ඉන්න අයටත් වඩා විශේෂ පියවර අනුගමනය කරමින් රෝගයෙන් වැළකිය යුතුව තිබුණා. එසේ නොවීමේ ප්‍රශ්නය තමයි තියෙන්නේ.

ආණ්ඩුව හෝ අනෙකුත් වගකිවයුතු පුද්ගලයන්, කුඩුකාරයාට තිබෙන සමාජ විරෝධය පාවිච්චි කරලා තමන්ගේ වගකීම් පැහැරහැරීම යටපත් කරගන්න උත්සාහ කරනවා. ලංකාවේ දේශපාලනය තුළ බුද්ධිමත් සාකච්ඡාවක් නැහැ. පහුගිය කාලය පුරාම ආණ්ඩුව විවේචනය කරනවා නම් කිව්වේ එල්ටීටීඊකාරයෝ, එන්ජීඕකාරයා කියලයි. ඔවුන් ප්‍රශ්නය තෝරාගන්නේත් නැතිව බිල්ලා පෙන්නලා ප්‍රශ්න මඟහරිනවා. එහෙම පසුබිමක කුඩුකාරයෝ නාවික හමුදාවට කොවිඩ්-19බෝ කළා කියලා චෝදනා කිරීම පුදුමයක් නෙවෙයි.

තරිඳු උඩුවරගෙදර

උපුටා ගැනීම – අනිද්දා

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment